යුක්රේනයට අමතර හමුදා භටයන් කැඳවීමට විරෝධය පාමින් උද්ඝෝෂණය කළ දහස් ගණනක් අත්අඩංගුවට

258

යුක්රේනය යටත් කරගැනීම සඳහා රුසියාව විසින් අමතර හමුදා බලඇණි කැඳවීමට ගෙන ඇති තීරණයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුණු රුසියානු ජාතිකයන් 1300කට අධික පිරිසක් රුසියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත් වූ වැඩි දෙනකු ශාන්ත පීටර්ස්බර්ග් හා මොස්කව් යන නගරවල පැවති උද්ඝෝෂණවලට සහභාගි වූ අය වන අතර ඔවුන්ගෙන් විශාල පිරිසක් අර්කුට්ස්ක් ඇතුළු සයිබීරියානු නගරවල හා යෙකාටෙරින්බර්ග් නගරයේ රඳවා සිටින බව වාර්තා වේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කර සිටින රුසියානු හමුදා භට කණ්ඩායම්වලට සහය වීම සඳහා තවත් රුසියානු හමුදා භටයන් තුන් ලක්ෂයක් පමණ දෙනා යුක්රේනයට යවන බවට පෙරේදා (21දා) සිදු කළ නිවේදනයත් සමගම රුසියානු ජාතිකයන් විශාල පිරිසක් එම තීරණයට විරෝධය පාමින් වීථිවලට රැස් වී උද්ඝෝෂණය කර තිබේ. පුටින් ජනාධිපතිවරයාගේ නිවේදනයත් සමගම රුසියාවෙන් පිට වීම සඳහා ගුවන්තොටුපළවල හා දේශ සීමාවේ විශාල පිරිසක් පෝලිම් ගැසී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියානු හමුදාවන් විසින් පසුගිය දිනවල අත් පත් කරගත් බොහෝ යුක්රේන නගර හා ප්‍රදේශ නැවත වරක් යුක්රේන හමුදාවන් විසින් අත්පත් කර ගැනීම හේතුවෙන් යුක්රේනයට අමතර රුසියානු හමුදා භට කණ්ඩායම් කැඳවීමට ජනාධිපති පුටින් තීරණය කර තිබේ. මෙම තීරණයට යුක්රේනය හා එරටට සහය දක්වන රටවල් ගණනාවක් විසින් හෙළා දැක තිබේ.

කෙසේ වුවද පුටින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියාවට අයත් කලාපය ආරක්ෂා කිරීම සඳහා තමන් සතු සියලු බලය යොදවන බවත් එහිදී න්‍යෂ්ටික අවි පවා භාවිත කිරීමට ඉඩ ඇති බවයි. රුසියානු ජනපතිවරයා අමතර හමුදා භටයන් යුක්රේනයට කැඳවන බවට නිවේදනය කර ඇත්තේ දැනට රුසියානු හමුදාවන් විසින් යුක්රේනයේ යටත් කරගෙන ඇති ප්‍රදේශ රුසියාවට නැවත සම්බන්ධ වීම සඳහා ජනමතවිචාරණයක් පවත්වන බවට ප්‍රකාශ කර දිනක් ගත වූ පසුවය.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment