මට ජීවත් වෙන්න ඕනෙ කොල්ලෙක් වගේ… – ලිපියක් ලියා 14 හැවිරිදි පාසල් දැරිය ගෙල වැලලාගෙන මරුට

630

“කෙල්ලක් වෙලා ඉපදිලා ජීවත් වීමට ලැබීම දුකක්. මට ජිවත් වෙන්න උවමනා කරන්නේ කොල්ලෙක් වගේ…” කියා මවට ලිපියක් ලියා තබා කඳාන ප්‍රදේශයේ උතුරු බටගම පදිංචි 14 හැවිරිදි පාසල් දැරියක් නිවසේ තම නිදන කාමරයේ ඊයේ (28 දා) ගෙල වැළලාගෙන මියගොස් ඇති බව කඳාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කඳාන අවට ගමක පදිංචි නවවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක බව පොලිසිය සඳහන් කරයි.

දැරිය ගෙල වැළලා ගැනීමට ප්‍රථම තම මවට ලිපියක් ලියා තබා ඇත. එම ලිපියේ තමන් ගැහැනු ළමයෙකු වීම ගැන හැම මොහොතකම අධික කනගාටුවකින් පසුවන බවත් පවසා ඇත. තමන්ට ජීවත් වීමට අවශ්‍ය කරන්නේ පිරිමි ළමයෙකු ලෙස බවත් එහි සඳහන් කර ඇතැයි වැඩිදුර සිදුකරන ලද විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අතරම රූපවාහිනියේ මෑතකදී විකාශනය වුණ කොරියන් ටෙලි නාට්‍යයක එක්තරා පිරිමි නළුවෙකුට තමා බෙහෙවින් ඇලුම් කරන බවද ඇගේ ලිපියේ සඳහන්ව ඇති බව විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බවද පොලිසිය ප්‍රකාශ කරයි.

මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ තබා ඇත. කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ගාමිණී හේවාවිතාන මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් එන්. ඩී. සමන්ත (35506) මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
බී. ටී. කේ. – ජාඇල

advertistmentadvertistment
advertistmentadvertistment