වසර 20කට පසු ඇමරිකාවෙන් මැලේරියා රෝගීන් හමු වේ

190

ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් විසින් වසර 20ක පමණ කාලයකට පසු ප්‍රථම වරට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත දෙකකට මැලේරියා රෝගය පිළිබඳව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ෆ්ලොරිඩා හා ටෙක්සාස් යන ප්‍රාන්ත දෙකට මෙම සෞඛ්‍ය අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර එම ප්‍රාන්තවලින් පසුගිය දිනවල මැලේරියා රෝගීන් පස්දෙනකු වාර්තා වීම මෙයට හේතු වී ඇතැයි රෝග නිවාරණය හා පාලනය පිළිබඳ ඇමරිකානු මධ්‍යස්ථානය පවසයි.

ඇනෝෆිලිස් මදුරුවා හරහා පැතිරෙන මැලේරියා රෝගය අප්‍රිකානු, ආසියානු, මධ්‍යම හා දකුණු ඇමරිකානු රටවල සුලභව දක්නට ලැබෙන රෝගයක් වුවද එය ඇමරිකාවට ආධුනික රෝගයකි. ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් මැලේරියා රෝගීන් 04 දෙනකුද, ටෙක්සාස් ප්‍රාන්තයෙන් එක් රෝගියෙකුද වශයෙන් මෙම රෝගීන් වාර්තා වී ඇති අතර එම රෝගීන් හඳුනාගත් ප්‍රදේශවල තවත් රෝගීන් සිටින්නේදැයි පරීක්ෂා කරගෙන යන බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු පවසා තිබේ. මැලේරියා රෝගයේ පැතිරීමක් ඇමරිකා එක්සත් ජනපදය තුළ මෑතකාලීනව දක්නට නොලැබුණ ද එම රෝගය පතුරුවන ඇනෝෆිලිස් මදුරු විශේෂය එරට බොහෝ ප්‍රදේශවල බෝවී සිටින බව අනාවරණය වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment