චාන්දනීගේ “දම්පද ගී” – ධම්මපදයේ සප්ත ස්වර ටීකාව විඳිමු

32

ශාස්ත්‍රපති, සංගීත් නිපුන් චාන්දනී වරුෂකෝන්ගේ ගායනයෙන් හා සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවන “දම්පද ගී” – ධම්මපදයේ සප්ත ස්වර ටීකාව” ප්‍රසංගය මේ මස 31 වැනි බදාදා පස්වරු 2.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජෙස්මින් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සංගීත සංධ්වනිය වනාහි හුදෙක් ගායන, වාදන ප්‍රසංගයක් පමණක් නොව, පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියන්ගේ සහ මහාචාර්ය කෝලිතභානු දිසානායක සංගීතවේදියාණන්ගේ සුගේය පද-නද විමසුමෙන් වෛවර්ණ වන්නකි.

සංගීතවේදී චාන්දනී වරුෂකෝන් මෙහිදී විදහා දක්වන්නට උත්සුක වන්නේ පාලි භාෂාවෙන් අප සවන් වැකෙන ධම්මපදයේ සිංහල පදරුත් සහිත ඇයගේ නවතම පර්යේෂණ ප්‍රකාශනයකි. ඇයගේ වචනයෙන්ම ගත කල මෙම දම්පද සප්ත ස්වර ටීකාව යනු, සර්වකාලීන, සර්ව භෞතික ධර්මාපදේශ ගී එකතුවකි.

ධම්මපදයේ එන තෝරාගත් ගාථා 12 ක් ඇසුරෙන් ජයම්පති අල්ගම, ඩබ්ලිව්. ඒ. අබේසිංහ සහ සීබල් ජයකොඩි යන ප්‍රවීණයන් විසින් සිංහලට උචිත ලෙස රචිත ගී 12 ක එකතුවකට තනු සහ සංගීතය නිර්මාණය කරමින් ගයන්නී සංගීත් නිපුන් චාන්දනී වරුෂකෝන්ය. මෙසේ ගීත සම්පූර්ණ ගීත ඇල්බමයක් සඳහාම තනු නිර්මාණය කරමින් හා ඊට සංගීතය නිර්මාණය කරමින් එකම ගයන්නියක් විසින් ගී ගැයීම ඉතා දුර්ලභ වන්නකි. එසේම එය ධර්මාවබෝධය සඳහා සමාජ ගතකරවන ධර්ම කාර්යයක් වීමද විශේෂයකි. ඒ නයින් බලන කල චන්දනීගේ “දම්පද ගී” – ධම්මපදයේ සප්ත ස්වර ටීකාව” සුවිශේෂී වන්නකි.

පාසල් උසස් පෙළ විෂය ධාරාවට විද්‍යා අංශයෙන් උගෙනුම ලැබූවද, සංගීත ගුරු අම්මා සිරිමා වරුෂකෝන් සහ සංගීත ගුරු තාත්තා උපාලි වරුෂකෝන් ගේ සංගීත අභාෂය තුළින් බෙල්වුඩ් සංගීත තක්සලාවේ විශාරද නිහාල් ගම්හේවා සහ විශාරද චන්දන ලියනාරච්චි යටතේ සංගීතය හදාරන චාන්දනී, පණ්ඩිත් ශාන්ති ගීතදේවගේ දීප්තිමත් ශිෂ්‍යාවක බවට ලබාගත් සංගීත කමටහන්හි ගුරු භක්තිය අමතක නොකර ඇය තම ධම්මපදයේ සප්ත ස්වර ප්‍රසංගය ජනවාරි මස 31 වැනිදාට පිරිනමනු ලබන්නේ පණ්ඩිත් ශාන්ති ගීතදේව ගුරුතුමන් මිය ගොස් වසර දෙකක් පිරීමේ දිනය නිමිත්තෙනි.

එසේම මෙම ගායන හා වාදන ප්‍රසංගය ජනතාව වෙනුවෙන් දෙන ගීත දානයක් බව ඇය පවසන්නීය. “දම්පද ගී” – ධම්මපදයේ සප්ත ස්වර ටීකාව” චන්දානීගේ හැකියාව, දැනුම සම්මිශ්‍රණය කෙරෙන නව ආරක භාව පූර්ණ සංගීත ප්‍රකාශනයක් වනු ඇති බව විද්වතුන්ගේ මතයයි.

ජගත්

advertistmentadvertistment
advertistmentadvertistment