කෝටි ගණන් හම්බ කරලා

රේගුව සම්බන්ධදැයි පරීක්‍ෂණ

තවත් එස්. ටී. එෆ්. විශිෂ්ට මෙහෙයුමක්

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය තොගපිටින් රැගෙන එන්නේ මුහුදු මාර්ගයන් ඔස්සේය. වර්තමානය වනවිට ගුවන් මගින් මත්ද්‍රව්‍ය රැගෙන එන්නේ ඉතාම අල්ප වශයෙන්ය. ඒ මන්දයත් ගුවන් මගින් මත්ද්‍රව්‍ය රැගෙන ඒම පහසු කටයුත්තක් නොවන්නේ ගුවන්තොටුපළේදී දැඩි පරීක්‍ෂාවකට ලක්කිරීම නිසාය.

ගුවන්තොටුපළ ආරක්‍ෂක අංශ, රේගුව, මත්ද්‍රව්‍ය නාශක අංශය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ද ගුවන්තොටුපළේ රැකවල්ලාගෙන සිටීම නිසා ජාවාරම්කරුවන්ට ඒ හරහා සිය ව්‍යාපාර කිරීම විශාල අභියෝගයකි.

එහෙත් ඒ අභියෝගය තඹ සතයකට මායිම් නොකර කාලයක් තිස්සේ එක්තරා ජාවාරම්කරුවකු ඉන්දියාවේ සිට ගුවන්තොටුපළ හරහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ගජරාමෙට කරගෙන ගියේය. ගුවන්තොටුපළ ආරක්‍ෂක අංශවල දහසක් උකුසු ඇස්වලට වැලිගසමින් මේ ජාවාරම ජයටම කෙරුණේය. ඇතැම්විට ගුවන්තොටුපළේ ඉන්න නිලධාරීන්ගේ සහය මේ ජාවරම්කරුවන්ට ලැබුණා විය යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම් අත්අඩංගුවට ගැනීමට කප් ගැසූ පොලිස් ඒකක මෙන්ම ඒවායේ රාජකාරි කරන ඔස්තාර්ලා සිටියදී මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල හෙළිකර ගන්නේ අද පොලිස් දෙපාර්තමේන්තුවේ කෝකටත් තෛලය මෙන් සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ කාර්යශූර නිලධාරීන් විසින්ය.

දීර්ඝ කාලයක සිට ඉන්දියාවේ සහ කටුනායක ගුවන්තොටුපළ හරහා ඉතාම සූක්‍ෂමව සිදුවූ මේ මහා ජාවාරමේ ලිලිපුට්ටන් පමණක් නොව ගලිවර්ලා ද අත්අඩංගුවට ගන්නට පොලිස් විශේෂ කාර්ය බළකායේ අති දක්‍ෂ නිලධාරීහු සමත්ව සිටිති.

මේ මහා පරිමාණ ජාවාරම වැටලීමේ මුල් අදියර ක්‍රියාත්මක වුණේ ඉකුත් මාර්තු මස 02වැනිදාය. විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතාට මේ මහා ජාවාරම පිළිබඳ මුලින්ම තොරතුරු ලැබී තිබුණේය.

පාතාලයට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට පන්න පන්නා ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති නදීක සිල්වා පොලිස් විශේෂ කාර්ය බළකායේ මේ වනවිට කීර්තිමත් නිලධාරීන් කීපදෙනා අතරට එක්ව සිටින නිලධාරියෙකි. මේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය වැටලීමේ මෙහෙයුමට නදික සිල්වා අත ගසන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායට නව ජීවයක් ලබා දෙමිනි. එම බළකාය මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ සුවිශේෂීම ඒකකය බවට පත් කිරීමට නායකත්වය දෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මතය. විශේෂ කාර්ය බළකායේ බුද්ධි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ ඍජු මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ආරම්භ කෙරිණි.

කිරිබත්ගොඩ දළුගම ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කළ වැටලීමකදී වෙසල් වර්ගයේ මෝටර් රථයක රැගෙන යමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

මේ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ මාස 3ක පමණ කාලයක් තිස්සේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ දුෂ්කර විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

කිට් කැට් චොක්ලට් සහිත පාර්සල්වල ඉතාම සූක්‍ෂ්ම ලෙස අසුරා තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට ගුවන් මගින් රැගෙන ආ බව විමර්ශනවලින් හෙළි විය. අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 60 හැවිරිදි සිදම්බරම් පංචලිංගම් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඔහුට භාරදුන් යුවළක් කටුනායක අධිවේගී මාර්ගය අසලදී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සමත් වූහ.

මෝටර් රථයක යමින් සිටි 33 හැවිරිදි අහමඩ් ඉරාම් සහ 41 හැවිරිදි කංචනා මධුකා නමැති යුවළ සතුව තිබී තවත් අයිස් කිලෝග්‍රෑම් 3ක් සොයා ගන්නට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකි විය. මේ යුවළ නවාතැන් ගෙන සිටි සීදුව ප්‍රදේශයේ හෝටල් කාමරයක් පරීක්‍ෂා කළ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහි තිබී තවත් අයිස් කිලෝ එකහමාරක් සොයා ගත්හ.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. සිදම්බරම් පංචලිංගම්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සත්‍ය වසන් කරමින් ගජබින්න ඇදබෑවේය. මේ පුද්ගලයා කොළේ වසා ගසන බව තේරුම් ගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු නොනවත්වා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළහ.

“සර් මම කරන්නේ නන්දසේන කියල මහත්තයකුට අයිති ගෙවල් දෙකක් බලාගන්න එක. ඒ වෙනුවෙන් මට මාසෙ පඩියක් ගෙවනවා. නන්දසේන මහත්තය එයාගෙ පවුලත් එක්ක ඉන්නෙ ඉන්දියාවෙ බැංගලෝර්වල.”පංචලිංගම් හෙළි කළේය. නන්දසේන නමැත්තා කාගේ කවුද කුමන ව්‍යාපාරයක් කළ අයකු ද යන්න ඒ වනතුරු හෙළිවී තිබුණේ නැත. නන්දසේනට අයත් වත්තල වැලිඅමුණේ සහ ගණේමුල්ලේ පිහිටි නිවාස දෙක පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන්නේ ඉන් අනතුරුවය. රුපියල් කෝටි ගණනක මුදලක් වැයකර අතිසුඛෝපභෝගී ආකාරයට ඉදිකර තිබූ නිවාස දෙකෙහි පදිංචිකරුවන් කිසිවකුත් සිටියේ නැත.

ඉන් එක් නිවසක පාපැදි 327ක් ද ගොඩගසා තිබුණේය.

“මොනවද මේ බයිසිකල්, නන්දසේන බයිසිකල් බිස්නස් කරනවද?” විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පංචලිංගම්ගෙන් විමසුවෝය. “නෑ සර් ඕවා අපේ මහත්තයා උකස්ගන්න ඒවා. ඒ බයිසිකල් බේරගෙන නැහැ. ඒකයි ගොඩගහලා තියෙන්නෙ.”

නන්දසේන නමැති පුද්ගලයා කෙරෙහි ඒ වනවිට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සැකයට භාජනය වී තිබිණි.

මොහු ඉන්දියාවේ බැංගලෝරයේ සිටින බවට ලැබුණු තොරතුරු මේ සැකය තව තවත් තීව්‍රර කිරීමට සමත් විය. විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් නන්දසේන පිළිබඳ තොරතුරු සොයන්නට පටන්ගන්නේ ඉන් අනතුරුවය.

ෆ්ලයිට් එකෙන් අයිස් ගේන මහ මොළකාරයා මාට්ටු…

90 දශකය අගභාගයේ තොටළඟ 75 වත්ත ප්‍රදේශයේ නන්දසේන නමැති තරුණයකු සිටි බවත් ඔහුගේ වැඩිමහල් සොහොයුරු, තොටළඟ කුඩු බන්ධු ලෙස කුප්‍රකට පුද්ගලයකු බවත් හෙළිකර ගන්න බුද්ධි නිලධාරීන් සමත් වූහ. කිඹුලා ඇලේ ගුණා, තෙල්බාලා, උක්කු පුතා, ප්‍රින්ස් කොලම් වැනි පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ ආභාෂය ලබමින් සිටි නන්දසේන නමැත්තා එවකට ඒ තරම් ප්‍රසිද්ධ චරිතයක් නොවීය.

නන්දසේන ඉතාම සුළු වශයෙන් එවකට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටියේය. ඔහුගේ සොහොයුරා තොටළඟ කුඩු බන්ධු ජයටම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටියේ එවකට සිටි අනෙක් ජාවාරම්කරුවන්ට ද අභියෝග කරමින්ය. 2002 වර්ෂයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කුඩු බන්ධු බරපතළ තුවාල ලැබුවේය. ඒ සිදුවීමෙන් සදාකාලික අබ්බගාතයකු වුවද කුඩු බන්ධු සිය මත්ද්‍රව්‍ය ජාවාරම අතහැරියේ නැත.

එවකට පාතාලයේ මහ කෙරුම්කාරයකුව සිටි චින්තක අමරසිංහ සමග කුඩු බන්ධු ආරවුලක් ඇතිකර ගෙන සිටියේය. ඒ ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස කුඩු බන්ධු නොයෙන ගමන් යැවීමට චින්තක අමරසිංහ ඇතුළු පාතාල කල්ලිය කටයුතු කළෝය.

තම සොහොයුරා වූ කුඩු බන්ධු ඝාතනය කිරීම නන්දසේනගේ ජීවිතයට මරු පහරක් එල්ල වූවාක් බඳු විය. තොටළඟ 75 වත්තේ තිබූ තම ආධිපත්‍ය කෙමින් ගිලිහී යමින් තිබුණේය.

තම සොහොයුරාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සියතට ගෙන තොටළඟ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම ආරම්භ කළ නන්දසේන එය දිගටම කරගෙන යෑමට දැඩි උත්සාහයක් ගත්තේය. ඒ වනවිට කිඹුලා ඇලේ ගුණා කොළඹ පාතාලයේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ ද ප්‍රධානීන් කීපදෙනා අතරට එක්ව සිටියේය. නන්දසේන ගුණා සමග සම්බන්ධතා පවත්වමින් සිය ව්‍යාපාරය කරගෙන යෑමට නොගත් උත්සාහයක් නැත.

එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. චින්තක අමරසිංහලාගෙන් මෙන්ම තවත් මත්ද්‍රව්‍ය ජාලයේ පාතාල කල්ලිවලින් නන්දසේනට විවිධ තර්ජන ගර්ජන එල්ලවන්නට විය. මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යනවාට වඩා තම ජීවිතය බේරා ගැනීමට නන්දසේනට අවශ්‍ය විය.

කුඩු බන්ධු ඝාතනයට ලක් වී වසරකට පමණ පසු ඔහුගේ සොහොයුරා වූ නන්දසේන හිටි හැටියේම අතුරුදන් වුණේය. එතැන් සිට නන්දසේන පිළිබඳ කිසිදු තොරතුරක් තොටළඟ 75 වත්තෙන් වාර්තා වුණේ නැත. කෙසේ වෙතත් නන්දසේනගේ තරුණ කාලේ ඡායාරූපයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ට හැකි විය. එය විශාල ජයග්‍රහණයක් වුණේය.

මේ ෆොටෝ එකේ ඉන්නෙ ඔය කියන නන්දසේන නේද?

බුද්ධි අංශ නිලධාරීන් නන්දසේනගේ තරුණ කාලේ ලබාගත් ඡායාරූපය පංචලිංගම්ට පෙන්වමින් ඔහු ගැන විමසුවෝය. ඡායාරූපය දෙස මොහොතක් බලාසිටි පංචලිංගම් එය නන්දසේනගේ නොවන බව කීවේ පොලිස් නිලධාරීන් අන්දමන්ද කරමින්ය.

“සර් මේකෙ ඉන්නෙ නන්දසේන මහත්තය නොවෙයි. මම දන්නෙ නැහැ කවුද මේකෙ ඉන්නෙ කියලා.”

පංචලිංගම් සත්‍ය වසන් කරන බව බුද්ධි නිලධාරීන් තේරුම් ගෙන සිටියහ. මේ අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා පංචලිංගම්ගේ ජංගම දුරකථනය ගෙන පරීක්‍ෂා කළේය. ඒ දුරකථනයේ තිබී නන්දසේනගේ ඡායාරූපයක් පමණක් නොව ඔහුගේ හැඳුනුම්පතේ ඡායාරූපයක් ද සොයා ගන්නට නදික සිල්වාට හැකි විය.

දුරකථනයේ ඡායාරූපයේ සිටින පුද්ගලයාගේ රූපයත්, බුද්ධි නිලධාරීන් පෙන්වූ ඡායාරූපයේ සිටි පුද්ගලයාත් එක සමාන විය. ඒ අනුව චෙන්නායිනුවර සැඟවී සිටිමින් මේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන නන්දසේන මොහු බවට විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනාවරණය කර ගත්හ.

“දැන් කෝ නන්දසේන මිනිහා කොහෙද ඉන්නෙ?”

පංචලිංගම්ගෙන් බුද්ධි නිලධාරීහු ප්‍රශ්න කළහ.

“සර් එයා පවුල එක්ක ඉන්දියාවෙ බැංගලෝර් ඉන්නෙ. ඉඳලා හිටලා තමයි ලංකාවට එන්නෙ. මටත් කාලෙකින් හම්බවුණේ නැහැ.” පංචලිංගම් කීවේය. නන්දසේනගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබාදී ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංකය සොයාගත් බුද්ධි නිලධාරීන් එය ගුවන්තොටුපළ හරහා පරීක්‍ෂා කළහ.

“සර් මේ නන්දසේන පාවිච්චි කරන්නෙ එයාගෙ නමටම තියන පාස්පෝර්ට් එකක්. මිනිහා පසුගිය පෙබරවාරි 29වැනිදා ලංකාවට ඇවිත් තියනවා. ආපහු ගිහිල්ලා නැහැ. මාසෙකට දෙතුන් වතාවක් මේ මනුස්සයා බැංගලෝර් යනවා එනවා.”

විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් තමන් අනාවරණය කරගත් තොරතුරු සියල්ල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාට පැවසුවෝය.

“අපි කොහොම හරි නන්දසේනව හොයාගන්න ඕනෙ. මිනිහා එළියට ආව චරිතයක් නොවෙයි. තිරෙන් පිටිපස්සෙ ඉඳලා තමයි මේ හැම ගේම් එකක්ම ගහලා තියෙන්නෙ.”

වරුණ ජයසුන්දර මහතා සිය නිලධාරීන් දැනුවත් කරමින් ඉදිරි විමර්ශන කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දුන්නේය. විමර්ශන කණ්ඩායම් 4ක් පත්කර ඔවුන්ට පූර්ණකාලීනව නන්දසේන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම භාර දුන්නේය. එමෙන්ම නන්දසේනට රටින් පලායෑම නතර කිරීම සඳහා ගුවන් තහනම් නියෝගයක් ලබා ගැනීමට ද වරුණ ජයසුන්දර මහතා කටයුතු කළේය. නන්දසේන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ආර්. සේනාධීර මහතාය.

සති තුනකට ආසන්න කාලයක් තිස්සේ විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් 4ක නිලධාරීන් නන්දසේන සොයා රට පීරන්නට වූහ. පෙබරවාරි 29වැනිදා සිය දෙවැනි බිරිඳ සමග ශ්‍රී ලංකාවට පැමිණි නන්දසේන ගණේමුල්ලේ පිහිටි නිවසට පැමිණ මෝටර් රථයෙන් පිටව ගොස් ඇති බව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සොයාගත්තේ ඒ ප්‍රදේශයේ සීසීටීවී කැමරා පරීක්‍ෂා කිරීමෙන්ය.

කෙසේ වෙතත් නන්දසේන මාතර, මත්තේගොඩ ඇතුළු ප්‍රදේශ කීපයක සැරිසරා ඇති බව ද බුද්ධි නිලධාරීන් සොයා ගත්හ. ගණේමුල්ලේ පිහිටි සුවිසල් නිවසේ ගබඩා කර තිබූ පාපැදිවල සඟවා මොහු අයිස් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙන එන්නට ඇති බවට සැකයක් ද විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට මතුවී තිබිණි.

තම මත්ද්‍රව්‍ය ජාලයේ ගෝලබාලයන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට කොටුවූ බවට ඒ වනවිට නන්දසේන දැන සිටියේය. ඔහු කෙසේ හෝ රටින් පලායෑමේ අරමුණෙන් විවිධ ස්ථානවල සැඟවී සිටින බවට විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ට තොරතුරු ලැබී තිබිණි. කෙසේ වෙතත් සති තුනකට ආසන්න කාලයක් තිස්සේ නන්දසේන විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ඇස්වලට වැලිගසමින් සැඟවී සිටියේය. නන්දසේන සිය දෙවැනි බිරිඳ සමග නුවරඑළිය ප්‍රදේශයේ නවාතැන්පළක සිටින බවට

ගණේමුල්ල ගෝනහේන කඳවුරේ බුද්ධි නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබිණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ආර්. සේනාධීර මහත්වරුන් දැනුවත් කළ ගෝනහේන කඳවුරේ නිලධාරීන් ඔවුන්ගේ උපදෙස් ලබාගෙන නුවරඑළියේ සැඟවී සිටින නන්දසේන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළහ.

“මිනිහා ළඟ වෙපන් තියෙන්න පුළුවන්. ඒ නිසා කෝකටත් කල්පනාවෙන් යන්න.”

උසස් නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුව ක්‍රියා කළ ගෝනහේන කඳවුරේ නිලධාරීන් 27 වැනිදා දහවල් නුවරඑළියේ පිහිටි නවාතැන්පළ වටලා නන්දසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත්හ. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්වරම දකිද්දී නන්දසේන තුෂ්නිම්භූත වුණේය. රටේ අහිංසක තරුණ ජීවිත විනාශකරමින් කාලයක් තිස්සේ තමන් කළ මහා අපරාධවල වන්දි ගෙවීමට කාලය පැමිණ ඇති බව ඔහුට සිතුණේය. නන්දසේන සතුව තිබී හෙරොයින් තොගයක් මෙන්ම තවත් භාණ්ඩ රැසක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගත්හ.

“සර් මං බැංගලෝර් ඉඳලා ආවෙ හිතවතෙක්ගෙ වෙඩින් එකකට යන්න. මං හීනෙකින්වත් හිතුවෙ නැහැ සර්ලා මාව අල්ලගනියි කියලා.”

නන්දසේන විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හමුවේ කියා සිටියේය. නන්දසේනට අයිස් මත්ද්‍රව්‍ය තොගපිටින් ලැබුණේ ඩුබායි නිපුන හරහාය. නන්දසේන මේ අයිස් තොග ලංකාවට එව්වේ ගුවන් මගින්ය. ඒ සඳහා මොහු මුස්ලිම් ජාතිකයකු සහ සිංහල කාන්තාවක් යොදා ගත්තේය.

ඉකුත් 02 වැනිදා කටුනායක අධිවේගී මාර්ගය අසලදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත්තේ නන්දසේනගේ අයිස් මත්ද්‍රව්‍ය ගුවන් මගින් ප්‍රවාහනය කරන කාන්තාව සහ පිරිමි පුද්ගලයාය.

එම මත්ද්‍රව්‍ය තොග මෙරට බෙදාහැරීමේ කාර්යභාරය පැවරී තිබුණේ නන්දසේනගේ නිවාස බලා කියාගත් පංචලිංගම්ටය.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා නන්දසේන උපයාගත් ධනය පාවිච්චි කර ඉදිකළ වත්තල සහ ගණේමුල්ලේ පිහිටි සුපිරි නිවාස දෙක නීති විරෝධී වත්කම් පවරාගැනීමේ ඒකකය භාරයට ගෙන තිබුණේ ඒ සියල්ල රාජසන්තක කිරීම සඳහාය.

කෙසේ වෙතත් පොලිස් ඇසට වැලිගසමින් කාලයක් තිස්සේ ගුවන් මගින් නන්දසේන කරගෙන ගිය ජාත්‍යන්තර අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම අනාවරණය කරගෙන ඊට සම්බන්ධ සියලු අපරාධකරුවන් නීතියේ රැහැනට නතුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන මේ භාරධුර කාර්ය ඉතාම අගය කළ යුතුය. අත්අඩංගුවට ගත් නන්දසේන ඇතුළු ඔහුගේ සහචරයන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කටයුතු කළහ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ආර්. සේනාධීර යන මහත්වරුන් සහ ගෝනහේන කඳවුරේ නිලධාරීන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment