මුදල් ගිණුමට දමයි : මූල්‍ය වංචාවකට අත්අඩංගුවට ගත් සන්නස්ගලට ඇප

149

රුපියල් දස ලක්‍ෂයක මූල්‍ය වංචාවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා රුපියල් ලක්‍ෂ 5ක ශරීර ඇප මත මුදාහරින ලෙස වැලිසර මහෙස්ත්‍රාත් ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (25දා) නියෝග කළේය.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා තමන්ගෙන් රුපියල් දසලක්‍ෂයක මුදලක් ලබාගෙන එය ආපසු ගෙවා දැමීමට කටයුතු නොකරන බව කියමින් නුවන් ප්‍රදීප් නමැති අයකු විසින් ඉකුත් 09 වැනිදා කඳාන පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් කඳාන පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර අවස්ථා කීපයකදීම සන්නස්ගල මහතා පොලිසිය වෙත කැඳවා මුදල් ආපසු ගෙවන ලෙස අවවාද කර ඇත.

එහෙත් සන්නස්ගල මහතා මුදල් ගෙවීම පැහැරහැර තිබිණි. සන්නස්ගල මහතා මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කඳාන පොලිසිය සූදානම් වෙද්දී ඒ මහතා අදාළ මුදල නුවන් ප්‍රදීප් යන අයගේ ගිණුමට බැර කිරීමට කටයුතු කර තිබිණි.

එහෙත් මෙම වංචාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය ඒ මහතා ඊයේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. ඒ අනුව සන්නස්ගල මහතා ඊයේ පෙරවරුවේ කඳාන පොලිසිය හමුවේ පෙනී සිටි අතර ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

පසුව ඒ මහතා වැලිසර මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන ලදී.

මෙම නඩුව ලබන ජුනි මස 24 වැනිදා නැවත විභාගයට ගැනීමට නියමිත අතර එදින සන්නස්ගල මහතාට වැලිසර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබිණි.

කඳාන පොලිස් ස්ථානාධිපති ගාමිණී හේවාවිතාන මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment