සංස්කෘතික දෙපාර්තමේන්තුව පිහිටුවා මෙරට උරුමයන් ආරක්ෂා කිරීමට 1956 අප්‍රියෙල් 12 වන දින ගත් පියවර නිසා විශාල ප්‍රබෝධයක් ඇති විය. ඒ අතරම සිංහල රාජ්‍ය භාෂාව කිරීමත් පෙළ පොත් සිංහල බසින් පළ කිරීමත් සාම්ප්‍රදායික කලා කරුවන් ඉහළට ඔසවා තැබීමත් හේතු කොට ගෙන හැටේ දශකයේ සිදු වූ සංස්කෘතික පෙරළිය ජනතාවගේ ජාතික මනස අවදිකරවන්නට බෙහෙවින්ම සමත් විය. පසුකාලීනව ඇති වූ දේශපාලන කලබැගෑනි නොතිබෙන්නට මෙරට සංස්කාතික උරුමයන් ලෝකයේ සුවිශේෂී අගය කිරීම්වලට පාත්‍රව වන්ට ඉඩ තිබුණි. එය මෙරට ආර්ථිකයේ ශක්තිමත් බවට මහඟු පිටිවහලක් වන්ට ඉඩ තිබිණ. එහෙත් විවෘත ආර්ථික ප්‍රවාහයෙන් උත්සන්න වූ ලුම්පන් සංස්කෘතික ප්‍රවේශය බිහි කරන්නට සමත් වූ තණ්හාධික සමාජය විසින් සංස්කෘතියේ මහඟු ප්‍රවණතා කාබාසිනියා කර දැමූ බව සිහිපත් කළ යුතුය. මෙරට සංස්කෘතික උරුමයේ විශිෂ්ටතම පැතිකඩ පුරාතන වාස්තු නිර්මාණ ඇතුළත් ජාතික උරුමයයි. 1940 සිට එය පුරාවිද්‍යා උරුමයක් ලෙසට වර්ගීකරණය කර තිබුණද සැබවින්ම එය මෙරට ශිෂ්ටාචාරය බිහි කළ සිංහලයන් ගේ ජාතික උරුමයයි.

1956 සංස්කෘතික විප්ලවය විසින් බිහිකළ දේශපාලනයක් ඇත. මෙරට කලා ශිල්පයන්ට පුරාවිද්‍යාවට භාෂා පෝෂණයට මුල් තැනක් දෙන උගතුන් බිහිකරන මහා සම්ප්‍රදායක ට තෝතැන්නක් මේ දෙශ්පාලනය නිසා බිහිවිය. මෙරට සංස්කෘතික ඇමැතිවරුන්ව සිටි ජයවීර කුරුප්පු මෛත්‍රීපාල සේනානායක, එස්. එස්. කුලතිලක, ඊ. එල්. බී. හුරුල්ලේ, ලක්ෂ්මන් ජයකොඩි, වි.ජ.මු. ලොකු බණ්ඩාරයන් වැන්නවුන් ශාස්ත්‍රීය දැනුමින් සුපෝෂිත දේශයේ කලාවට හිතැති පුද්ගලයන් වූහ. ඒ නිසාම ඒ යුගයේ මෙරට සංස්කෘතික පුනර්ජීවනයක් සිදු විය. අවාසනාවකට විවෘත ආර්ථික ප්‍රවාහයට මේ සියල්ල පසුකාලීනව ගොදුරු විය. වරක් ජේ. ආර්. ජයවර්ධන මහතා කුමාරතුංග සමරුවකදී කළ ප්‍රකාශය මගින් කියැවුණේ මුදල බලවත් සමාජයකට සංස්කෘතියෙන් වැඩක් නොමැති බවයි. මේ බැව් සනාථ කරමින් වර්තමානයේදී ඉතාමත් කනගාටුදායක ලෙසට ජාතික උරුමයන් විනාශයන්ට ලක් වෙමින් තිබෙන බව කිව යුතුය. ජාතික උරුම අතර විශේෂ පැතිකඩක් වන පුරාවිද්‍යා ස්ථාන කළමනාකරණයේ දී රජය දක්වන දුර්වලතාව නිසා මේ ඉරණම අත් වී තිබෙන බව පැවසිය යුතුය. 2024 අයවැය විවාදයේ දී සංස්කෘතික වැය ශීර්ෂය පිළිබඳ කතිකා කරන කල්හි විවිධ මන්ත්‍රීවරුන්ගෙන් මතු වූ ප්‍රකාශනයන් දෙස බලන කල්හි මේ ඉරණම පිළිබඳ විශාල සංවේගයක් ඇති වේ.

පෙර කී ලෙසට මෙරට සංස්කෘතක ඇමැතිවරුන්ගේ විශේෂ අවධානය දිනාගත් ක්ෂේත්‍රයක් බවට පුරාවිද්‍යා ස්ථාන දැක්විය හැකිය. ඊ. එල්. බී. හුරුල්ලේ හිටපු ඇමැතිවරයාගේ කාලවකවානුවේ දී එවකට කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිව සිටි සිරිල් මැතිව් මහතා උතුරේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ වෙසෙසි උනන්දුවක් දක්වමින් පුරාවිද්‍යා නියෝජ්‍ය කොමසාරිස් වරයෙකුව සිටි එම්. එච්. සිරිසෝම මහතා සමග එක්ව විශේෂ වාර්තාවක් සකස් කළ බව ප්‍රකටය. එම වාර්තාව යුනෙස්කෝ ආයතනය වෙත ඉදිරිපත් කර තිබේ. නමුත් තිස් වසරක් පැවති යුද්ධයකින් පසු රට යථා තත්ත්වයකට පත් වෙමින් පැවතියද යුද්ධයට නායකත්වය දුන් රජයම මෙම අගනා ඓතිහාසික උරුමය පිළිබඳ දැක්වූ නොසැලකිල්ල නිසා වර්තමාන අර්බුදය පැන නැගීමට අවශ්‍ය කරුණු ගොනු වීඇත. විශේෂයෙන්ම සංස්කෘතික විෂය අරභයා පරිණත ඇමැතිවරයෙකු පත් නොකිරීම ප්‍රබල හේතුවකි. වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගෙන් පසු සංස්කෘතික විෂයට ගැළපෙන ඇමැතිවරයෙකු පත් වූයේ නැත. අනුර බණ්ඩාරනායක මහතා සංස්කෘතික ඇමැති වශයෙන් සිටි වකවානුවේ කිසිම දිනක ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගොස් නැත. පත්වන සෑම ඇමැතිවරයෙකුම උත්සාහ කොට ඇත්තේ මෙම ආයතන සඳහා තමන්ගේ කොට්ඨාස වලින් තමන් ගේ ආධාරකරුවන්ට එම ආයතන වල රැකී රක්ෂා සපයා දීමයි. ජගත් බාලසූරිය අකිල විරාජ් කාරියවසම් සජිත් ප්‍රේමදාස වැනි ඇමැතිවරුන් විසින් බඳවා ගත් පිරිස අතරින් පිරිසක් සුදුසුකම් නොමැතිවීම නිසා පසුගිය කාලයේ ඉවත් කිරීමට සිදු ව ඇතැයි වාර්තා වේ. වර්තමාන ඇමැති විදුර වික්‍රමනායක මහතා විසින් මෙරට පවතින දුර්වල ආර්ථික තත්ත්වය නිසා බඳවා ගැනීම් නොකළද පෙර බඳවා ගැනීම කළ කම්කරු ශ්‍රේණියේ පිරිසට ගම් පළාත්වලට මාරු වීම් ලබා දී තිබේ. මේ නිසා උතුර සහ නැගෙනහිර තර්ජනයට ලක්ව තිබෙන පුරාවස්තු රැකීමට සහ ගවේෂණයන්ට අවශ්‍ය පිරිස නොමැති කමින් බොහෝ වැඩ අඩාලව තිබෙනවා පමණක් නොව පුරාවිද්‍යා ස්ථාන අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇත.

ජාතික උරුම සහ ආයතන ස්වාභාවික මරණයකට?

උතුර සහ නැගෙනහිර පමණක් පුරාවස්තු 1700 කට වඩා සොයාගෙන තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් නැගෙනහිර පළාතට අයත්ය. මින් බහුතරයක් කැලෑ ඉඩම්වලට යටව තිබෙන අතර නිධන් හොරන්ගේ ග්‍රහණයට අසුව තිබේ. එසේම ඉඩම් පුළුල් කර ගැනීම සඳහා අන්තවාදීන්ට රජයෙන් දෙන අනුග්‍රහය නිසා පුරාවිද්‍යා ස්ථාන විශාල සංඛ්‍යාවක් ඩෝසරයට යට වී තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල තිබෙන පුරාවස්තු මෙන්ම මහවැලි භූමිභාග වල තිබෙන පුරාවස්තු පිළිබඳ කිසිම සොයා බැලීමක් නැත. මහවැලිය විසින් සකස් කරන ඇතැම් සංවර්ධන සැලසුම්වලදී ආයෝජකයන් මූලික කරගත් විට කිසිම සොයා බැලීමක් නොමැතිව මේ ස්ථාන විනාශ මුඛයට පත් වෙයි. පසුගිය කාලයේ දී පුරාවිද්‍යා ස්ථාන ගැසට් කිරීම පිළිබඳ අර්බුදයක් මතුවිය. දෙමළ අන්තවාදී දේශපාලකයන් එක්ව ජනපතිවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගැසට් කිරීමේ අවසරය කැබිනට් මණ්ඩලයෙන් ගත යුතු යැයි ජනපති ලේකම්වරයා විසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට ලිපියකින් දන්වා තිබුණි. ඒ නිසා ගැසට් කිරීමේ ප්‍රමාදයක් දැනට පවතී. ඒ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්වභාවික මරණයට ලක් කිරීමේ චේතනාවෙන් සැලැස්මක් ක්‍රියාත්මක වන බව පෙනේ. ජනපතිවරයාගේ වාග් ප්‍රහාරයකින් කළකිරීමට පත් වූ මහාචාර්ය අනුර මනතුංග මහතා අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් වීම නිසා පුරප්පාඩු වූ තනතුරට වැඩ බලන අධ්‍යක්ෂවරුන් පත් කිරීම නිසා ආයතනයේ කටයුතු දිනෙන් දින බෙලහීන තත්ත්වයකට පත්ව තිබේ. දැනට එහි වැඩ බලනු ලබන්නේ සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරිය විසිනි. අමාත්‍යාංශයේ වැඩ රාජකාරි සමග සුවිසල් ආයතනයක වැඩ බැලීම ලේසි පහසු නොවේ. ඒ නිසා ලිපි ප්‍රමාද වීම් තීරණ ගැනීම් ප්‍රමාද වීම නීති අංශ දුර්වල වීම ඇතුළු බරපතළ පරිපාලන දුර්වලතා මතුව තිබේ. නව අධ්‍යක්ෂවරයෙකු පත් කිරීම පිණිස පුවත්පත් දැන්වීමක් පළ කර සම්මුඛ පරීක්ෂණයක් කැඳවා ඇත. වසර විස්සකට වඩා කළමනාකරණ සේවා පලපුරුද්ද ආචාර්ය උපාධිය ඇතුළු සුදුසුකම් සැපිරිය යුතු අතර සේවා කාලය වසර දෙකකට සීමා කර තිබේ. ඒ තීරණය නිසා සිදු වනුයේ දෙපාර්තමේන්තුවට පත් වන පුද්ගලයා අතින් නිසි පරිදි සේවයක් සිදු නොවීමයි. වසර දෙකකින් යන්නට බලාගෙන සිටින කෙනෙකු අවිනිශ්චිත මනසකින් කටයුතු කරන බව කිව යුතු නැත. මේ නිසා දෙපාර්තමේන්තුව ස්වභාවික මරණයකට ලක් වීම නියතය.

ජාතික උරුම සහ ආයතන ස්වාභාවික මරණයකට?

1940 දී සම්මත කර ගන්නා ලද පුරාවස්තු ආඥා පනත වර්තමානයට ගැළපෙන ලෙසට යාවත්කාලීන කර ගත යුතුය. එය සංශෝධනය කිරීමේ දී ඇතුල් විය යුතු කරුණු පිළිබඳ උපදෙස් කීපයක් ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ විසින්ද ඉදිරිපත් කර තිබේ. එහෙත් ඒ කටයුත්ත සිදු වී දැන් සෑහෙන කලක් ගතව ඇත. සංශෝධනයට ලක් කරන ලද කෙටුම්පත් තවමත් ප්‍රසිද්ධ කර නැත. ඒ කෙටුම්පත මගින් දෙපාර්තමේන්තුව අහෝසි කර අධිකාරියක් බවට පත් කර ගැනීමටද පුරාවිද්‍යා නීතිය දුර්වල කර ගැනීමටද උත්සාහයක් තිබෙන බවට වාර්තා වේ. එයට හේතුව විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර ඉඩම් අන්තවාදීන්ට සහ විදෙස් ආයෝජකයන්ට නිදහස් කරලීමේ දී පුරාවිද්‍යා පනත හරස් වීමයි. වැඩිම පුරාවස්තු ඝනත්වයක් තිබෙන උතුර සහ නැගෙනහිර ප්‍රදේශයන්හි තිබෙන ස්මාරක අතරින් වැඩි ප්‍රමාණයක් බෞද්ධ ස්මාරකයන් වෙති. බෙදුම්වාදී වුමනාවන් මත මේ ස්මාරකයන් විනාශ කර ඒ මත ශිව ලිංග තැබීමටද කෝවිල් තැනීමටද ඉඩ හැර ඇමැතිවරයාද බලා සිටී. එවැනි තත්ත්වයක් මත පුරාවිද්‍යා නීතිය දුබල කළහොත් එම පෙදෙස් වල කිසිම පුරාතන නටබුමක් ඉතිරි වන්නේ නැත. එය සිංහල අපට පමණක් නොව උතුරේ බහුතරයක්ව සිටින දෙමළ ජනතාවට බරපතළ පාඩුවකි. ජාතික උරුමයන් දැක බලා ගැනීමටද වන්දනාමාන කර ගැනීමටද පැමිණෙන සංචාරකයන් නිසා ඒ පෙදෙස් වල ජනතාව ජීවත් කරවීම ඉතා පහසුය. උතුර සහ නැගෙනහිර දේශපාලකයන් නිසා මේ සියලු අගනා අවස්ථාවන් අප රටට අහිමි වනු ඇත. ඒ පිළිබඳ සංස්කෘතික ඇමැතිවරයා ගන්නා තීරණ පිළිබඳ අප උනන්දුවෙන් බලා සිටිමු.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment