ENJOY JOY වුණ හැටි

මිනිස්සු වැව දිහා බලාගෙන ඉන්නේ හිතේ පීඩාව මුදා හරින්න

වැවට වැටුණ ජීවිත හැත්තෑවකට ආසන්න ගණනක් බේරා ගත්ත එකම සතුටක්.

මට විදේශිකයත් දේශීය සංචාරයත් එකයි..

මනුස්සකමට ජාති ආගම ගාවගන්න නරකයි…

දන්නවද “පිට්ටු” කියන නම හැදුනේ කොහොමද කියලා. එරල් කෙම්ප් මහතා මගෙන් විමසීය.

හිටි හැටියේ මගෙන් ඇසූ එම ප්‍රශ්නයට උත්තරයක් නැතිව මම කලබල වීමි. ඒ දුටු ඔහු එය විසඳීය.

පිට්ටු කියන්නේ හුඟක් කන්න බැරි බර ආහාරයක්. මේක දන්න ඔන කෙනෙක් ඉස්සර ඉල්ලන්නේ පීස් ඕ ටූ (piece or two – එක කෑල්ලක් දෙකක්) කියලාලු. මේක දිගින් දිගටම භාවිත කරද්දි පිට්ටු කියලා නමක් හැදිලා. ඒ නිසාම හැමෝම පිට්ටු කියලා කියනවා. දැන් ඔය ගම්වලට නම් හැදිලා තියෙන්නෙත් එහෙමනේ.

ඔහු කීය. මේ කතාව ආරම්භ වූයේ ඔහුගේ බෝට්ටු සේවයට නම හැදුන කතාව සිහි කරද්දීය.

ඔහුගේ බෝට්ටු සේවය ලොව ප්‍රකටය. ඒ මහනුවර වැවේ “ ජෝයි මෝටර් බෝට්ටු සේවය” ය. එය ඉංග්‍රිසියෙන් JOY MOTOR BOAT SERVICE ය. මේ නම සැකසී ඇත්තේ ENJOY පදයෙන් JOY කොටස වෙන්කර ගැනීමෙනි. මේ නමින් බෝට්ටු සේවය ආරම්භ කර ඇත්තේ 1968 ජනවාරි 8 වැනිදාය. අද ලෝකප්‍රකට බෝට්ටු සේවයක් වුවත් එදා මෙය ආරම්භ කර ඇත්තේ අහම්බයකිනි.

“මගේ තාත්තාගේ අයියා එරික් විලියම් කෙම්පිටිය. මගේ තාත්තා පැටි්‍රක් කෙම්ප්ස්. අපේ මුල් ගෙවල්, වැවරවුමේ. රජපිහිල්ලේ මාවතේ. මේ දෙන්නා හැට හතේ තරුණයෝ. ඒ කාලේ දෙන්නා වැව රවුමේ වලාකුළු බැම්ම උඩට වෙලා හවස් වරුවේ කතා කර කර ඉන්නවාලු. හවස් යාමේ වැව දිහා බලාගෙන ඉන්නකොට තේරුණාලු මිනිස්සු වැව ගැන ලොකු උනන්දුවක් දක්වනවා කියලා. වැව දිහා බලාගෙන ඉන්න අයත් එක්ක කතා කරද්දිත් ඒ වග හරියටම තේරුණාලු. ඉතින් දෙන්නා කතා වෙලා අපි නුවර වැවේ බෝට්ටු සේවයක් පටන් ගමු .. කියලා . ඒ අනුව තමයි ජෝයි මෝටර් බෝට්ටු සේවය ආරම්භ වුණේ. …”

එහි ආරම්භයට පෙර බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් මහනුවර වැවේ ඔවුන්ගේ කටයුතුවලදී බෝට්ටු පැද ඇති නමුත් එය සේවාවක් ලෙස කළ බවට සාධක නැත. නමුත් ඔවුහු ක්වීන්ස් හෝටලය ඉදිකළ එක්දහස් අටසිය ගණන්වලදි වැවේ සොරොව්ව ආසන්නයේ ලැගුම් හලක් ඉදිකර තිබේ. එය ලී බිමක් සහිතව බි්‍රතාන්‍ය ඉදිකිරීමේ ආකෘති අනුව සකසා තිබී ඇත. මෙම ලැගුම් හලහි ලී ගලවා බිම කොන්ක්‍රීට් දමා අලුත්වැඩියා කරමින් ජෝයි බෝට්ටු සේවාව ආරම්භ කර තිබේ. ආරම්භක සමය එරල් කෙම්ප් මහතාගේ මතකයේ සිතුවමක් සේ ඇඳී තිබේ.

“මට මතකයි බෝට්ටු සේවය ආරම්භ කළ කාලයේ වැවේ රවුමක් යන්න කැමති මිනිස්සු පෝලිම් හැදිලා ඉන්නවා. මට ඒ අත්දැකීම අමුතුයි. මොකද මගේ තාත්තායි ලොකු තාත්තායි ආරම්භ කළ මේ බෝට්ටු සේවය මේ තරම් ජනප්‍රිය වුණාද කියල ඒ කාලේ මට හිතා ගන්න අමාරු වුණා. මුල් දවස්වල කිලෝමීටර් දෙකක් විතර පෝලිම දිගයි.

මම ඉස්කෝලෙ ගියේ ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට. ඉස්කෝලේ ඇරුණ ගමන්ම මම දුවගෙන එන්නේ බෝට්ටුවකට නගින්න. නැතිනම් ඈත ගිය බෝට්ටු දිහා බලාගෙන ඉන්න. ඒ කාලේ හරිම සුන්දරයි. …”

මහනුවර වැව ඉස්මත්තේ රජපිහිල්ල මාවතේ ඉඩම් පර්චසයක වර්තමාන වටිනාකම රුපියල් ලක්ෂ 50 කට වැඩියි. එකල එරල් මහතාගේ පියා සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා එක්ව ඔවුනට හිමිව තිබූ පර්චස් දහයක ඉඩමක් රුපියල් 3000.00 කට විකුණා ජෝයි බෝට්ටු සේවයට ප්‍රථම ෆයිබර් රතු බෝට්ටුව මිලට ගෙන තිබිණි. එය අදටත් ජෝයි බෝට්ටු සේවයේ නතර කර තිබේ. අද වන විට එකක් රුපියල් ලක්ෂ පහකට වැඩි මිලක් වෙයි. එසේ වටිනා බෝට්ටු හයක් දැන් ජෝයි බෝට්ටු සේවය සතුය. එදා මහනුවර වැවේ බෝට්ටු සවාරියක් සඳහා අය කර ඇත්තේ ශත විසිපහකි. අද වුවද, සාධාරණ මිලකට බෝට්ටු සවාරියක් යෑමට අවැසි පරිසරය එරල් මහතා විසින් සලසා දී තිබේ. ඔහු මෙම සේවය සිදු කරන්නේ හුදෙක් ව්‍යාපාරයක් හෝ ලාභ ඉපැයීමේ මාර්ගයක් ලෙස පමණක් සලකමින් නොවේ.

පිය පරම්පරාවෙන් පසුව එරල් කෙම්ප්ස් මහතා ජෝයි බෝට්ටු සේවය පවත්වා ගෙන යන්නේ දැඩි භක්තියකිනි. ඔහු ගේ සතුට රැඳී ඇත්තේ අන්‍යන්ගේ සතුට සිනහව දැකීම ඔස්සේය. “හොඳ දෙයක් කළොත් ලැබෙන්නේ හොඳ ප්‍රතිඵලයක්..” ඔහුගේ මුවෙහි නිතර රැඳී ඇති වදනකි ඒ.

“රටේ අවස්ථා කිහිපයකදි පෙට්‍රල් මිල ඉහළ ගියත් මම බෝට්ටු සේවයේ ප්‍රවේශපත්‍ර මිලට එය එකතු කළේ නැහැ. මොකද මම දන්නවා මිනිස්සු වැව බලන්න බෝට්ටුවේ යන්න එන්නේ, විනෝදයට. සතුටක් ලබන්න. අලුත් අත්දැකීමක් අත්විඳින්න. ඒ සතුට මත ජීවිතයේ බොහෝ දෙනා අලුත් වෙන්න පුළුවන්. දුකින් මිදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

මගේ ආගම බුද්ධාගම නෙවෙයි… නමුත් මට දළදා වහන්සේගේ ආශිර්වාදය තිබෙන බව මම දන්නවා. ඕක මට විශ්වාසයි. මම දළදා වහන්සේට ගෞරව කරනවා. අපේ ජීවිතවලට ජාති ආගම් වගේ බෙදීම් අවශ්‍ය නැහැ. අත්‍යාවශ්‍ය වන්නේ සතුට සහ විශ්වාසය පමණයි.

දවසක් සුදු ජාතික යුවළක් උදේම බෝට්ටු සේවය ළඟට ඇවිත් රවුමක් යන්න ඕන කිව්වා. මම ශ්‍රී ලංකිකයන්ට එක මුදලකුත් විදේශිකයන්ට තවක් මුදලකුත් අය කරන්නේ නැහැ. ඕක මගේ ප්‍රතිපත්තියක්. දහදෙනකු විතර එකතු වුණාම යමු කියලා මම කිව්වම එයාලා කිව්වා අපි මුළු මුදල දෙන්නම් අපි දෙන්න විතරයි යන්න ඕන කියලා. මම හා කියලා ගියා. මාලිගාව ඉදිරිපිටින් යනකොට එක පාරටම සුද්දි ඇඳුම් ගැලෙව්වා.සුද්දා මාලිගාව පසුබිම වෙන්න ෆොටෝ ගහනවා. මොකද කරන්නේ කියලා මට එක පාරටම හිතා ගන්න බැරිවුණා. සුද්දා අතේ තිබ්බ කැමරාව උදුරලා අරන් මම ඕක වැවට දැම්මා. ඒ දෙන්නා මාත් එක්ක තර්ක කළා. නමුත් එවගේ වෙලාවට මම අපේ උරුමයන් වෙනුවෙන් ඍජුවම පෙනී ඉන්නවා. මම කිව්වා දළදා වහන්සේ අපේ වටිනාම වස්තුව, ඊට අගෞරව කරන්න දෙන්න බෑ කියලා…”

“මම ලෝකයේ රටවල් රැසක සංචාරය කර තිබෙනවා. චිනය උගන්ඩාව අප්‍රිකාව ඩුබායි වගේ රටවලදි මාව හඳුනා ගන්නා බොහොමයක් පිරිස් ලංකාවට පැමිණි අවස්ථාවලදි මහනුවර වැවේ බෝට්ටු සංචාරයේ ගිය අය. ඒ අය හරිම සතුටින් ඒ ගැන කතා කළා. ඒ වෙලාවට මට දැනෙන්නේ මම මගේ රටේ නම ලෝකයට ගෙනියපු කෙනෙක් විදිහට. ඉතා හොඳ සේවාවක් කළාම ඒ සේවයේ අගය මත ලෝකයේ කොතැනදි වුණත් තමන්ව ලොකු පිළිගැනීමකට ලක් වෙනවා. ඒ තරම් අභිමානයක් වෙනත් නැහැ….”

අඩ සියවසක් නුවර වැවේ බෝට්ටු සවාරියක්

නමුත් වර්තමානයේ බොහෝ පුද්ගලයන් තම තමන්ගේ සාක්කුව මුදලින් පිරී යන බවට ඉඟි ඇත්නම්, දූ දරුවන් පවා ඇපයට තබා මුදලට ලොබකම් බඳින බවට ඕනෑතරම් උදාහරණ ලංකාව පුරා දක්නට ලැබෙයි. ජෝයි බෝට්ටු සේවය ආරම්භ කළ සමයේත් වසර දෙදහස් ගණන් ආරම්භයේත් විදේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරි ගිය මහනුවර වැවේ බෝට්ටු සේවාව සඳහා මේ වන විට විදේශිකයන්ගේ වැඩි ඇල්මක් ඇති බවක් පෙනෙන්නට නැත. මේ සම්බන්ධ තොරතුරු සොයා බලන කල අනාවරණය වූයේ, මේ වන විට විදේශීය සංචාරක ව්‍යාපාර සහ සංචාරක මග පෙන්වන්නන් විදේශිකයන් කැටුව යන්නේ විශාල කොමිස් මුදලක් ඇති තැන් වෙත පමණක් බවය. ජෝයි බෝට්ටු සේවයෙන් සංචාරක මග පෙන්වන්නන්ට කොමිස් මුදල් නොලැබීම මත ඔවුහු විදේශිකයන් ඊට යොමු නොකරන බව ද ඉතා හොඳින් පැහැදිලිය.

ලොව පුරා නගරබදව බෝට්ටු සේවා පවත්වමින් ජනතාවට ඕවායේ ඇති මිහිරිතම අත්දැකීම් අත්විඳින්නට ඉඩ කඩ සැලසීම ද අපූරු සේවාවක් බව පැහැදිලිය. මේ වග තේරුම් ගත් එරල් කෙම්ප් මහතා නුවරඑළිය ග්‍රෙගරි වැවේ සහ අප්‍රිකාවේ දකුණු සූඩානයේ නයිල් නදියේ ද බෝට්ටු සේවාවන් ආරම්භ කර තිබිණි. නමුත්, කොවිඩ් වසංගත සමයේ දී මේ සේවාවන් දෙකම අඩපණ වූයෙන් ඒවා නතර කිරීමට එරල් මහතාට සිදුව තිබේ.

ඔහු ජෝයි බෝට්ටු සේවාවට වසර පනහක් සපිරුණ දා මහනුවර රෝහලේ පිළිකා රෝගීන් ගෙන්වා වැවේ බෝට්ටු චාරිකාවකට සහභාගි කර ඇත. ඇතැම් රෝගීන් චාරිකාවෙන් අනතුරුව එරල් මහතා සිපවැලඳ “දැන් නම් මැරුණත් කමක් නැහැ. අමතක නොවන ගමනක් ගිහින් ආවේ ..” යැයි ස්තූති කර සතුටින් ගොස් ඇත. එපමණක්ද නොවේ ඇතැම් කුඩා දරුවන් බෝට්ටු යන දෙස ආසාවෙන් බලා ඉන්නා වග හැඟෙන ඕනෑම මොහොතක එරල් මහතා ඔවුන් කැඳවා වැවේ බෝට්ටු ගමනකට දායක කරගන්නේ ඉමහත් සතුටිනි. එපමණක් නොව වැව දෙස අරුමයෙන් බලා සිටිනා ඕනෑම වයසක ඕනෑම තරාතිරමක ගැහැනු පිරිමි ඕනෑම අයෙකු පිළිබඳව විමසිලිමත් වන්නටත් යමෙක් ගැටලුකාරී බවකින් ඇති වග යංතමින් හෝ හැඟී ගිය හොත්, ඔවුන් සමග කතාබස් කොට ඔවුන් ගේ පීඩාව අවම කිරීමටත් කටයුතු කරන්නට තරම් එරල් මහතා සංවේදීය. මානුෂීය ගුණයෙන් හෙබීය. ඒ සඳහා ඔහුට වෙලාවක් කලාවක්ද නැත. මේ වසර පනහක කාලය තුළ, පීඩාවන් දරා ගත නොහැකිව වැවට ජීවිත බිලි දෙන්නට පැමිණි පිරිස් අතරින් හැත්තෑවකට අධික පිරිසක් බේරා ගන්නට එරල් මහතා ට හැකිව තිබේ.

“වැව සමග මගේ සබැඳියාව කොයිතරම්ද කියනවා නම්, මම රෑට නිදාගන්නේ කොයි මොහොතක හරි මගේ උදව් කාට හරි වුවමනා වෙයි කියන සිතිවිල්ලත් එක්ක. මොකද මේ වැවත් එක්ක මගේ අත්දැකීම් අසීමිතයි. ඉස්සර මම විතරයි වැවට බෝට්ටුවක් දැම්මේ. දැන් ආරක්ෂක අංශය පොලිසිය සහ නේවි නිලධාරීන් මාලිගාව අසලින් බෝට්ටු තියාගෙන ඉන්න එක පහසුවක්. කාගේ හෝ හදිසි අනතුරකදි ඒ අය ලොකු කැපවීමකින් කටයුතු කරනවා. ..”

මහනුවර නගර මධ්‍යයේ පිහිටි වැව කේන්ද්‍ර කර ගනිමින් බොහෝ දේ සිදුවෙයි. ඉන් බොහොමයක තොරතුරු කෙම්ප් මහතා දනී.

“අනූව දශකයේ මැද භාගයේ දවසක් මම බෝට්ටු සේවයට එනකොට ක්වීන්ස් එක පැත්තේ වැව ළඟ සෙනඟ පිරිලා. මම ගිහින් බලන කොට පොඩි ළමයෙකුගේ මළ සිරුරක් වැවේ පාවෙනවා. බෝට්ටුවෙන් ගිහින් මළ සිරුර ගොඩ ගත්තා. ටික වෙලාවක් යනකොට බෝට්ටු සේවය ළඟ හිටපු කෙනෙක් මට කිව්වා සර් ඔය ළමයා උදේ තවත් කෙනෙක් එක්ක මේ වැව ළඟ ඇවිද ඇවිද හිටියා කියලා. මම අත්දැකීමෙන් දන්නව මොකක් හරි බිහිසුණු සිද්ධියකට සම්බන්ධ අයෙක් අනිවාර්යයෙන්ම ඒ සිද්ධියෙන් පසු ඒ ස්ථානය අසල ගැවසෙමින් සිදුවීම නිරීක්ෂණය කරනවා කියලා. ළමයාගේ මළ සිරුර ළඟ මිනිස්සු ගැවසෙමින් සිටි නිසා මම අර තොරතුරු කිව්ව පුද්ගලයාගෙන් ඇහුවා උදේ ළමයා එක්ක හිටිය කෙනා එතන ඉන්නවාද කියලා බලන්න කියලා. අර මනුෂ්‍යයා බලලා කිව්වා ඉන්නවා කියලා. මම පොලිසියට කියලා ඒ පුද්ගලයාව බෝට්ටු සේවය ළඟට අරන් ආවා. මුලින් මනුස්සයා හැමදේම ප්‍රතික්ෂේප කළා. පස්සේ මිනිහා පිළිගත්තා ළමයාව වැවට තල්ලු කරපු බව. ඒ පුද්ගලයා වෛද්‍යවරයෙක්. කොළඹ ප්‍රදේශයේ පදිංචි. කලින් විවාහයේ ළමයා තමයි මේ මියගොස් හිටියේ. ඒ වැවේ මිය ගිහින් තිබුණේ, දොස්තරගේ කලින් විවාහයේ දරුවා. ඒ ළමයා ආබාධිත තත්ත්වයක ඉඳලා තියෙන්නේ. පළමු කසාදේ බිඳ වැටීමෙන් පස්සේ දෙවන කසාදයක් මෙයා කරගෙන. දෙවැනි බිරිඳ ළමයා ගෙදර තියා ගන්න බැහැ කියලා. මේකට එකම විසඳුම දරුවා මරණ එක කියලා හිතලා දොස්තර ළමයා එක්ක නුවර ඇවිත් වැවේ මාළුවන්ට පොරි දාන්න කියලා දරුවා වැවට පාත්කරලා වතුරට දාලා. අර පුද්ගලයා තොරතුරක් ලබා නොදෙන්න මේ සිද්ධිය යටපත් වෙන්න හොඳටම ඉඩක් තිබුණා……

තව දෙයක්…,

ඒකාලේ නුවර වැව වටේ කාර් රේස් ගියා. අනූව දශකයේ තමයි මම මේ කියන රේස් තිබ්බේ. වැවට වාහන වැටෙයි කියන සැකයට වැලි කොට්ට දාලා ආවරණය කරනවා. මම ඒ දවසට බෝට්ටුවක නැගලා වැවේ ඉන්නේ අනතුරක් වෙයි කියන සැකය නිසා. රේස් එක වෙලාවේ එක පාරටම කාර් එකක් උඩින් ඇවිත් වැවට වැටුණා. මම බෝට්ටුව ඒ පැත්තට වේගයෙන් අරන් ගිහින් වැවට පැන්නා. ඇත්තටම පැන්නා නෙවෙයි, ආ වේගයට මම පැනලා.. මෝටර් රථය පැදවූ කෙනා වතුරෙ ගිලිලා. දොර අරින්න බෑ. වීදුරු පාත් කරන්නත් බෑ. මම වීදුරුවට ගහලා කැඩුවා. එයා ෂීට් බෙල්ට් දාලා නිසා එළියට ගන්න අමාරුයි. බැරිම තැන ෂීට් බෙල්ට් එකත් එක්කම එළියට ඇදලා ගත්තා. ඇම්බ්‍යුලන්ස් එකෙන් එයාව රෝහලට අරන් ගියා. අදටත් ඒ මනුස්සයා දන්නේත් නැතුව ඇති බේර ගත්තේ මම කියලා….”

මහනුවර වැව මැද්දේ පිහිටි දූපත කලකට පෙර නඩත්තු කළේ මහනුවර නගර සභාව මගිනි. එහි සේවකයකු සතියකට වරක් දූපතට ගොස් පවිත්‍ර කටයුතු සිදු කරන්නේ කෙම්ප් මහතාට අයත් බෝට්ටුවකිනි. මෙම සේවකයා කාලයක් තිස්සේ අදාළ රාජකාරිය ඉටු කරන අතර තුර හොර රහසේ වල් මිටියක් රැගෙන එන බව කෙම්ප් මහතා වරක් දුටුවේය. ඒ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එම සේවකයා දූපත මැද ගංජා වවා ඇති බවය.

වෙසක් හා පෙරහැර මංගල්‍යයන් අවස්ථාවේ වැව මැද දූපත විදුලියෙන් ආලෝකවත් කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය විදුලි බලය දළදා මාලිගාවේ සිට දූපතට ගෙනු එනු ලබන්නේ කේබලයක් ආධාරයෙනි. දිනක් දූපතේ විදුලි ආලෝකය දැල් නොවුණ නිසා සිදුකළ පරීක්ෂාවකදී හෙළිව ඇත්තේ අඩි තිහක් පමණ වූ ගැඹුරක ඇති ජලය තුළින් ගමන් ගන්නා කේබලය සොරුන් කපා ගෙන ගොස් ඇති බවකි.

“මේ වැව හරියටම පුනීලයක් වගේ හැඩයකින් තමයි තිබෙන්නේ. මධ්‍ය ගැඹුර අඩි හතළිහට වැඩියි. වැවේ වතුරේ අඩි දෙක තුනක් තමයි උණුසුම රැඳිලා තිබෙන්නේ. ඊට පහළට යන්න යන්න ශීතල වැඩියි. මේ කේබල් එක කපා ගත්ත කවුරු හෝ හොරා මේක කොහොම කළාද කියන එක පුදුමයක්….” කෙම්ප් මහතා කීය.

දළදා මාළිගාවට බෝම්බ ගැසූ දිනය දා ඒ සමඟ ඇතිවූ තිරෙන් එහා සිදුවීම් රැසක අත්දැකීම් ලැබූවෙකි එරල් මහතා. දළදා මාලිගාවේ බෝම්බ පිපිරීමේ සිද්ධියට සම්බන්ධ වූවන් මහනුවර කටුකැලේ හින්දු සංස්කෘතික ශාලාවේ නවාතැන් ගෙන සිටි බවට පැතිර ගිය රාවයක් සමඟ නොසන්සුන් වූ පිරිස් එම ශාලාවට ප්‍රහාරයක් එල්ල කිරීමට යත්දී එහි සිටි පිරිස් බේරා ගනු ලැබ ඇත්තේ කෙම්ප් මහතා විසිනි. ඔහු ඊට ඍජුව මැදිහත්ව ඇත්තේ එදින හින්දු ශාලාවේ පැවැති විවාහ උත්සවය කෙම්ප් මහතාගේ දමිළ ජාතික මිතුරෙකුගේ නැගණියගේ මංගල උත්සවයක් වූ නිසාය.

“මගේ නිවස තිබෙන්නේ දළදා මාලිගාව පෙනෙන මානයේ වැව ඉස්මත්තේ නිසා. බෝම්බය පුපුරනාවත් එක්කම අපේ ගෙවල් වල ජනෙල් වීදුරු කඩාගෙන බිමට වැටුණා. මාලිගාව පැත්තෙන් දුම් වලාවක් උඩට ගියා. බෝට්ටුවෙන් ගිහින් වැව පරීක්ෂා කරන්න ඕන කියන පණිවිඩය දෙන්න ටික වෙලාවකින් පොලිසිය අපේ ගෙදරට ආවා. මම මගේ බෝට්ටුවකින් කට්ටිය අරන් ගියා. ඒ අතර දැනගන්න ලැබුණා හින්දු ශාලාවේ ඉඳලා තමයි බෝම්බ ලොරිය ඇවිත් තිබෙන්නේ කියලා. පොලිසිය කතා වුණ විදිහට ආරක්ෂක අංශ හින්දු එකට යන වග මට දැනුනා. මගේ මිතුරාගේ නැගණියගේ විවාහ උත්සවය එතන තියෙන නිසා මමත් යන්න ලෑස්ති වෙලා හිටියේ. ඒ අයට කරදරයක් වෙයි කියලා හිතලා මම පොලිසියට බෝට්ටුව දීලා හින්දු ශාලාවට මගේ වාහනයෙන් යන්න පිටත් වුණා. එතන්ට යනකොට අතර මඟ පොලිසිය ඉඳලා වාහනය නතර කරලා පිස්සුද එතන්ට යන්න. වාහන වගයක් ගිනි තියලා තියෙන්නේ ආපහු යන්න කියලා කිව්වා. මම විස්තරේ කිව්වම වගකීමක් ගන්න බැහැ කැමති දෙයක් කරන්න කියලා පොලිසිය කිව්වා. හින්දු ශාලාව ඉදිරිපිට වාහන තුනක් ගිනි ගන්නවා. මම වහලා තිබුණු ගේට්ටුවෙන් ඇතුළට පැන්නා. ශාලාවට යනකොට කවුරුත් පේන්න නැහැ. මම කෑ ගහලා කිව්වා බය වෙන්න එපා එළියට එන්න කියලා. එතකොට මගේ යාළුවා එයාගේ නංගිත් තුරුළු කරගෙන මේස පුටු අස්සේ ඉඳලා එළියට ආවා. එයාලගේ ඇඟේ ලේ…. පොලිසියට කතා කරලා බස් එකක් ගෙන්නා ගත්තා. මඟුලට ඇවිත් හිටපු අය බස් එකට නැග්ගුවා. තුන් දෙනෙක් නග්ගන්න කොහෙත්ම බස් එකේ ඉඩක් නැහැ. ඒ අය මගේ වාහනේට නග්ග ගත්තා. එළියට එනකොට නොසන්සුන්කාරී කණ්ඩායමක් කඩු පොලු අරන් එනවා. බස් එකටයි, මගේ වාහනේටයි ගහත්දී වේගයෙන් අපි ගියා. එදා තව මොහොතක් ප්‍රමාද වුණා නම් ජීවිත ගණනාවක් විනාශ වෙන්න තිබුණා…”

“මහනුවර වැව මැද තිබෙන දූපතේ තිබිලා දළදා මාලිගාවට බෝම්බ ගෙනාපු ලොරියේ ටයර් එකක කෑල්ලක් හම්බ වුණා. ඒකේ අංකයක් ඔස්සේ රීබිල් කරපු තැන් හොයාගෙන බෝම්බ ලොරිය ගැන තොරතුරු අනාවරණය කර ගත්තා කියලා තමයි දැන ගන්න තිබෙන්නේ. සිද්ධියෙන් පස්සේ දවස් කිහිපයක් බෝට්ටු සේවය ක්‍රියාත්මක කළේ නැහැ…”

මහනුවර ඵෙතිහාසික උරුමයක් වූවා සේම එරල් මහතාද ඉතිහාස පොතට එක්විය යුතු පුද්ගලයෙකි. ඔහු උදෑසන අවදිවන්නේ අද දවසේ සතුටක් රැගෙන එන්නේ කා වෙනුවෙන්ද යන පවිත්‍ර චේතනාව සමගය. ඔහුගේ පරාර්ථකාමී සිතිවිලි චේතනා ආකල්ප තමන් යටතේ සිටින සේවකයන්ගෙන්ද එපරිදිම අපේක්ෂා කරන ඔහු තම සේවකයන්ගෙන් ජනතාවට යම් අපහසුතාවක් ඇති වුවහොත් නොවලහා ඉදිරිපත්ව සමාව ගන්නට තරම් නිරහංකාරය. බිරිඳ දියණිය සහ පුතු සමග සාමාන්‍ය දිවි පෙවතක් ගෙවමින් මහනුවර නගරයේ සොබා සෞන්දර්යය විඳීමට බිම් මට්ටමේ සිට සැම සියලු මිනිසෙකුටම අවස්ථාව සලසා දෙන ඔහුගේ මෙම සේවය ව්‍යාපාරයක්ම නොවේ. ඒ වග හරි හැටි අවබෝධ කර ගත හැකි වන්නේ එහි ගිය විට පමණි. ඔහුගේ සැබෑ ගුණය අත්විඳි විට පමණි.

ලංකාව වැනි යළි ගොඩ ගත යුතු රටකට අවශ්‍ය වන්නේ එවැනි මිනිසුන් වග නොකියාම බැරිය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment