කොරියාවේ රෙදි නිෂ්පාදන සමාගමක රැකියාව කරමින් සිටි පොඩි මල්ලිගෙ මරණය හීනයක් වගේ – ලොකු අයියා උදය කුමාර

92

දේහය හෙට ලංකාවට

කොරියාවේ නූල් සහ රෙදි නිෂ්පාදනය කරන සමාගමක රැකියාවට ගිය පොඩි මල්ලිගේ මරණය හීනයක් වගේ. මල්ලි වැඩ ඇරිලා බෝඩිමට ගිය වෙලාවේ අමාරුවෙලා කොරියාවේ තේගු නුවර රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ඔහු මියගිහින්. තාම මල්ලිගේ දේහය ඒ රටේ. බොහෝ දුරට දේහය හෙට (28දා) ගෙන්වා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා යැයි උදය කුමාර මහතා ‘දිවයින’ට පැවසීය.

පසුගිය 21 වැනිදා හදිසියේ රෝගාතුරව රෝහල්ගතව මියගිය ධනුෂ්ක මධුරන්ද වීරරත්න මහතාගේ වියෝවෙන් දැඩි කම්පාවට පත්ව සිටින ඔහුගේ වැඩිමල් සොහොයුරු එසේ කීය.

නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදි සිසුවකු ද වන ඔහු 1999 වසරේ ශිෂ්‍ය භටයකු ලෙස ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩයේ සාමාජිකත්වය ලැබීය.

මියයන විට 41 හැවිරිදි වියේ පසුවූ ඔහු ජාතික ශිෂ්‍ය භට බළකාය මගින් රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේදී 2002 දී පවත්වනු ලැබූ පෙරදිග තූර්ය වාදක ඇගයීම් කඳවුරේ හොඳම අණදෙන සැරයන්වරයාට හිමි කුසලානය අත්කර ගනිමින් විදුහලට කීර්තියක් අත්කර දීමට සමත් විය.

විදුහලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දරා ඇති ඔහු බාලදක්‍ෂයකු වශයෙන් දිනාගත හැකි උත්තරීතර පදක්කම වන ජනාධිපති සම්මානය ද 2001 වර්ෂයේදී දිනාගනු ලැබුවේය. තවද ඔහු ස්කවුටින් සහ බොක්සිංවලට ද දක්‍ෂතා දක්වා තිබේ.

තවදුරටත් කතා කළ උදය කුමාර මහතා,

අපේ පවුලේ සහෝදරයන් තුන්දෙනයි. මේ මියගිහින් ඉන්නේ බාලම මල්ලි. එයාට කවුරුත් ආදරයට කියන්නෙ පොඩි මල්ලි කියලයි. මල්ලි කොරියා රටේ රැකියාවට ගිහින් අවුරුදු 18ක් වෙනවා. ඒක නූල් සහ රෙදි නිෂ්පාදනය කරන සමාගමක්. එහි රසායනාගාර පරීක්‍ෂකවරයෙක් විදිහට සේවය කළා. කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන ගිය කෙනෙක්. පසුගිය 21 වැනිදා මල්ලි සුපුරුදු විදිහට වැඩ කරලා බෝඩිමට ගිහින් තිබුණා. එතනදි මල්ලි යාලුවන්ට කියලා තියෙනවා පපුව රිදෙනවා කියලා. ඒ අනුව බෝඩිමේ සිටි මල්ලිගේ යාලුවො කොරියාවේ තේගු නුවර රජයේ රෝහලට අරගෙන ගිහින් තිබෙනවා. එහිදී පරීක්‍ෂා කරපු ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා මල්ලි මියගිහින් කියලා. හොඳට හිටපු මල්ලිට මේ වෙච්ච දේ හීනයක් වගේ. හැමදාම කෝල් කරන මල්ලිගේ කටහඬ ආයෙ අපට අහන්න වෙන්නේ නැහැ.

ධනුෂ්ක මධුරන්ද මහතාගේ මරණය අසා පාසල් මිතුරන් ඔහුගේ නුගේගොඩ නාවල පාරේ නිවසට ඇදී එමින් සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment