ජනතාවට හා වන සතුන්ට හානිකර අලිවැටවල් ඉවත් කරන්න

58

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

අනුරාධපුරය ගල්ගමුව මාකොළගමුව ප්‍රදේශයේ පිහිටි වනාන්තරයෙන් අක්කර 4500ක් පමණ ප්‍රමාණයක් වටා ඉදිකර ඇති වන සතුන්ට හා ප්‍රදේශවාසී ජනතාවට හානිදායක අලි වැටවල් වහාම ඉවත්කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14 දා) වලත්තෑවේ රාහුල හිමියන්ට නියෝග කළේ

 එසේ නමුත් ප්‍රදේශවාසී ජනතාවගේ ආරක්‍ෂාව සඳහා ඔවුන්ගේ නිවාස ආවරණය වන පරිදි ඉදිකර ඇති අලි වැටවල් කිසිවක් ඉවත් නොකිරීමට වගබලා ගන්නා ලෙසට ද වගඋත්තරකාර වලත්තෑවේ රාහුල හිමියන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලිබල මණ්ඩලයේ හා පොලිසියේ සහය ලබාගෙන එම ආයතනවල අධීක්‍ෂණය යටතේ එකී කටයුතු සිදුකළ යුතු බවට ද නියෝග කළේය.

 ප්‍රදේශවාසීන්ගේ හා වන සතුන්ගේ ජීවිතවලට හානිවන ආකරයෙන් ඉදිකර ඇති අලි වැටවල් ඉවත්කිරීමට වගබලා ගන්නා බවට වගඋත්තරකාර පාර්ශ්වය වන ලංකා විදුලිබල මණ්ඩලය හා එම නඩුවේ දසවන වගඋත්තරකාර වලත්තෑවේ රාහුල හිමියන් මින් පෙර අධිකරණයට එකඟතාවයක් පළකර ඇතත් මේ දක්වා ඒ අනුව කටයුතු කර නොමැති බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

 එම කරුණු සලකා බැලූ මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා හා යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ. එකී නියෝග අනුව කටයුතු කර ඇති දැයි විමසා බැලීම සඳහා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 10 වැනිදා යළි කැඳවීමට නියෝග කළහ. පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment