මන්නාරමේ දඩමස් සමග කෝටුමස් කරන පුරාවිද්‍යාව

236

මන්නාරම් දිස්ත්‍රික්කය අතීතයේදී හැඳින්වූයේ මන්නාරමය, කරඹවලානය හා නෙල්ලිවලානය යනුවෙනි. දහතුන්වන සියවසේ ලියැවුණා යැයි සළකන කඩයිම් පොත්වල මේ බැව් සඳහන්ය. ඊට අමතරව මඩු පෙදෙස මඩුවල්ලියා රට වශයෙන්ද දක්වා ඇත. මෙම පෙදෙස පැරණි පිහිටි රටට අයත් වැදගත් ඓතිහාසික ප්‍රදේශයකි. මෙම පෙදෙස පිහිටි රටින් වෙන්කොට මන්නාරම් නමින් වූ දිස්ත්‍රික්කයට එක් කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. එයට හේතුව ලන්දේසීන් විසින් 1766 ගිවිසුම මගින් මෙම ප්‍රදේශය උඩරට රජුගෙන් සහ රදළයන්ගෙන් ලබා ගෙන සිටීමයි. උඩරට රජු විසින් අත් හරින ලද කොටසේ මායිම අදටත් නුවර කලාවියත් මන්නාරම් දිස්ත්‍රික්කයත් වෙන් කරන සීමාව වෙයි. එය කොටි ත්‍රස්තවාදීන් විසින් ඊළාම් සීමාව ලෙසටද ගෙන ඇත. මන්නාරම් තොට අතීතයේදී සිංහල රජවරුන්ට වැදගත් වූවා සේම ඉංග්‍රීසීන්ටද මහත් වැදගත්කමක් ඉසිලීය. එයට හේතු වූයේ මන්නාරමේ සිට කල්පිටිය දක්වා මුහුදු තීරයේ හමුවන මුතු බෙල්ලන්ය. මේ මුතු බෙල්ලන් කිමිදීම දුරාතීතයේ පටන් රජයේ ආදායම් මාර්ගයක් විය. වරින් වර අක්‍රමණිකයන් විසින්ද මේ මුතු කිමිදීම සිය පාලනයට ගෙන ආධිපත්‍ය පතුරුවා ගෙන සිටියහ. වරක් උඩුගම්පල විසූ සකලකලාවල්ලභ රජු මලවරායන් නමැති අක්‍රමණිකයකු පළවා හැර ඔහු ගේ නැව් ද පොඩිපට්ටම් කළ බවට ඉතිහාසයේ ලියැවී තිබේ.

ඉංග්‍රීසීහු මේ මුතු කිමිදීම කාර්යක්ෂමව විධිමත්ව කරලීමට වාර්තාවක් සකස් කළහ. ඒ අනුව 1887 වර්ෂයේදී ඉන්දියාවෙන් සහ අරාබියෙන් මුතු කිමිදින්නන් ගෙන්වා වත්මන් මුසලි ප්‍රදේශයේ නවත්වා ගෙන මුතු කිමිදීම ආරම්භ කළ බවට සාක්ෂි හමුවෙයි. ව්‍යවස්ථදායක මන්ත්‍රණ සභා වාර්තාවකට අනුව මුසලි හි මරිච්චකට්ටුව සහ මුල්ලිකුලම් අසල ඉංග්‍රීසීහු මේ මුතු කිමිදින්නන් ගේ කඳවුරු කීපයක් ඇති කළහ.

මන්නාරමේ දඩමස් සමග කෝටුමස් කරන පුරාවිද්‍යාව

මේ වාර්තාව අනුව දැන් අපට ඉතිහාසය පැහැදිලිය. දීර්ඝ සතුරු අක්‍රමණවලින් පසුව විශේෂයෙන්ම ලන්ද්සින් මේ ප්‍රදේශ ස්ථීරව අතපත් කර ගැනීමෙන් පසුව ඉන්දීය සංක්‍රමණිකයන්ට මෙහි වාසභූමි ඇති වූ බවයි. ඉංග්‍රීසීහු එම පිළිවෙත ඉදිරියට ගෙන යමින් මුතු කිමිදින්නන්ගේ කඳවුරු ඇති කොට ඔවුන් ගේ මුතු බෙලි ජාවාරම ඉදිරියට ගෙන ගොස් තිබේ. අවසානයේ මේ කඳවුරු වසා දැමූ පසු බොහෝ දෙනෙක් ඉන්දියාවට නැවත සංක්‍රමණය වූ අතර යම් පිරිසක් මෙහි ඉතිරි වූහ. දෙමළ අය මේ දුෂ්කර පරිසරයේ වැව් ආශ්‍රිතව පැලපදියම් වූ අතර මරක්කලයන්ද යම් පිරිසක් මෙහි වෙළහෙළදාමක නිරත වූහ. 1981 ජන සංගණන වාර්තාව අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ මුවර් ජනයා (මරක්කල) 27717 ක් පමණ විය. එයිනුත් මුසලි ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයෙහි 8665 ක ප්‍රමාණයක් විය. යුද්ධයෙන් පසුව 2012 වර්ෂය වන විට සමස්ත මන්නාරම් දිස්ත්‍රික්කය තුළම සිටි මුස්ලිම් ජනගහනයෙන් අවතැන් වූ ගණන 11281 ක් පමණය. එම නිසා ලක්ෂයක් අවතැන් වී යැයි බදියුදීන් මහතා පවසන දේ මුසාවකි. 1981 වර්ෂය වන විට මුසලි බල පෙදෙසේ සිංහල ජනගහනය දක්වතොත් එක්දහස් අට සිට අසූ දෙකකි. මුසලිහි බෞද්ධ ජනගහනය 842 කි. යුද්ධ කාලයේදී මෙම මුසලි පළාතේ සිටි බොහෝ දෙනෙක් අවතැන් වූහ. මුස්ලිම් පිරිස පුත්තලම් පැත්තට සංක්‍රමණය වූ අතර සිංහලයන් අනුරාධපුරයටත් වෙනත් පළාත් වලටත් සංක්‍රමණය වූහ. 2009 යුද්ධය අවසාන වීමෙන් පසුව මුස්ලිම් ජනතාව නැවත පදිංචියට පැමිණ සිටි අතර ඔවුන් ගේ පැරණි කඳවුර වන මුල්ලිකුලම් කරඩිකුලි පල්ලෙකුළි ආදී තැන්වල පදිංචි වූහ. 1960 දශකයේ දී මෙහි ග්‍රාම වසම් හතක් විය. 1980 දශකය වන විට මෙම මුසලි පළාතේ ග්‍රාම වසම් 08 දක්වා වර්ධනය වී ඇත.

ඒවා නම් මෙතැන්වැලි අරිප්පු සිලාවතුර අකාතිමුරුප්පු මරිච්චකට්ටි කොක්කුපඩයාන් මුල්ලිකුලම් වෙප්පල් සහ කරඩිකුලි වශයෙන් විය. මරිච්චකටුට්වෙන් ඔබ්බට ජනාවාසකරණය ආරම්භ කරන ලද්දේ 2010 වසරේදී පමණය. ඒ සඳහා ඉඩම් ඉල්ලා වන සංරක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත යැවූ ලියුම්වලට අනුව ඉඩම් නිදහස් කළ බව පැවසේ. නමුත් ඔවුහු මෙලෙස ඉඩම් ඉල්ලා සිටින ලද්දේ මරිචිකට්ටුවෙන් හෝ කරඩිකුලි ගම්මානයෙන් නොව ඉන් ඔබ්බට යන මන්නාරම් මාර්ගයේ කල්ලාරු වනාන්තරයෙන්ය. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ අනුදැනුමෙන් ජනතාව පදිංචි කරන ලද්දේ මේ වනාන්තරය හෙළි පෙහෙළි කරමින්ය.

මුස්ලිම් සහ දෙමළ අනාථයන් සඳහා ආවරණය සැපයීමට මුස්ලිම් හෝ දෙමල දේශපාලනඥයන් සිටියද සිංහල ජනතාව නැවත පදිංචි කරලීමට කිසිවකුත් ඉදිරිපත් නොවූහ. දිස්ත්‍රික් ලේකම් සිංහලයකු වුවද ඔහුද ඒ වගකීම භාර නොගත්හ. විශේෂයෙන්ම යුද්ධ කාලයේ දී ජිනීවා වෙත හමුදාවට එරෙහිව පෙත්සමක් යැවූ අභාවයට පත් මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් සහ අනෙකුත් දෙමළ පූජකයන් සිංහල ජනතාව පදිංචි කරලීමට දැඩි ලෙසට විරුද්ධ වූහ. මන්නාරම යනු කතෝලික පෙදෙසක්ය යන මිථ්‍යාව වපුරාලමින් දේශපාලනඥයන් ගේ භාර්යාවන් ගෙන්ද උදව් උපකාර ලබමින් මඩු පල්ලියට අක්කර 3000 පමණ ප්‍රමාණයක් ලබා ගෙන තිබේ යැයි දැන ගන්නට ඇත. 1981 වන විට මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 8170 ක් පමණ ජීවත්ව සිට ඇත. 1989 වන විට ඒ ප්‍රමාණය විසිදහසකට ආසන්න වූ නමුත් යුද්ධයෙන් අනාථ වූ පසු අවතැන් වූවන් ලියාපදිංචි වී නැත. මුරුන්ගන් මඩු ගෝඨාභයගම මහසෙන් ගම මුතු හලාවත සිලාවතුර කොන්ඩච්චි ආදී තැන්වල මෙම ජනතාව සිට ඇත. සිංහල පාසල් කීපයක්ද තිබුණු අතර මඩු පාසලේ පමණක් ළමුන් 300 ක් පමණ ඉගෙනුම ලබමින් සිට ඇත. නමුත් යුධයෙන් පසුව ඔවුන්ගේ ඉඩම් දෙමළ සහ මුස්ලිම් ජනතාව අල්වා ගෙන තිබේ. එම තත්ත්වය මත අදවන විට මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව දහසකට ආසන්න සංඛ්‍යාවකට සීමා වී ඇත.

අවතැන් වූ මුරුන්ගන් ජනතාව 2010 දී පමණ සිය වාසභූමිවලට පැමිණියද නානාට්ටන් ප්‍රාදේශීය ලේකම්වරයා ඔවුන්ගේ මූලික උරුමය තම පොත්පත්වලට සටහන්ව තිබෙන බව හෙළි නොකළ බව ප්‍රකටය. ඒ නිසා මේ ජනතාවට නැවත පදිංචිවීමට ලැබුණේ සිමෙන්ති සංස්ථාවට අයත් නාරිකාඩු පෙදෙසේය. පොල් අතු සෙවිලි කරමින් පදිංචි වූ මේ පිරිසට නිවාස සෑදීම කරන ලද්දේ 542 බල සේනාවේ සිටි වත්මන් හමුදාපති විකුම් ලියනගේ මහතා විසිනි. පවුල් 55ක් පදිංචි කළ අතර අද වන විට විවිධ හේතු මත මෙම නිවාසවල සිටිනුයේ පවුල් 22 ක් පමණි. 1950 වසරේ දී මුරුන්කන් හි කච්කිඩන්දකුලම් පැරණි පිළිම ගෙය ආශ්‍රිතව විහාරස්ථානයක් පැවත තිබේ. මේ විහාරය යුද්ධය නිසා අතහැර දමා ඇත. පසුව 2018 දී මෙම විහාරය කැණීමකට ලක් කර එහි පිළිම ගෙයද බුදු පිළිම තුනක්ද මතු කරගෙන තිබේ. ඉන් දෙකක් හුණු ගලෙන් නිර්මිතය. අනෙක කළු ගලෙන් සාදා ඇත. ගෙඩිගේ සම්ප්‍රදායට තනන ලද මෙම පිළිමගෙය කැණීමෙන් මැටි බඳුන් මැටි පබළු කොරල්වලින් කරන ලද නිර්මාණ කාසි ආදිය දකින්නට ලැබී ඇත. මෙම විහාරයට කි. මී. අටක් දුරින් මාළිගා පිට්ටි පුරාවිද්‍යා ස්ථානය දක්නට ඇත. එසේම මුරුන්කන් රෝහලේ ශිලාලේඛනයක්ද දක්නට ඇත. නමුත් අවාසනාවකට අද වන විට මෙම පැරණි විහාරය ආසන්නයේ මුරුන්කන් සිංහල බෞද්ධයන්ට නව විහාරයක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබී නැත. ඊට හේතු දෙකක් ඇත. එකක් නම් මුරුන්කන්හි දැනට පිහිටා තිබෙන විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ විසින් ඒ ස්ථානය වැඩිදියුණු නොකිරීමයි. දෙවැන්න නම් දැනට මෙම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් බවට පත්ව සිටීමයි. මුල් කාරණය අනුව විහාරස්ථානය වැඩිදියුණු නොකරනුයේ දෙමළ පූජකවරුන්ගේ බලපෑම මත බව දැන ගන්නට තිබේ.

ඒ අනුව නරිකාඩු හි ගොඩනන්වන ලද විකුම්පුර සිංහල ගම්මානයේ බෞද්ධ මධ්‍යස්ථානය යම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර දමා ඇත. මඩු රක්ෂිය ආසන්නයේ තිබෙන තවත් වැදගත් ස්ථානයක් වන්නේ පොක්කර වන්නි නම් පැරණි විහාර සංකීර්ණයයි. දැනට මහ කැළයට යටව තිබෙන මෙම ස්ථානය කැණීමකට ලක් කිරීමට දැනට යෝජනාවක් පවතින අතර එම පෙදෙස පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරලීමට බාධාවක් ලෙසින් පවතින්නේ වන සංරක්ෂණ නිලධාරීන්ගේ විරෝධයයි. එයට ප්‍රධාන හේතුව නම් මෙම පෙදෙස තුළ පැරණි විහාරයක් නැවත ගොඩ නැන්වුවහොත් ඒ ආසන්නය ජනාවාස වීම හේතු කොටගෙන වැලි ගොඩ දැමීම දඩයම් කිරීම සහ ගස් කැපීම වැනි ජාවාරම් නතර වේ යැයි තිබෙන බියයි. මන්නාරම් දිස්ත්‍රික්කයේ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන 66 ක් පවතින අතර ඉන් බහුතරයක් බෞද්ධ ස්මාරක බැවින් වැඩිදියුණු කරලීමට ඉඩ දෙන්නේ නැත. අගෝස්තුවල ආරම්භ වන මඩු උත්සව කාලයට මෙම පෙදෙසේ හෝටල්වල දඩමස් දක්නට ලැබේ. වන නිලධාරීන් ගේ අනුග්‍රහය මත දඩයක්කරුවන් ගේ තුවක්කු බටයට ගොදුරුවන අහිංසක වනසතුන් ගේ මස් මඩු උත්සවයට කළ එළි බසී. දෙමළ කතෝලික ප්‍රජාව මේවාට දායක වී සිටින අතර සිංහල ජනතාවට නිසි ඉඩම් ලබා ගැනීමට බාධා කරන්නේද ඔවුන් බව දැන ගන්නට ඇත. නමුත් මන්නාරමේ ජීවත්වන හින්දු ජනතාව සිංහලයන් සමග සහයෝගයෙන් වැඩ කරති. ඔවුන්ටද තර්ජනයක්ව තිබෙන්නේ අයථා ක්‍රිස්තියානිකරණයයි. මේවා මන්නාරමේ වත්මන් ඛේදවාචකය හෙළි කරන ප්‍රධාන කාරණා අතර තිබේ.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment