වැග්නර් හමුදාවේ ප්‍රධානියාට බෙලාරුස් රාජ්‍යයේ රැකවරණය

992

ඉකුත් සිකුරාදා (23දා) රුසියාවට එරෙහිව කැරැල්ලක් මෙහෙයවූ වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ජෙනි ප්‍රිගොසින් ඔහුට අයත් පුද්ගලික ජෙට් යානයෙන් රැකවරණය පතා අසල්වැසි බෙලාරුස් රාජ්‍යයට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියාවේ මොස්කව් අගනුවර අල්ලා ගැනීම සඳහා වැග්නර් කුලී හමුදාවේ කොටසක් සමග කැරැල්ලක් දියත් කළ ප්‍රිගොසින් එම කැරැල්ල බෙලරුස් රාජ්‍යයේ ජනාධිපතිවරයා වන ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝ සමග පැවති සාකච්ඡාවකින් පසු නතර කළ අතර අනතුරුව ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ දකුණු රුසියාවෙන් හදිසියේ පිටත් වූ බව පමණක් මුලින් වාර්තා වී තිබිණි. කෙසේ වුවද පෙරේදා (27දා) දිනයේ ප්‍රිගොසින් රැගත් ඔහුගේ පුද්ගලික ජෙට් යානය බෙලාරුස් රාජ්‍යයේ අගනුවර වන මින්ස්ක් නගරයට ගොඩබැස්වූ බව වාර්තා වී තිබිණි.

රුසියාවට එරෙහිව ප්‍රිගොසින් ප්‍රමුඛ වැග්නර් කුලී හමුදාව විසින් දියත් කළ කැරැල්ල නතර කිරීම සඳහා බෙලාරුස් ජනාධිපති ලුකශෙන්කෝ හා ප්‍රිගොසින් අතර පැවති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතාවන් පිළිබඳව මුලදී අනාවරණය වී නොතිබුණ ද විදෙස් මාධ්‍ය විසින් ඊයේ (28දා) දිනයේ වාර්තා කර තිබුණේ ප්‍රිගොසින් හට ආරක්ෂාව සැපයීම හා වැග්නර් කුලි හමුදාවට එරෙහිව රුසියාව විසින් ගොණු කිරීමට සැරසුණු අපරාධ චෝදනා නඩුව ඉවත් කරගැනීමට අදාළ සාකච්ඡාවේදී එකඟතාවයක් ඇති වුණු බවයි. රුසියාව මේ වන විට ඔවුන් විසින් අවි ආයුධ සපයා දී යුක්‍රේනයේ සිටින සිය හමුදාවන්ට සහය වීම සඳහා යොදා ගත් වැග්නර් කුලී හමුදාව සතු අවි ආයුධ රුසියානු හමුදාව වෙත පවරා ගැනීමට සැරසෙමින් සිටී. මේ අතර කැරැල්ලට සහභාගී වූ වැග්නර් කුලී හමුදාවේ සාමාජිකයන්ට බෙලාරුස් රාජ්‍යයේ ජනාධිපති ලුකශෙන්කෝ විසින් දැනුම් දී ඇත්තේ රුසියානු හමුදාවට බැඳීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට, නිවෙස්වලට යෑමට හෝ බෙලාරුස් රාජ්‍යයට යෑම යන පියවරවලින් එකක් තෝරා ගන්නා ලෙසයි. වැග්නර් කුලී හමුදාවේ සාමාජිකයන්ට සිය ප්‍රධානියා සමග එක් වීමට අවශ්‍ය නම් ඔවුන්ට නවාතැන් ගැනීම සඳහා බෙලාරුස් රාජ්‍යයේ අතහැර දමා ඇති හමුදා කඳවුරක් ලබා දිය හැකි බව පෙන්වා දී ඇති බෙලාරුස් නායකයා ඔවුන්ගේ ආරක්ෂාවට වැටක් ඉදි කර ඇති බවත් ඔවුන්ට අදාළ ප්‍රදේශයේ සිය කුඩාරම් ඉදි කරගත හැකි බවත් සඳහන් කර තිබේ. මේ අතර උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයට අයත් පෝලන්තය, ලැට්වියාව හා ලිතුවේනියාව යන රටවල් විසින් අනතුරු අඟවා ඇත්තේ වැග්නර් කුලී හමුදාවේ සාමාජිකයන් බෙලාරුස් රාජ්‍යයට පැමිණීම අසල්වැසි රටවලට කරදරයක් විය හැකි බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment