යාගොඩදී යකඩ යකාගේ ඇමිණී කාර් එක දුම්රියපළටම එයි… ව්‍යාපාරිකයා මරුට

574

ගම්පහ යාගොඩ දුම්රිය හරස් මාර්ගයේදී නුවර – කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් ඊයේ (15 දා) පස්වරු 5.00 ට පමණ වූ අනතුරකින් මෝටර් රථ රියැදුරු මරුමුවට පත්වී තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ ගම්පහ, ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි සුජිත් හර්ෂණ නමැති ව්‍යාපාරිකයෙකි.

අදාළ ස්ථානයේ දුම්රිය ගේට්ටු නොමැති අතර, සයිරන් නළා ශබ්දය නාද වෙද්දී අදාළ මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට යෑමේදී අනතුර සිදුව ඇත.

දුම්රියේ ගැටුණු මෝටර් රථය යාගොඩ දුම්රිය ස්ථානය තුළට දුම්රියත් සමග ඇමිණී පැමිණ තිබේ.

එය යාගොඩ දුම්රිය ස්ථානයේ දුම්රියත්, වේදිකාවත් අතර සිරවී තිබිණි.

දුම්රිය හරස් මාර්ගය යාගොඩ දුම්රිය ස්ථානය අසලම පිහිටා ඇත.

අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුවී තිබේ. අපරික්‍ෂාකාරී ලෙස මෝටර් රථය දුම්රිය මාර්ගයට ඇතුළත් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබිණි.

අනතුර හේතුවෙන් ඊයේ (15 වැනිදා) දුම්රිය මාර්ගයේ පහළ දුම්රියන්වල ප්‍රමාද වීමක් සිදුවූ අතර, එය දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට දුම්රිය සේවකයන් කටයුතු කරමින් තිබිණි.

ගණේමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ. කේ. දේවප්‍රිය මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සිරිමෙවන් පතිරණ – වේයන්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment