දුක ශෝකයටත් මිලක් දුන්න අවමඟුලේදී කුලියට හැඬූ මීගමු ගැහැනු

12044

“ඉස්සර මේ පළාත්වල සල්ලි බාගේ යහමින් තියන අය මැරුණම මීගමුවෙන් කුලියට අඬන ගෑනු අය ගෙනත් තියනවා. ඒ අය හීන් අඩියක් එහෙම ගහලා අත්දෙක ඉහේ බැඳගෙන විලාප තිය තියා අඬන කොට මළගෙදර ඉන්න නෑයොයි නොනෑයොයි මහ සද්දෙන් අඬන්න පටන් ගන්නවලුනෙ” අප ජීවත් වන සියනෑ කෝරලයේ දී මා කුඩා කල වැඩිහිටියන් වෙතින් කොතෙකුත් අසා ඇති එම පුවත කෙසේවත් ඇදහිය නොහැක්කක් සේ මට එකල හැඟුණි. එහෙත්, ඒ තොරතුර පරිදිම කෙසේවත් නන්නාඳුනන පුද්ගලයන්ගේ අභාවයන් වෙනුවෙන් කුලියක් හෙවත් ගාස්තුවක් යටතේ හඬන කාන්තාවන් පිරිසක් සත්‍ය වශයෙන්ම මීට දශක කිහිපයකට කලින් මීගමුවේ සිටි බවට තොරතුරු අනාවරණය කර ගැනීමට මට පසු කලෙක හැකි විය. මෙසේ කුලියට හඬන කාන්තාවන් පිළිබඳව වාර්තා වී ඇත්තේ මීගමුවෙන් පමණක් වීම ද විශේෂත්වයකි. පසුව තොරතුරු අනාවරණය කර ගත හැකි වූ අන්දමට මෙලෙස කුලියට හැඬීමේ “සේවාව” සඳහා මීගමුවෙන් කාන්තාවන් ගෙන්වා ගෙන ඇත්තේ මුදලි මුහන්දිරම්වරුන්, රේන්ද බලපත්‍ර, මිනිරන් පතල් හිමියන්, වතු වගාකරුවන්, ධනවත් ව්‍යාපාරිකයන්, ගම්පතියන් ඇතුළු ප්‍රභූ සමාජයට අයත් වූවන්ගේ අවමංගල්‍ය උත්සව සඳහා පමණි. විශේෂයෙන් සියනෑ කෝරලයේ මහා ධනවතුන් සේ එකල වැජඹුණු ඉඩම් හිමි වැවිලි කරුවන් ඒ අතුරින් ප්‍රධාන වූ බවක් පෙනෙයි. එහිදී එම දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන දිනයට පෙර දින උදයේ හෝ රාත්‍රියේ සුදු හෝ කළු පැහැයේ ඇඳුම්වලින් සැරසී අවමඟුල් නිවසට පැමිණෙන එම කාන්තාවෝ එහි වැඩිපුර ජනයා ගැවසෙන අවස්ථාවන් බලා දෑත් අහසට නංවමින් ලතෝනි තබමින් හඬන්නට පටන් ගනිති. එය මියගිය තැනැත්තා වෙනුවෙන් පවුලේ ඥාතීන් විසින් පුදනු ලබන අවසන් ගෞරවයේම කොටසක් ලෙස එකල සැලකූ බව පැවසෙයි.

නමුදු මේ සම්බන්ධයෙන් ඇතැමුන් පවසන අන්දමට එය මියගිය ඥාතියාගේ පවුලේ ඥාතීන් විසින් එහි පැමිණෙන්නවුන් මුළා කිරීම පිණිස යොදනු ලබන උප්පරවැට්ටියකි. එකල ඇතැමුන් මේවා “මළ විකාර” “මළ සමයං හා මළ කෝලම්” ලෙස ද හඳුන්වන ලද බවක් අසන්නට ඇත. නමුදු අද සමාජයේ ව්‍යවහාර වන “මළ විකාර” “මළ සමයං හා මළ කෝලම්”යන යෙදුම් හා මෙම අවමඟුල් සංසිද්ධීන් අතර පූර්වාපර සන්ධි ගැලපීමට මට නොපුළුවන. මෙම කුලියට හැඬීමේ ඉතිහාසය පිළිබඳව විමසීමේ දී පෙනී යනුයේ ඊජිප්තු චීන ආදී පුරාණ ශිෂ්ටාචාර වල ද මෙවන් වෘත්තීය හඬන්නවුන්(Professional mourners/ Moirologists)සිටි බවයි. බයිබලයේ ද මොවුන් පිළිබඳව සඳහන් වීම විශේෂත්වයකි.

කෙසේ හෝ මෙලෙස කුලියට හඬන මීගමු කතුන්ගේ සුලමුල පිළිබඳ විමර්ශනයක් කරනු පිණිස මම මීට වසර විසි පහක පමණ සිට අදාළ ප්‍රදේශ රැසක සංචාරය කොට ඇත්තෙමි. එහි දී මා හට පළමු කොට අවධාරණය කරගත හැකි වූයේ මෙසේ අවමඟුල් නිවෙස්වල කුලියට හැඬීමට ගිය කාන්තාවන් පිළිබඳව යන්තමින් හෝ ඇසීමට හැක්කේ මීගමුවේ වැල්ලවීදිය, කාමච්චෝඩේ, මුන්නක්කරය, දූව සහ පිටිපන ආදී මීගමු වෙරළබඩ ප්‍රදේශවලින් පමණක් බව ය. එමෙන්ම ඔවුන් මුළුමනින්ම මීගමුවේ ධීවර කර්මාන්තය හා සබැඳුණු පවුල්වලට සම්බන්ධ කතුන් බවද සාධාරණ ලෙස අනුමාන කළ හැකි වූ අතර ඔවුන් සියල්ලන් කතෝලික පසුබිමකින් ඉස්මතු වූවන් බව ද පැහැදිලිව අනාවරණය කරගත හැකි විය.

“ඉස්සර නම් එහෙම අයත් මෙහේ හිටිය කියනවා තමයි. නමුත් එහෙම අපි දන්න කවුරුවත් නම් මෙහේ ඉඳලා නැහැ. අනික ඔය රට ඇතුළට වෙන්න ඉන්න මිනිස්සු කියන්නේ ගෑනු කුස්සිය මුල්ලෙම හැංගිලා ඉන්න ඕනෙ කියලනෙ. ඒ ගෑනු ගෙදරින් දොට්ට බහිනවට වත් උන් කැමති නෑ. උන් තමයි එකට හත කරලා ඔය කතා හදන්නෙ. ඒකටත් එක්ක මෙහේ හිටපු ගෑනු වැල්ලෙයි ලෙල්ලමෙයි කාමච්චෝඩෙ පොළෙයි පිරිමින්ට දෙවෙනි නැති විදිහට වැඩ කටයුතු කළා. ඒ වගේම ඉස්සර ඔය පොල් කේක්, පුස් නාම්බු, අලුවා වලට ප්‍රසිද්ධ හකුරු මුඩුක්කුවේ ගෑනු අයම තමයි මහ පාරට බැහැලා බිස්නස් කළේ. ඒත් ඉතින් ඔය පරණ තොම්බු ආයිමත් අවුස්සන එකෙන් තේරුමක් නැහැ නේද? මොකද අද මීගමුව එහෙම් පිටින්ම වෙනස්” එහිදී මා විසින් කරුණු විමසන ලද වයස අවුරුදු හැට හැත්තෑව ඉක්මවූවන්ගෙන් පවා ලැබුණේ එබඳු පොදු ප්‍රතිචාරයකි.

ඔහු පැවසූ අන්දමට අතීතයේ සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ යෙදුණු එම ප්‍රදේශවල වැසියන්ගෙන් කොටසක් දැන් දියුණු ධීවර තාක්ෂණික ක්‍රම හා සම්බන්ධ වී ධනවතුන් බවට පත්ව තිබේ. තවත් පිරිසක් විදේශ රටවලට ගොස් විදේශ විනිමය උපයාගෙන පැමිණ සිටිති. ඊටත් අමතරව 1970 දශකයෙන් පසු ඉපදුණු එම ප්‍රදේශවල නව පරපුර අතරින් සමහරකු උසස් අධ්‍යාපනයක් ලබා ආර්ථික සේම සමාජයීය වශයෙන් ද ඉහළ තත්ත්වයකට පත්ව සිටිති. සත්‍ය ලෙසම කිවහොත් ඔවුනට සිංහලයට වඩා හුරු පුරුදු ඉංගිරිසියයි. ඒ අනුව එම අතීත ප්‍රවෘත්තිය තමන්ට මදි පුංචිකමකැයි ඔවුන් සිතනු නියතය.

දුක ශෝකයටත් මිලක් දුන්න අවමඟුලේදී කුලියට හැඬූ මීගමු ගැහැනු

“ඔය කතාව බොරුවක් නෙවෙයි. සම්පූර්ණ ඇත්ත. ඒ ගෑනු ඇවිත් මළ ගෙවල්වල ළතෝනි තියන කොට මෙලෝ යකෙකුට අහගෙන ඉන්න බැහැ. එච්චරම වේදනාත්මකයි.”

මීට කලකට ඉහත මේ සම්බන්ධයෙන් මා හා අදහස් පළ කළ දිවුලපිටිය ප්‍රදේශයේ ඉඩම් හිමි ප්‍රභූ පරපුරකට අයත් සී. එන්. ජයකොඩි මහතා කීය. තමන් කුඩා කල තම වැඩිහිටි ඥාතීන්ගේ අවමංගල්‍ය උත්සව එකකට හෝ දෙකකට මීගමුවේ කුලියට හඬන ගැහැනුන් ගෙන්වා ගත් බව ද ඔහුට තවමත් මතක ය. ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ හග්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන් විසින් “පරසතු මල්” සිනමා කෘතියේ බොනී මහත්තයාගේ චරිතය නිර්මාණය කරන ලද්දේ තම වැඩිහිටි ඥාතිවරයකුගේ සත්‍ය චරිතයක් පදනම් කරගෙන බව ය.

මෙහිදී ජයකොඩි මහතා කී “ළතෝනිය” යන වදන ඉතා වැදගත් ය. සුමංගල ශබ්දකෝෂයට අනුව “විලාපය, දුක්මුසු හඬ යනුවෙන් අරුත් ගන්වා ඇති “ලතෝනි” යන වදන ජන වහරට එක්ව ඇත්තේ Litany යන ඉංග්‍රීසි වදනිනි. යාඥාව, කන්නලව්ව යන අරුත් දෙන මෙය මුල් ග්‍රීක බසින් පසුකාලීනව ලතින් බස හරහා ඉංග්‍රීසියට එක් වූවක් බව පෙනෙයි. ඒ අනුව එම ‘ලිටනි’ යන්න යාඥාව හැඳින්වීම පිණිස සිංහලයෙන් ‘ලතෝනි’ ලෙස නම් කොට ඇති බවත් පසුව එය විලාප දීම ලෙස හැඳින්වීම පිණිස පොදු ජන වහරට එක්වූ බවත් පැහැදිලි ය. ‘මර ළතෝනි’ යන යෙදුම ඊට කදිම නිදසුනකි.

ඒ අනුව ඉහත සඳහන් මීගමු කතුන්ගේ කුලියට හැඬීම නිකම්ම නිකම් බෙරිහන් දීමක් නොව රෝමානු කතෝලික සංස්කෘතික නාද රටාවකට අනුව කරන ලද එක්තරා ජන වන්දනා ගායන (Liturgical singing) විලාශයකට නෑකම් කියන්නක් ලෙස ද අපට අනුමාන කළ හැක.

පාස්කු උත්සවය හා සම්බන්ධ චතාරික හෙවත් කොරෝස්ම (Lent) සමයේ ගැයෙන පසම් නමැති දුක් ප්‍රාප්ති ගායනා විශේෂයක් තිබේ. පෘතුගීසි බසින් Pascoa සහ ලතින් බසින් Paixao යනුවෙන් හැඳින්වෙන මේවා ඉංග්‍රීසි බසින් හැඳින්වෙනුයේ Passion යනුවෙනි. එම දුක්ඛය, දුක් ප්‍රාප්තිය, ලාලසාව, කාමය, මහත් ලැදිකම, කාමාශාව, රාගය ආදී බහු අරුත් පළ වූවත් මෙම පසම් ගායනාවන් හී නාද රටාව තුළ තියුණු භාවාතිශය සහ වේදනාකාරී බවක් ගැබ්ව තිබේ.

උපන්දා සිට බොදු කිතුණු මුසු පරිසරයක වෙසෙන මෙම ලියුම්කරුට ද පසම් ගායනා හඬ හොඳින් හුරු පුරුදුය. කිතුණු දහම සහ ක්‍රිස්තු චරිතය, පිළිබඳ කිසිදු තැකීමක් නොමැති අප ප්‍රදේශයේ බෞද්ධ වැඩිහිටියන් පවසනුයේ ද එය ඉතා සංවේගජනක හැඟීම් උපදවන ගායනා විලාශයක් බව ය. ඒ අනුව මුළුමනින්ම කතෝලික සංස්කෘතික දායාද හිමි කර ගත් එම කතුන්ගේ හැඬීම් තුළ එම පසම් ගායනාවන් හා වේදනාත්මක බව ගැබ්ව තිබිය නොහැකිද?

මෙම දුක් ප්‍රාප්ති ගායනා හෙවත් පසම් ගැයුම් ශ්‍රී ලාංකීය ජන සමාජයට මුළුමනින්ම හුරු පුරුදු කරවන ලද්දේ වර්ෂ 1705-1742 දක්වා අප රටේ වෙසෙමින් කිතුණු සසුන වෙනුවෙන් කැප කළ ඉන්දියානු ජාතික ජාකෝමෙ ගොන්සාල්වෙස් පියතුමන් විසිනි. මෙම පසම් ගායනා සඳහා සිංහලයෙන් පැදි නිර්මාණය කළ එතුමා ඒ වෙනුවෙන් වූ ශෝකී තනු ද නිර්මාණය කළේය.

මාගේ පෙම්බර පුතනුවනේ
වේගේ කිම මේ මරණු වුණේ
කාගේ මේ රුදු අනඩු වුණේ
මා ඇය දෙදරා යයි අනේ

දුක ශෝකයටත් මිලක් දුන්න අවමඟුලේදී කුලියට හැඬූ මීගමු ගැහැනු

ආදී වශයෙන් කිතු සමිඳුන්ගේ මරණය මුල් කොට සිදුවූ මරිය මව්තුමියගේ වැලපුම් ලෙස ගොන්සාල්වෙස් පියතුමන් ප්‍රබන්ධය කළ ‘පසම් ගී’ කිතුනු සමාජයේ අදත් භාවිතයට ගැනෙයි.

“භක්තිමත් කතෝලිකයා සෝ සයුරේ පතුලටම කිඳාවන එහි දේශනාවෝ පියතුමන්ගේ වේගවත් වාග් දහරාව නිසා අන්‍ය සාමාජිකයන්ගේ වුව දෙඇසින් කඳුළු වැගිරවීමේ සමත්ය.” මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගලයන් විසින් සිය සිංහල සාහිත්‍ය වංශය නම් කෘතියෙහි තබා ඇති ඉහත සඳහන් සටහන් එම පසම් ගී වල ප්‍රබලත්වය මනාව තහවුරු කරන්නකි.

ටැලන්ට් (Talent) යන ඉංග්‍රීසි වදන අද ශ්‍රී ලාංකීය සමාජයේ අතිශය ප්‍රචලිත ය. ඒ එම වදන සහිත සිංහල රූපවාහිනී වැඩසටහන් ලෙසිනි. සාමාර්ථය, කුසලතාව, නිපුණතාව, ප්‍රතිභාව ආදී වශයෙන් සිංහලයට අරුත් ගැන්වෙන සමූහ වදනක් කතෝලික ජනවහරක් ලෙස ද භාවිත වෙයි. එනම් ‘තලෙන්තුව’ යන්න ය. ශුද්ධ මතෙව් ශූභාරංචියේ එන අන්දමට පැරණි අරාබි ග්‍රීක් සහ රෝමයේ යම් බරක් හෝ කාසි වර්ගයක් හැඳින්වීමට යොදා ඇති මෙමි‘තලෙන්තුව’ යන්නෙන් දෙවියන් වහන්සේ විසින් ප්‍රදානය කරන ලද විශේෂ වරමක් වරප්‍රසාදයක් හඳුන්වා තිබේ. මීගමු, දූවේ පුරෝගාමී පාරම්පරික ජන රංග ශිල්පියකු වන ලක්ෂ්මන් ද මැල් මහතා පවසන අන්දමට දෙවියන් වහන්සේ විසින් මීගමු දූවේ වැසියන්ට ගායනය රංගනය ආදී වශයෙන් තලෙන්තු තුනක් ප්‍රදානය කොට තිබේ. ඒ අනුව පාරම්පරික කතෝලික ජන සංස්කෘතික දායාදයන් ජානමය වශයෙන් උරුමකර ගත් මීගමු කතුන්ට සිය කිතුණු දුක් ප්‍රාප්ති නාද රටාවන් ඔස්සේ කරනු ලබන හැඬුම් දෙඩුම් මගින් අන්‍යයන් හැඬවීමට හැකිවීම ඔවුන් සතු සුවිශේෂ සමත්කමක් වූවාට සැක නැත.

“මීගමු දූවේ බල්ලෙක් බිරුවත් ඒකෙත් සංගීතයක් තියෙනවා” යනුවෙන් ගරු මර්සලින් ජයකොඩි පියතුමන් විසින් සිදු කොට ඇති ප්‍රකට දාර්ශනික ප්‍රකාශය මීගමුව වෙරළබඩ මෙම සංස්කෘතික උරුමය කෙතරම් ගැඹුරට විහිද තිබේද? යන්න මනාව එළිදක්වන්නකි.

ඒ කෙසේ හෝ මෙලෙස තමන් සතු ආගමික සංස්කෘතික උරුමය සහ ජන වන්දනා හැකියාව සහ එම නාද රටා අතීත මීගමු වෙරළාසන්න ප්‍රදේශවල කතුන් සිදු කළ අවමඟුල් නිවෙස්වල කුලියට හැඬීම නිකම්ම නිකම් “මළ විකාර” “මළ සමයං හා මළ කෝලම්” නොවන බව මින් පැහැදිලි වනු ඇත.

“ඒ කාලේ ජීවත් වුණු ඉහළ පෙළේ ප්‍රභූන් එක්ක සාමාන්‍ය ජනතාව එච්චර පැහැදීමකින් හිටියේ නැහැ. ඒ හින්දා ඒ වගේ කෙනකුගේ අවමඟුලක් කොයි තරම් ගරු ගාම්භීර විදියට කළත් ඒ මරණය වෙනුවෙන් හඬා වැළපෙන පිරිස් හුඟක් අඩුයි. සමහර විට ඒ පවුල් පවා සමාජය මතුපිටින් හොඳට තිබුණට ඇතුළතින් බිඳිලයි තිබුණේ. මොකද? ඒ අයගේ අනාචාර වැඩ හින්ද. ඒ නිසා අසවලාගේ මළ ගෙදරදී කවුරුවත් හැඬුවේවත් නැහැ කියන කතාව පස්සේ රටේ තොටේ පැතිරිලා ගියොත් ඒක ඒ පවුල්වල අයට නින්දාවක් අපකීර්තියක් හින්දා ඒක වහ ගන්න තමයි ඒ මළ ගෙවල්වලට ඔය මීගමුවෙන් කුලියට අඬන ගෑනු අය ගෙනත් තියෙන්නේ. ඒ වගේම ඒ අය මළ ගෙදරට ඇවිත් කරන හැඬුම් දෙඩුම්වලින් අහගෙන ඉන්න අයගේ වේදනාව ඇවිස්සෙන නිසා මුළු මළ ගෙදරම එකම කඳුළු සාගරයක් වෙන්න ඇති. ඒක මීගමුවේ ගෑනු අයට තිබුණු විශේෂ දක්ෂතාවක්. හැකියාවක්. අනික දුක ශෝකය කියන්නෙ කවුරුවත් අත් දකින්න කැමති දෙයක් නෙවෙයිනේ. ඒත් ඒක වුණත් මිල කරලා විකුණන්න පුළුවන් කාන්තාවන් පිරිසක් ඉස්සර මීගමුවේ හිටියය කියන එක මට පේන විදිහට එක්තරා ගෞරවයක් ” දිවුලපිටියේ එන්. ඩී. ජයකොඩි මහතා කළ එම ප්‍රකාශය හා සම්බන්ධයෙන් අදටත් මුනිවත පළ කරන මීගමු වෙරළබඩ වැසියන්ට එය කදිම පිළිතුර සපයනු ඇතැයි මට සිතිණ.

“අනික මේ පළාත්වල මිනිස්සු කියන විදිහට ඔය කියන මීගමු ගෑනු අය ඒ වගේ ප්‍රභූ මළ ගෙවල්වලට ඇවිත් බීගෙන දැඟලුවා නම් ඒක මැරුණු කෙනාටත් කරන අවනම්බුවක්. එහෙම නම් ඒ කුලියට හැඬවීම සම්ප්‍රදායක් හැටියට ගොඩනැඟෙන්න ජනප්‍රිය වෙන්න විදිහකුත් නැහැනේ.” හෙතෙම අවසන් වරටත් කීවේ අතීත මීගමු කතුන් තුළ පැවැති එම තලෙන්තුව හෙවත් විශේෂ හැකියාව වත්මන් සමාජයේ විශේෂ ඇගයුමට ලක් කළ යුත්තක් බව අනියමින් කියාපාමිනි.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment