මෙරට ළමා පිළිකා රෝගීන් දහස පැනලා

98

2005 වසරේදී පිරිමි දරුවන් 274 දෙනකුටත්, ගැහැනු දරුවන් 249 දෙනකුටත් ළමා පිළිකාව අලුතින් හඳුනාගෙන තිබූ බවත්, 2021 දී පිරිමි දරුවන් 578 දෙනකුත් ගැහැනු දරුවන් 454 දෙනකුත් වශයෙන් 1032 දෙනකු හඳුනාගෙන ඇති බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා ඊයේ (14 දා) පැවසීය.

ඒ අනුව 2021 වර්ෂයේ ළමා පිළිකා රෝගීන් 1032 දෙනකු වාර්තා වී ඇතැයි ද හෙතෙම කීය.

අද (15 දා) ට යෙදෙන ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු එසේ කීය. මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

පසුගිය අවුරුදු 15 ක 17 ක කාලයේ තමයි මේ 500 ක තිබුණු ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය 1000 ක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. මේ ක්‍ෂණිකව අවුරුද්දකින් දෙකකින් වැඩිවීමක් නෙවෙයි. පසුගිය අවුරුදු 17 ක කාලය තුළ ක්‍රමානුකූලව ළමා පිළිකා රෝගීන් වර්ධනය වෙලා තියෙනවා. අනිත් රටවල්වලත් මේ වේගයෙන් තමයි ළමා පිළිකා රෝගීන් වර්ධනය වෙලා තියෙන්නේ. ලංකාවේ බහුලවම වාර්තාවන පිළිකාව වන්නේ ලියුකේමියාවයි. ළමුන් අතර වාර්තා වෙනවා මොළය ආශ්‍රිත පිළිකාව, ලියුපෝමාව, වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව සහ ශරීරයේ වෙනත් තැන්වල ඇතිවිය හැකි පිළිකා.

එතකොට 2021 වසරේදී ලියුකේමියාව වැළඳුණු දරුවන් 341 දෙනකු ද, ලියුපෝමාව වැළඳුණු දරුවන් 148 දෙනකු ද, අස්ථි සම්බන්ධ පිළිකා වැළඳුණු දරුවන් 92 දෙනකු ද, මොළය ආශ්‍රිත පිළිකා වැළඳුණු දරුවන් 98 දෙනකු ද ප්‍රධාන වශයෙන් වාර්තා වෙලා තියෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2015 වසරේදී ළමා පිළිකා හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 224 ක් ලෙස වාර්තා වෙනවා. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය දේවනී රණවීර යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ. වයස අවුරුදු 19 දක්වා වන ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ පසුවන දරුවන් අතර හඳුනාගන්නා පිළිකා, ළමා පිළිකා ලෙස හඳුන්වනු ලැබේ. වාර්ෂිකව ලොව පුරා නව ළමා පිළිකා රෝගීන් ලක්‍ෂ 4 ක් පමණ අලුතින් වාර්තා වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment