යුද්දෙ ඉවර වුණත් තාමත් ජීවත්වෙන්න යුද්ධ කරන මිනිස්සු

2375
කැඹිතිගොල්ලෑව බස් අනතුර සිදුව ඇති අයුරු

වසර පහළොවකට ආසන්න කාලයක් ගතව ඇතිමුත් කුරිරු යුද්ධයක සාපය තවමත් අවසන් වී නැත. ආදරණීයන් අහිමි වූ ඔව්හූ තවමත් කම්පනයෙනි. බොහෝ පවුල් තවමත් පීඩාවෙනි. නිතර හඬන්නට කඳුළු නොමැත්තේ වුව ඔවුන් දිවි ගෙවන්නේ කඳුළු ගඟකය. එසේ වුව ඔවුනගේ ප්‍රාර්ථනය උත්තරීතරය. තමාට අත්විඳීමට සිදුව ඇති දුක්ගැහැට තවත් අයෙකුට උරුම නොවනුවස් යළි යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව ඔවුහූ තරයේ අදහති.

යුද ගැටුම් පැවැති උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල මිනිසුන් මෙන්ම දකුණේ ඇතැම් අය ද තවමත් යුද්ධයේ අතුරු ප්‍රතිඵල මෙන්ම අනෙකුත් ආර්ථික හා සමාජීය ගැටලු නිසා බොහෝ අපහසුතා මැද එදිනෙදා ජීවිත ඉතාමත් අසීරුවෙන් සරිකර ගැනීමට උත්සාහ කරන බව තව දුරටත් වසන් කළ යුතු කාරණයක් නොවේ.

යුද්ධය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ අතර, තවත් පිරිසකට තම දූ දරුවන් මෙන්ම සියලු නිශ්චල, චංචල දේපළ ද සඳහට ම අහිමි වී ගොස් ඇත. බොහෝ පිරිසක් ශරීරයේ විවිධ අවයව අහිමිවීමෙන් සදාකාලික හා අර්ධ අබාධිත තත්ත්වයට පත්ව සිටිති.

යුද්ධය, පුනරුත්ථාපනය, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්, යුද සැමරුම් මේ ආදි කාරණා යුද්ධය හා සම්බන්ධ ශබ්ද කෝෂයේ නිතර කියැවෙන අසන්නට ලැබෙන වදන්ය. පෙර කී ලෙස යුද්ධය නිමා වී වසර පහළොවක් ගතව ඇතිමුත් , වසර තිහකට වැඩි කාලයක් පැවැති කුරිරු යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ජනතාව මෙන්ම ආරක්ෂක අංශයේ දහස් ගණනක් රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වන්නේ තවමත් නොවිසඳුණු සමාජ, ආර්ථික ගැටලු රාශියක් කරපින්නාගෙනය. ඒ කිසිවක් ඔවුන් ඉල්ලාගෙන උරුම කරගත් දේ ලෙස එම ජනතාව දකින්නේ නැත. මේ සියල්ල තමන්ට බලහත්කාරයෙන් උරුම කළ ඒවා බව බව ඔවුන්ගේ අදහසයි.

යුද්ධයෙන් ආබාධිතව සිටින උතුරු නැඟෙනහිර හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව හා ආරක්ෂක අංශයේ සේවය කළ අය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවී වත්මනේ ඔවුන් මුහුණ පා හිඳින සමාජ ආර්ථිකමය ගැටලු, අර්බුදයන් සෙවීමට අපි උත්සාහ කළෙමු.

උතුරු – නැඟෙනහිර යුද්ධයේදී වැඩි වශයෙන් දරුණු ප්‍රහාරයන්ට ගොදුරු වූයේ, මුලතිව් දිස්ත්‍රික්කයේ සිවිල් ජනතාවය. එමෙන්ම යුද්ධයට සම්බන්ධ දෙපාර්ශ්වයේම වැඩිම මියගිය හා ආබාධිත වූවන් පිරිසක් සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේය. ආරක්ෂක හමුදාවල හා පොලිසියේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටිය දී මියගිය හා ආබාධිත තත්ත්වයට පත් වූවන් බහුතරයක් රාජකාරි කර ඇත්තේ යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කවලය. එමෙන්ම නැඟෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒරාවූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගෙන් බොහෝ පිරිසකට L.T.T.E. ප්‍රහාර හේතුවෙන් දිවි අහිමිව ගොස් තිබේ. අබාධිත තත්ත්වයට පත් වූ අය ද බොහෝය.

මුලතිව් දිස්ත්‍රික්කයේ සිටින යුද්ධයේදී ආබාධිත වූ සිවිල් හා ආරක්ෂක අංශයේ පිරිස සම්බන්ධව නිවැරදි සංඛ්‍යා ලේඛන ලබාගැනීම සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය හා තොරතුරු නිලධාරි තිරුචෙල්වම් දිවාකරන් මහතා අපි මුණගැසුනෙමු.

යුද්ධය නිමා වීමෙන් අනතුරුව මුලතිව් දිස්ත්‍රික්කයේ භෞතික වශයෙන් සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් සිදු කර ඇති බව දිවාකරන් මහතා කියන්නේය. එහෙත් කවර හේතුවක් නිසා හෝ අදාළ, සමාජ අපේක්ෂාවන් සංවර්ධනය වී නොමැති බවත්, ආබාධිත වූ පිරිසට විශේෂ වන්දියක් ලබා දී නොමැති බවත් දිවාකරන් කියන්නේය. එනමුත් , රජය මගින් සහනාධාර ලබාදීමේ වැඩසටහන්වල දී එම පිරිසට මූලිකත්වයක් ලබාදී කටයුතු කරන බව හෙතෙම කියන්නේය.

● තවත් කරදරනම් එපා …… ‘ නම්කුලම් පුෂ්පාවතී ’

යුද්ධයේ අමිහිරි ඇතැම් නෂ්ටාවශේෂ තවමත් ඉතිරිව ඇති මඟක අප ගමන් කළේ මේ ආන්තික ප්‍රජාව සොයාගෙනය. අප මුලින්ම ගියේ යුද්ධය ඉතා දරුණු අන්දමින් පැවැති මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුරම්, ඉනියවාල් ප්‍රදේශයටය. පනස්නව හැවිරිදි ‘ නම්කුලම් පුෂ්පාවතී ’ අපට මුණ ගැසෙන්නේ එහිදීය. ඇය අප සමග කතා කරන්නට මැලිකමක් දැක්වූයේ නැත. එහෙත් ඇය අපගෙන් කාරුණිකව ඉල්ලා සිටියේ, තමන්ගේ ඡායාරූප නොගන්නා ලෙසය. කිසිවක් ඒ ගැන නොකීව ද එවැනි ඉල්ලීමක් කරන්නට හේතුව අනවශ්‍ය කරදරයක පැටළෙන්නට සිදුවෙතැයි යන සිතුවිල්ල බව අපට හැඟිණි.

“යුද්ධය නිසා 2005 ජනවාරි මාසේ මගේ සැමියයි, පුතයි, දුවයි එක්ක පවුලේ තුන්දෙනෙක් මෝටාර් වැදිලා ගෙදර ඇතුළේ දීම නැති වුණා. මම විතරයි පවුලේ ඉතිරි වුණේ. මම ඒ වෙලාවේ ගෙදරින් එළියේ හිටියේ. මගේ වම් කකුල තුවාල වෙලා ජීවිතේ බේරුණා. ඇවිදින්න බැරිව වසර ගාණක් දුක් වින්දා. කකුල අදටත් ආබාධිතයි. පවුලේ අනිත් අය සමග මම මැරුණේ නැත්තේ මගේ කරුමයකට කියල දැන් හිතෙනවා. ජීවත් වෙන්න කුලී වැඩට යනවා. සමහර අය මගේ කකුලේ ආබාධය දැකලා කුලී වැඩ නෑ කියනවා. අසරණකම නිසා කොන් වෙලා ඉන්නේ. සහනාධාර විදියට රජයෙන් කිසි දෙයක් ලැබිලා නෑ. මේ දුක්ඛිත ජීවිතය විඳවලා දැන් එපා වෙලා ඉන්නේ. අපි වගේ අසරණ අය වෙනුවෙන් තව ජීවත් වෙන්න තියන කෙටි කාලයට හරි උදව් කරන්න කියලයි මම කියන්නේ .”

ඇය කිවේ හැඬු කඳුළිනි. මුලතිවු ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ කතාව “නම්කුලම් පුෂ්පාවතී ” ගේ කතාවට සමානය. ඒ හැම කතාවකම රේඛිය කතාව එය බැවින්, සියලුම කතා මෙහි පෙළ ගස්වා කියවන ඔබේ ඔළුවට බරක් කරන්නට අප කල්පනා කරන්නේ නැත. ඒ සියලු කතා එකිනෙකට වෙනස් වන්නේ ඉතාම සුළු සිද්ධීන්ගෙන් පමණි. නැඟෙනහිර පළාතේ මඩකලපුවේ වුව මෙම තත්ත්වයේ වෙනසක් නැත. මඩකලපුවේ, යුද්ධයක අතිශය දරුණු අත්දැකීම් ඇති පිරිස සිටින්නේ ඒරාවුර් ප්‍රදේශයේය.

එකම රටක අන්ත දෙකක් වුව

‘ එච්.එම්.කලීසා කුට්ටි’ ගේ කතාව ද නම්කුලම් පුෂ්පාවතීගේ කතාවට සමානය.

යුද්දෙ ඉවර වුණත් තාමත් ජීවත්වෙන්න යුද්ධ කරන මිනිස්සු

“මම අපේ පවුලේ අය සමග බසයකින් ගමන් කරමින් සිටිය දී කොටි ත්‍රස්තවාදීන් 1989 වසරේ ජනවාරි මාසේ දවසක රූගම ප්‍රදේශයේ දී අපිට වෙඩි තැබුවා. එහිදී මටයි, සැමියටයි ළමයි තුන්දෙනාට ම වෙඩි වැදිලා තුවාල වුණා. මට බරපතළ තුවාල වුණා. මගේ වම් කකුලේ ඉණ ප්‍රදේශයට වැදුන වෙඩි පහර නිසා අදටත් අත්වාරුව නැතිව ඇවිදින්න බෑ. අත් දෙකටත් වෙඩි වැදුනා. මමයි සැමියයි දෙන්නම අවුරුද්දකට වැඩිය මඩකලපුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තා. අපි ජීවත්වුණේ හරක්, කුකුළෝ හදලා ලැබුණ ආදායමෙන්. ජීවත්වෙන ඉදිරි කෙටි කාලේ හරි සතුටින් මැරෙන්න අපට රජයෙන් සහනාධාරයක් ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා”. පනස්හත් හැවිරිදි කලීසා කුට්ටි කියන්නීය.

ඒරාවූර් මුස්ලිම් ගම්මානයේ පදිංචි සිටි පවුල්වල 121 දෙනෙකු 1990.08.12 වැනි දින නිදාගෙන සිටිය දී මැදියම් රාත්‍රී කොටි ත්‍රස්තවාදීන් පැමිණ ඉතා ම්ලේච්ඡ අයුරින් කපා කොටා ඝාතනය කළ බව කිවේ ‘ එම්. ෆාතිමා ‘ ය. එම ප්‍රහාරයේදී කුඩා දරුවන් ඇතුළු තම ඥාතීන් අහිමි වූ දුක තවමත් දරාගත නොහැකි බව ඇය කිවාය. එරාවුර් මුස්ලිම් ගම්මානයේ ජනතාවට අයිතිව තිබූ ඉඩම් මේ දක්වා නොලැබීමෙන් තමන්ට ජීවත් වීමට ස්ථීර ආදායම් මාර්ගයක් නොමැති බව ද ෆාතිමා වැඩිදුරටත් පැවසුවා ය.

1991 වසරේ දී ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක දී තමන්ගේ දකුණු කකුල දණහිස ළඟින් ඉවත් කරන්න සිදු වූ බවත්, උදරයට ද බරපතළ තුවාල සිදු වූ බවත් කිවේ, එරාවූර් සදාම් හුසේන් ගම්මමානයේ ‘ ෂාවුල් අබ්දුල් හමීඩ් ජබාර්’ය. මීපැණි රැගෙන ගොස් ජංගම වෙළෙඳාමේ යෙදී ලැබෙන මුදලකින් දරු පවුල නඩත්තු කළ තමන්ට කකුල අහිමිවීමෙන් පසුව කිසිදු රැකියාවක් කිරීමට නොහැකි වූ බව පවසන හැටදෙහැවිරිදි අබ්දුල් හමීඩ් ජබාර් , ආබාධිත වීමෙන් පසුව බිරිඳ, දරුවන් හා තමන් හැර ගිය නිසා දරුවන් සමග තමන් දැඩි ලෙස අසරණ වූ බව ද කිවේය. හමීඩ් ජබාර් ට , ස්වේච්ඡා සංවිධානයකින් කෘතිම පාදයක් ලබාදී තිබේ. එමෙන්ම අනතුර සිදු වූ කාලයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සුළු මුදලක් ලබාදී ඇති මුත් , වසර ගණනනකින් කිසිදු සහනාධාරයක් ඔහුට හිමිව නැත. ඇත්ත වශයෙන්ම මේ හිඳින්නේ ආණ්ඩුවේ ‘අස්වැසුම’ට අනිවාර්යයෙන්ම ඇතුළත් වියයුතු පිරිසය. අවාසනාවකට ඒ ‘ කැටගරියට ‘ මේ පිරිස අසුවන්නෙම නැත.

● දැන් ගමට ගැළපෙන නම ‘යකාවැව’

යුද්ධයට ජාති, කුල, ආගම් භේදයක් තිබුණේ නැත. යුද්ධය , පවුල් පිටින් බොහෝ පිරිසකගේ ජීවිත බිලි ගත්තේ ඔව්හූ කිසිවෙකුත් නොසිතූ අයුරින් ඉතාමත් ඛේදනීය ලෙසය. උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ, යකාවැව ගම්මානය මෙහිදී කිසිවෙකුටත් අමතක කළ නොහැක්කේය.

2006 වසරේ ජූනි මස 15 වැනි දින යකාවැව ගම්මානයම එකම මළගමක් බවට පත් කිරීමට හිත් පිත් නැති කුරිරු L.T.T.E. ත්‍රස්තයින්ට ගත වූයේ නිමේෂයකි. මුලතිව් මහ වනයට මායිම්ව පිහිටි යකාගමට එම නම ඉතා උචිත බවට අපට හැඟුනේ එම ප්‍රදේශයේ තවමත් පවතින බිහිසුණු පාළු පරිසරය නිසාය. කැඹිතිගොල්ලෑව නඟරයේ සිට කිලෝ මීටර් 10 ක් පමණ දුරින් පිහිටි එම ගම්මානයට අප ගියේ ද වනඅලි තර්ජන හමුවේ ය. වෙනකක් තබා ගමනාගමන අපහසුතා රැසක් මැදය. එහෙයින්ම ගම්මානයේ ජීවත්වන මිනිසුන් ගැන කවර කතා ද?

ගොවිතැන ජීවනෝපාය කර ගත් යකාගම ගම්මානයේ පදිංචි පවුල් 135ක වැඩි පිරිසක් එකම නෑදෑ පරපුරකට හිමිය. යකාගමට මදක් දුරින් පිහිටි කච්චකුඩිය ගමේ පිහිටි ඥාති මළගෙදරක යෑම සඳහා 2006.06.15 වැනි දින ගමට එන එකම පොදු ප්‍රවාහන සේවයේ ලංගම බසයට මේ පිරිස ගොඩවී ඇත්තේ ඥාතියාගේ අවසන් කටයුතුවලට සාහභාගී වී ආපසු නිවෙස් කරා එන අදහසිනි. නමුත් ඔවුන් නොසිතූ අයුරින් මළගමට යෑමට පෙර ම බසයේ ගමන් ගත් 130 දෙනාගෙන් කුඩා ළමයින් ඇතුළු 69 දෙනෙකුට ඥාතියා සමගම මෙලොව හැර යෑමට සිදුවීම කෙතරම් ඛේදජනක ද?

මෙම පිරිස ගමන් ගත් බස් රථය යකාගම, කෝන්ගොල්ලෑව ප්‍රදේශයේ දී 2006.06.15 වැනි දින පෙ.ව. 07.20 ට පමණ අධිබල ක්ලේමෝ බෝම්බයකට හසුවීමෙන් සියල්ලෝම ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියහ. බරපතළ ලෙස තුවාල සිදුවී ජීවිතය බේරාගත් කීපදෙනෙකු අතරින් දැනට ආබාධිත තත්ත්වයේ පසුවන නයිඳුරාලලාගේ රත්නායක තවමත් ජීවත්වන්නේ එම කම්පනය සිත තුළ දරාගෙනය.

“ ඒක මතක් වෙනකොට මට දරාගන්න බෑ. ගමේ වැඩි දෙනෙක් එකම තැනක එහෙම මැරෙන්න සිද්ධ වුණේ මොන කරුමයක් කරපු හන්දද? මගේ ජීවිතේ බේරුණේ අනූ නවයෙන්. මගේ බිරිඳයි, පුතයි දෙන්නත් අනතුරෙන් එතැනම මිය ගියා. මගේ අත් දෙකට බරපතළ තුවාල සිදුවුණා. දකුණු අතේ ඇඟිලි තුනක් නැතිවුණා. වම් අතේ වළලුකර තුවාල වුණා. මගේ අත් දෙකෙන් වැඩක් කරන්න බෑ. ඇඳුම් අන්ඳන්න කවුරු හරි උදව්වට ඉන්න ඕන. අතේ ඇඟිලි එක් කරල කෑම කන්න ගියත් තියන ඇඟිලි හරියට එකතු කරන්න අමාරුයි. අපි ගොවිතැනින් ජීවත් වෙච්ච මිනිස්සු. මට දැන් කිසි දෙයක් කරන්න බෑ. අනිත් අයත් එක්ක මැරිලා ගියානම් හොඳයි කියල හිතෙනවා. අනතුර වෙච්ච කාලේ රජයෙන් වන්දියක් ලැබුණා. නමුත් එවා මුළු ජීවිත කාලෙටම ජීවත් වෙන්න ඇද්ද? සමෘද්ධි දීමනාව රුපියල් 5000/- විතරයි ලැබෙන්නේ. අද තියෙන ආර්ථික අමාරුකම් මැද්දේ ඒක මොනව කරන්නද? මමත් කවුරු හරි දෙන දෙයක් කාල තමයි ජීවත් වෙන්නේ. ”

වසර 30කට ආසන්න කාලයක් තිස්සේ පැවැති යුද්ධය හේතුවෙන් පොලිස් , ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සිවිල් ජනතාව 274711 (දෙලක්ෂ හැත්තෑ හතරදහස් හත්සිය එකොළහක්) පමණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව 2010 වසරේ දී සමාජ සුභ සාධන අමාත්‍යාංශය මගින් කරන ලද සංගණයේ දී අනාවරණය වී තිබේ. ඉන් පසුව කරන ලද සංගණනයක් පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.

● පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටිය දී යුද්ධය නිසා අත් දෙකම අහිමිව ගිය එකම සෙබළා

මස්කෙළිය, කුඩා මස්කෙළියේ දී කේ.පී.විරාජ් ජීවන්ත ද සිල්වා අපට මුණගැසුණේ ,පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරමින් සිටියදී යුද්ධය නිසා ආබාධිත බවට පත්වූ අයෙකු ලෙසය.

මේ වනවිට තිස්අට හැවිරිදි වියෙහි පසුවන ජීවන්ත ද සිල්වා පොලිස් විශේෂ කාර්ය බළකායට බැඳී ඇත්තේ 2008 වසරේ දී ය. 2004 වසරේ ඔහුගේ පියා හදිසියේ මිය යෑමෙන් අනතුරුව පවුලේ සියලු වගකීම් ජීවන්තට දැරීමට සිදුවූ නිසා පොලිස් විශේෂ කාර්ය බළකායට එක් වීමට තීරණය කර තිබේ. සහෝදරියන් තිදෙනෙක් හා එක් සහෝදරයෙක් සහිත පවුලක ඔහු ‘ බරක් ‘ කරට ගෙන තිබේ. සහෝදරියන් දෙදෙනෙක් විවාහ වී සිටින බවත්, බාල සහෝදරයා, අනෙක් සහෝදරිය හා මව තමන් සමග ජීවත්වන බව තවමත් අවිවාහකව සිටින ජීවන්ත කියන්නේය.

පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් පොතුවිල්, 10 කණුව කඳවුරේ අබිලි ගබඩාවේදී 2012.09.24 වැනි දින L.T.T.E. සංවිධානයට අයත් පීඩන බෝම්බයක් පිපිරී යෑමෙන් ජීවන්තගේ දෑත් වළලුකර ප්‍රදේශයෙන් වෙන්ව ගොස් ඇති අතර වම් ඇසට හානි සිදු වීමෙන් ඇස සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුව තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටිය දී යුද්ධය නිසා අත් දෙකම අහිමිව සිටින එකම සෙබළා තමන් බව ජීවන්ත පවසයි. පශ්චාත් යුද ක්‍රියාකාරකමක් ලෙස සිදුවී ඇති මෙම බෝම්බ පිපිරීමේ දී ජීවන්තගේ උදරයේ වම් පස සිට හිස දක්වා කන හා නාසයට දරුණු ලෙස තුවාල සිදුවී තිබේ. හෙතෙම වසරකට ආසන්න කාලයක් නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවෙන් තමන්ට මාසික වැටුප පමණක් ලබාදෙන බවත්, අවුරුදු 55න් පසුව විශ්‍රාම වැටුප නොලැබෙන බවත් ඔහු පවසයි. යුද හමුදාවේ ආබාධිත සෙබළුන් රැකීමට “අභිමන්සල” වැනි ආයතන පිහිටුවා ඇතත් පොලිස් දෙපාර්තමේන්තුවේ එවැනි ආයතන පිහිටුවා නොමැතිකමින් තමන් වැනි ආබාධිත සෙබළුන් දැඩි ලෙස අසරණව සිටින බව ජීවන්ත පවසයි. ජීවන්ත ද සිල්වා මහතා මේ වනවිට තමන් ස්නායු ආබාධ, දියවැඩියාව හා තවත් නිධන්ගත රෝගවලින් පීඩා විඳින බවත් කීවේය. එම රෝග සඳහා රෝහල් කීපයකින් ප්‍රතිකාර ලබාගන්නා බව පවසන ජීවන්ත ආබාධිතව සිටින තමන්ට බෙහෝ අවස්ථාවල සමාජයෙන් අසාධාරණකම් රැසක් සිදුව ඇති බවත් ඒ සැම රට ජාතිය වෙනුවෙන් උපේක්ෂාවෙන් විඳ දරා සිටින බවත් දැඩි හැඟීම් බරව පවසයි. ආබාධිත තත්ත්වයට පත්වීමෙන් අනතුරුව මූලික වැටුප පමණක් ලැබුණ බවත්, ගමන් වියදම්, දිරි දීමනා, හා පහන් දීමනා දැනට වසර 05ක් තිස්සේ නොලැබෙන බවත් හෙතෙම කියා සිටී. රණවිරුවන්ට ඉඩම් ලබාදෙන බව සෑම රජයකින් පැවසුවත් වසර 10ක් තිස්සේ එය ඉටු නොවූ පොරොන්දුවක් බව පවසන ජීවන්ත, ජීවිතයේ යෞවනත්වයේ දීම ආබාධිත තත්ත්වයට පත්වූ තමන් මේ වනවිට දැඩි මානසික පීඩනයකින් පසුවන බවත් කීය.

ආබාධිත ජීවන්ත ද සිල්වාට තම එදිනෙදා කටයුතු සඳහා වෙනත් අයෙකුගේ සහාය අනිවාර්යෙන් ලබාගත යුතුව තිබේ. ආහාර කැවීම, වැසිකිළි යෑම, ස්නානය, ඇඳුම් ඇඳීම, වැනි අත්‍යවශ්‍ය ශාරීරික ක්‍රියාවන් සඳහා තම මව සමග පවුලේ අය මෙන්ම හිත මිතුරන් ද උදව් කරන බව ජීවන්ත පවසයි. වාහනයකට නැඟීම හා බැස යෑමේදී තමන් දැඩි අසීරුතාවයකට පත්වන බව ජීවන්ත කියයි. පවතින ආර්ථික ප්‍රශ්න හේතුවන් තම වැටුප මව ඇතුළු පවුල නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවන බව පවසන ජීවන්ත ආබාධිත වූවන් සඳහා රජය මගින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අවසන් වශයෙන් පැවසීය.

තිස් වසරක යුද්ධයේ දී L.T.T.E සංවිධානය මගින් බලෙන් පැහැර ගෙන ගොස් යුද පුහුණුව ලබා දී යුද බිමට යොමු කළ ආබාධිත ළමා සොල්දාදුවන් ද විශාල පිරිසක් උතුර නැඟෙනහිර ප්‍රදේශවල සිටිති. පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව එම පිරිස මේ වනවිට ආබාධිත වැඩිහිටියන් ලෙස විවිධ සමාජ, ආර්ථික ප්‍රශ්නවලට මැදිව දිවි ගෙවති. ඔවුන්ට සහන ලබාදීමට රජය පාර්ශ්වයෙන් මීට වඩා මැදිහත්විය යුතු බව එම ආන්තික ප්‍රජාව පවසති.

ආබාධ සහිත පුද්ගලයින්ගේ සුභ සාධනය හා ඔවුන්ට හිමිවිය යුතු වන්දි මුදල් ලබාගැනීම සම්බන්ධව ආබාධ සහිත පුද්ගලයින්ගේ මහ ලේකම් කාර්යාලයෙන් අප කළ විමසුමක දී එහි නිලධාරියෙක් කියා සිටියේ, ආබාධිත වූ පුද්ගලයින් සුභ සාධන කටයුතු හා වන්දි මුදල් ලබාගැනීමට අදාළව ඉල්ලුම් කරන ඕනෑම පුද්ගලයෙකුට අදාළ චක්‍රලේඛවලට යටත්ව සුදුසුකම් මත කටයුතු කරන බවය.

යුද්ධය යන වචනය පවා ඇසීම අමිහිරිය. යුද්ධයට ආශිර්වාද කරන්නෝ නැත්තෝහ. ආශිර්වාද කරන්නෝ ද නැත්තේම නොවේ. කෲරත්වය රජ කරන යුද්ධයට මුලින්ම ආශීර්වාද කරන්නේ හිත් පිත් නොමැති ආයුධ වෙළෙන්දෝය. අනෙක් පිරිස අවස්ථාවාදී දේශපාලනඥයන්ය. යුද්ධයෙන් කවුරු ජය ලැබුවත්, කවුරු පරාජය වූවත් දෙපාර්ශ්වයටම අත් විඳීමට සිදුවන අත්දැකීම් ඉතා අමිහිරිය, එහි සැබෑ ශෝචනීයත්වය වචනයෙන් විග්‍රහ කළ නොහැක. යුද්ධයෙන් පීඩාවට පත්වූවන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් තම ජීවිත කාලයේම අත් විඳින්නේ අතිශය පීඩාකාරී තත්ත්වයන්ය. යුද්ධයට ශාප කරනවාට වඩා යුද්ධයක් නිර්මාණය වීමේ ඉඩ හසර ඇති නොකර සිටීම දේශපාලනඥයන්ගේ වගකීමකි. වසර 30කට පසුවත් යුද්ධයේ බිඳ වැටීම අද දවසේ අත්විඳින්නේ ජාති, කුල, ආගම් භේදයෙන් තොරව මේ රටේ සමස්ත පුරවැසියන්ය. කුරිරු යුද්ධයේ ශෝචනීය අතුරු ඵලයක් වන ආබාධිත සිවිල් හා අරක්ෂක අංශයේ ආන්තික ප්‍රජාවගේ තවමත් නොවිසඳුණු ගැටලු ගැන වගකිවයුත්තන්ගේ කඩිනම් අවධානයට ලක්විය යුතු බව අවධාරණය කර සිටින්නෙමු.

මස්කෙළිය –
ගාමිණී බණ්ඩාර
ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment