ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවුණු ආදිවාසීන්

ජනතාව පිට පොලියටත් පොලිය

ආරම්භක අරමුණු කුණු කූඩෙට

මෙරට ජනතාව මුහුණ දෙන දුක් ගැහැට අපමණය. ජනතාව වේලක් හැර වේලක් කන්නේ ද බොහොම අමාරුවෙනි. එහෙව් අසීරු අඩියක සිටින කොයි කවුරුත් සිදුකරන්නේ වැඩිදුර සොයා බැලීමකින් තොරව ඕනෑම කෙනෙක් කියන දෙයක් විශ්වාස කර කටයුතු කිරීමයි. වතුරේ ගසාගෙන යන පුද්ගලයා තුත්තිරි ගසේත් එල්ලෙනවා කියන්නාක් මෙන් ආර්ථික අතින් අන්තිම අඩියට වැටී සිටි කොයි කවුරුත් මේ රටේ පිළිගත් මූල්‍යායතන වලින් පමණක් නොව ගමේ සමිති සමාගම්වලින් සහ ගිනිපොලී කාරයන්ගෙන් පවා ණය මුදල් ලබා ගන්නේ තම ආර්ථික ගැටලුවලට එයින් විසඳුමක් ලබා ගැනීමටයි.

මෙවන් අවස්ථා ප්‍රයෝජනයට ගන්නා මෙරට පිහිටි ණය දෙන සමාගම් බොර දියේ මාළු බාන්නට නොව මුළු වළම ඉහගෙන කන තත්ත්වයට පත්ව ඇත. ක්‍ෂුද්‍ර මූල්‍ය ලේබලය යටතේ ගම් දනව්වලට රිංගා ගන්නා මෙම සමාගම්වල නියෝජිතයන් සිදු කරන්නේ ජනතාව වැටී සිටින වළෙන් ගොඩට ගන්නවා වෙනුවට තව තවත් වල පතුලටම තල්ලු කිරීමයි.

දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තාවන් සොයා එන මෙවැනි සමාගම් වල නියෝජිතයන් මුලදී ජනතාවට පෙන්වන්නේ සිහින ලෝකයකි. ටිකෙන් ටික තමන්ට පුළුවන් ආකාරයෙන් ගෙවිය හැකි බවත් ඉතා කුඩා පොලියක් යටතේ ලබා දෙන ණය මුදල් ගෙවා දමා සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකි බවට සිහින පෙන්වන මෙම වංචාකාර සමාගම් ණය මුදල් ලබා දීමෙන් පසු අඳින්නේ වෙනමම චරිතයකට ය. ගෙවල් දොරවල් පමණක් නොව කාන්තාවන්ගේ ආත්ම ගරුත්වය පවා මෙවැනි කපටි සමාගම්වල නියෝජිතයන් සමාජය ඉදිරියේ වෙන්දේසි කරන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.

ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ අරමුණු සහ ආරම්භය

බංග්ලාදේශ ජාතික නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යුනුස් ගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රියාවලිය මෙරට තුළ ක්‍රියාත්මක වන්නේ එහි නිර්මාතෘවරයාගේ මූලික අරමුණු වලින් සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවක් කරා ය. ග්‍රාමීය ආර්ථිකය නංවාලීම, කුඩා නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම, කාන්තා සමුපකාර පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග තුළින් ශක්තිමත් ආර්ථිකයක් හිමි ජන කොට්ඨාසයක් බිහිකිරීම මෙහි මූලික අරමුණ වුවත් අද වන විට ඒ අරමුණින් බැහැරව ඇත. මේ වනවිට මිලියන 2.8 ක ට අධික ජනතාවක් මෙරට තුළ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිර වී ඇත.

ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රමවලට යොමුවන්නේ ඇයි

ආදීවාසීන්වත් දඩයම් කරන ක්ෂුද්‍ර මූල්‍ය වැද්දෝ

ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රමවලට යොමුවන්නේ බැංකුවකින් ණය මුදලක් ලබාගැනීමට නොහැකි පිරිසයි. බංග්ලාදේශය වැනි රටවල ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රම ක්‍රියාත්මක වන්නේ සාමාජිකයන්ගේ ඉතුරුම් වලින් ආරම්භක ප්‍රාග්ධනයක් මූලික කරගෙනය. එහිදී මුල් අවස්ථාවේ ඉතා සුළුවෙන් ණය දෙන අතර අයකරන පොලියද ඉතාමත්ම අවමය. පසුව ක්‍රමයෙන් වෙනත් ආයතනවල ණය වැඩසටහන් සමග සම්බන්ධ වන අතර යෝජිත ව්‍යාපෘති සඳහා ණය දෙනු ලබන්නේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමෙන් පසුවය. මේ සඳහා එරට රජයේ මූල්‍ය බලධාරීන් අධීක්ෂණය කරනු ලැබේ.

නමුත් මෙරට තුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ආරම්භයේ සිටම ක්‍රියාත්මක වන්නේ විකෘති ආකාරයෙනි. ගම්වලට පැමිණෙන නියෝජිතයන් කිසිම සොයා බැලීමකින් තොරව ණය ලබා දේ. මෙම ආයතනවල නියෝජිතයන් ඒ සඳහා වැඩිපුරම හසු කර ගන්නේ කාන්තාවන්ය. වෙනත් රටවල ජනතාවට ණය ලබා දෙන්නේ තමන් පවත්වාගෙන යන කුඩා කර්මාන්තය දියුණු කර ගැනීමටය. නමුත් මෙරට තුළ වැඩි වශයෙන්ම ණය මුදල් ලබාදී ඇත්තේ ටීවී, ෆ්‍රිජ්, වොෂිං මැෂින් මිලට ගැනීමට, නිවාස ඉදිකිරීමට හෝ තවත් කාගෙන් හරි ලබාගත් ණයක් ගෙවා දැමීමටය. වෙනත් රටවල අඩු පොලියට ණය ලබා ගෙන තමන් කරගෙන යන ස්වයං රැකියාව දියුණු කරගන්නා අතරේ මෙරට සිදුවූයේ වැඩි පොලියකට ණය ලබාගෙන නිකරුණේ මුදල් නාස්ති කර ණයකාරයන් වීමය.

මෙම ක්‍ෂුද්‍ර මූල්‍ය ණයකරුවන්ගේ ණය උගුලට වැඩිපුරම හසුවූ ජන කොට්ඨාසය වන්නේ ආදිවාසී ජනතාව ය. පාරම්පරිකව කරගෙන ආ ජීවන රටාවට තිත තබන්නට සිදු වූයේ රජය විසින් ඔවුන්ට වනාන්තරය තහනම් ප්‍රදේශයක් කිරීමත් සමගය. කොළඹ හතේ ජනතාවටත් ජීවත් විය නොහැකි ආර්ථික අර්බුදයක් පවතින අවදියක ආදිවාසී ජනතාව කෙසේ නම් ජීවත් වන්නද. ගස්වල කොළ පොතු තම දරුවන්ට කන්න බොන්නට දෙන්නට නොහැකි තැන ආදිවාසී කාන්තාවෝ කීයක් හෝ සොයා ගැනීමට විවිධ කාර්යයන්වල නිරත වේ. එවන් පිරිස් සොයා යන ක්‍ෂුද්‍ර මූල්‍ය ණයකරුවන් සිදු කරන්නේ දහසක් සිහින පෙන්වා ණය ලබා දීම ය. ඉටු දෙවියෙකු සේ සිටි නියෝජිතයන් මාසයක් දෙකක් යන විට ජනතාවට පෙනෙන්නේ තමන් බිලි ගැනීමට බලා සිටින රාක්‍ෂයෙකු ලෙසිනි. ඒ නිසි කලට වෙලාවට ණය ගෙවා ගැනීමට නොහැකි වුවහොත් අය කරන අධික පොලියට අමතරව පොලියටත් පොලියක් එකතු කරමින් ගත් මුදල මෙන් තුන් හතර ගුණයක් අයකර ගැනීමට කටයුතු කිරීම නිසාය.

ආදිවාසී නායකයාගේ අවධානය

ආදීවාසීන්වත් දඩයම් කරන ක්ෂුද්‍ර මූල්‍ය වැද්දෝ

ඌරුවරිගේ නායක වන්නිලෑ ඇත්තන් පවා තම රැහේ උදවිය අද වන විට පත්ව ඇති ණය උගුල පිළිබඳව මෙසේ අදහස් දැක්වූහ.

මේ වන විට ආදිවාසී ජනතාව දැඩි ආර්ථික අහේනියකින් පසුවනවා. ඒ නිසා කවුරුන් හෝ පැමිණ ණය මුදලක් ලබා දෙනවා නම් සොයා බැලීමකින් තොරව වැඩි වැඩියෙන් ණය ලබා ගැනීම සිදුකරනවා. නමුත් නැවතත් ණය ගෙවා ගැනීමට යෑමේදී සිදු වන්නේ වැඩි පොලියක් අය කරන නිසා ගෙවා ගැනීමට නොහැකි වීමයි. දැන් ආදිවාසී ජනතාව බිය ගන්වා කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයක් සින්න කර ගෙන තිබෙනවා. මේ පිළිබඳ කොතෙක් සාකච්ඡා කළත් තවමත් විසඳුමක් ලැබී නැහැ. අද වන විට තමන්ගේ කුඹුරු ඉඩම්වලම අපේ ජනතාවට කුලීකාරයන් වීමට සිදුවෙලා.

පොතට කියල කපපු හැටදාහ පොතේ නැහැ!
තලා වරිගේ කුසුමාවතී

හෙනානිගල දකුණ මිස් කෙනෙක් බැංකුවෙන් ආවා. කණ්ඩායම් හැදුවා.

ගිණුම් ආරම්භ කරලා ණයක් ගන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ අපිත් කණ්ඩායම් හැදිලා ගිණුම් ආරම්භ කරලා ණය ගත්තා.

ගේ බාගෙට හදල තිබුණේ. ඉතිරි ටික හදාගන්න කියලා රුපියල් ලක්ෂ දෙකක් ගත්තා. ඒකෙන් පොතට කියලා හැටදාහක් කපාගෙන ඉතිරි ටික තමා දුන්නේ. අවුරුදු දෙකක් විතර ගෙවාගෙන ගියා. ඊට පස්සේ ගොඩක් ආර්ථික අපහසුතා ඇති වුණා. මහත්තයට රස්සාවක් තිබුණෙත් නැහැ. වැවේ ගියේ. ඒ ගිහිල්ලා වනජීවි එකට අහුවෙලා ඒවට නඩු ගිහිල්ලා එවට ගෙවලා යනකොට අතපසු වුණා. මම ණය ගත්තේ ආර්.ඩී.බී. බැංකුවෙන්. ළඟදි ලියුමක් ආවා, ඒකේ මට ගෙවන්න තිබුණේ පනස් දාස් ගාණක්. පොලියත් ඒක්ක අසූහය දාස් ගාණක් ගෙවන්න ඕන කියලා තිබුණා. මම පොත මාක් කරලා බැලුවා, පොතේ අර හැටදාහ තිබුණේ නැහැ.

අසාධාරණ විදියට පොලියක් අය කරනවා කියලා පස්සේ තේරුණා. පොලියටත් එක්ක පොලී හැදුවා. මටත් එච්චර හොඳට අකුරු බැහැ. ඒ නිසා කියවලා බලන්නේ නැතුව තමා මේවට අත්සන් කළේ. ඉතුරු සල්ලි ගෙවන්න විදියක් නැතුව තමා දැන් ඉන්නේ. නඩු දානවා කියලා ලියුමක් ආවා. නඩු දැම්මොත් ඉතින් යන්න වෙනවා. ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ අපේ මේ ණයවල් කපලා දානව නම් හොඳයි කියලා තමා.

නඩු දැම්මොත් හිරේ යන්නයි වෙන්නෙ!
ඌරු වරිගේ විමලාවතී

හෙනානිගල ආදිවාසී ගම්මානය මගේ මහත්තයා වැව් රස්සාව තමා කරන්නේ. තව කැලේ යනවා මී පැණි කඩන්න. ඒ ගිහිල්ලා ගහකින් වැටිලා අත කැඩුණා. පස්සෙ තවත් ලෙඩ වෙලා ඇඳටම වැටුණා. මම රුපියල් ලක්ෂයක ණයක් අරගෙන තිබුණා.

ගෙවාගෙන ගෙවාගෙන ගිහින් තව තිස් හත්දාහක් මට ගෙවන්න තියෙනවා. එක පාරක් ලියුම් ආවා ගෙවන්න කියලා. අපේ මහත්තයාගේ අසනීපෙ නිසා මට ගෙවන්න බැරි වුණා. දැන් නම් කොහොමවත් ගෙවාගන්න හැටියක් නැහැ.

ගෙදරටම ඇවිත් තමා ණය දුන්නේ. ගෙදරදිම අත්සන් අරගෙන. හතර දෙනෙක් ඇපයට තියලා තුන්දෙනා තුන්දෙනා එකතු වෙලා තමා ණය ගත්තේ. ඊට අදාළ කිසි දෙයක් කියෙව්වේ නැහැ. කියවන්න අකුරු දන්නේ නැති නිසා. බැරිවෙලාවත් දැන් නඩු දැම්මොත් ගිහින් හිරේ ඉන්න තමා වෙන්නේ. වෙන මොනවා කරන්නද? සමෘද්ධියත් නෑ. කුලියක් නෑ, කිසිම රැකී රස්සාවක් නෑ අපේ ගමට. රජයකින්වත් අපට දීලා නැහැ කිසිම දෙයක්. මේ ණය කපා හැරලා ගමට රස්සාවක් ලැබෙන පිළිවෙළක් හදල දෙනව නම් අපට සහනයක්.

වාරිකේ දෙනකල් මිදුලෙ රැකගෙන ඉන්නවා
ඌරු වරිගේ අනුලාවතී

ආදීවාසීන්වත් දඩයම් කරන ක්ෂුද්‍ර මූල්‍ය වැද්දෝ

ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක මහත්තුරු මෙහේ ඇවිත්, දහ දෙනෙක් විතර එකතු කර ගන්න කියලා කිව්වා. මම තමා කට්ටිය එකතු කළේ. එකතු වෙලා අපි ණය ගත්තා. මුල් වතාවේ මම පනස්දාහක් ගත්තා. ඊට පස්සේ ලක්ෂයක් දුන්නා. කොළ පුරවලා අත්සන් කරන්න කිව්වා. ඒ කොළ තිබුණේ මොන බාසාවෙන්ද කියලවත් දන්නෙ නැහැ. අකුරු දන්නේ නැති නිසා. ලක්ෂෙ ණය අරගෙන හැටදාහක් විතර ගෙවාගෙන යනකොට ඉතිරි ටික ගෙවා ගන්න බැරි වුණා. පස්සෙ සමථ මණ්ඩලයට යන්න කියල ලියුම් ආවා. ඒකට ගියාම කිව්වා පුළුවන් විදියට, හොයා ගන්න විදියට සල්ලි දාන්න කියලා. එහෙම ගෙවාගෙන යද්දි, තව විසි දාහක් විතර තියෙනකොට ඒ අය අපට ලියුම් එවලා තිබුණා ණය කපා හැරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ණයක් ගත්තේ නැහැ.

මේ හැම ණයකටම අපි ලොකු පොලියක් ගෙවලා තියෙනවා. අද දෙන වාරිකේ නෙමේ තව සතියකින් ඇවිත් ඒ අය ඉල්ලන්නේ. අපි හරියට අකුරු දන්නේ නැහැ. එයාල පොතේ ලකුණු කරන එක තමා කාට හරි කියලා බලවා ගන්නේ. බොරු ගණන් ලකුණු කරලා තිබුණත් අපි දන්නෑ.

රජයේ බැංකුවලින් අපිට ණය දුන්නේ නැහැ. එතකොට තමා ඔය ආපු අයගෙන් අපි ණය ගත්තේ.

ණය ගෙවන්න පරක්කු වෙනකොට ඒ අය ගෙවල්වලට ඇවිත් කරදර කරනවා. වාරිකේ දුන්නේ නැත්නම් යන්නෙත් නැහැ, මිදුලෙ රැකගෙන ඉන්නවා. රෑත් ඇවිත් කරදර කරනවා.

කොහොම හරි වාරිකේ ඕන කියනවා. කාගෙන් හරි අතමාරුවක් ගන්න පුළුවන් වුණොත් අරන් දෙනවා නැතිවුණොත් බැණුම් අහගෙන ඉන්නවා. නැත්තං කොහොම දෙන්නද.

කන්නවත් නැතුව කොහොමද ලෝන් ගෙවන්නේ?
පී. අජන්තා

බැංකුවෙන් ගමටම ඇවිත් තමා ණය දුන්නේ. අපිත් ෆෝම් පුරවලා ණය ගත්තා. මම ණය ගත්තේ ගේ හදන්න. මගේ මහත්තයා කුලී වැඩ තමා කරන්නේ. මැටියෙන් තමා ගේ හදලා තිබ්බේ. පස්සේ ගඩොල් කපලා කාමර දෙකක් හැදුවා.

ලක්ෂ එකහමාරෙ ණයට, මාසෙ වාරිකය අටදාස් හත්සීයක් ගෙව්වා. මම අකුරු ලියන්න කියවන්න දන්නවා. ඒ ලිපි ලේඛන තිබ්බේ සිංහලෙන්. කණ්ඩාමේ ඉන්න තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමා පුරවන්නේ. ඒ නිසා මං පිරෙව්වේ නැහැ. අපි අත්සන් කරලා බැංකුවට දුන්නම ලෝන් ඒක පාස් වෙනවා. ඒ ෆෝම්වල තිබ්බේ මොනවද කියලා එච්චර ගාණක් නම් නැහැ.

වැඩක් පලක් කුලියක් වත් නැතිවුණාම ගෙවා ගන්න බැරි වුණා. දැන් ඇරියස් වෙලා. එයාලා ලෝන් එකතු කරන්න එනවා. ගෙවන්න නෑ කිව්වම එයාලා ගියා. දැන් මොනව කරලද දන්නේ නැහැ. නඩු දැම්මොත් උසාවි යන්න වෙනවා. කුලී වැඩක්වත් නැතිව ජීවත් වෙන්නවත් නැතුව ඉන්නේ. ඉතින් කොහොමද ලෝන් ගෙවන්නේ? ලයිට් බිල් වතුර බිල්

ගෙවන්නත් ඕන. ඒවත් වැඩියි. ළමයි ඉස්කෝලේ යවන්නත් ඕන. ඒ ඔක්කොම කරද්දි ලෝන් ගෙවන්න බැරි වෙනවා. එන විදියට මුහුණ දෙනවා. ණය කපල දානවනම් හොඳයි. මොනව කරයිද කියලා කවුද දන්නේ.

හිඟ තිස්දාහට ලක්ෂයක් ගෙවන්න වෙලා
ඌරුවරිගේ අනුලාවතී

මම දැන් ඉන්නේ හේනානිගල දකුණ. වයස අවුරුදු 42යි. කලින් හිටියේ දඹානේ. අපි පොඩි වයසෙ තමා මෙහේට ආවේ. මම මූල්‍ය සමාගමකින් ගේ හදා ගන්න කියලා ලක්ෂයක් ගත්තා. ගෙවාගෙන ගෙවාගෙන ගියා. අන්තිමේදි තිස්දාහක් විතර ගෙවා ගන්න බැරි වුණා. මහත්තුරු ලියුම් එවනවා. නඩුදානවා කියලා. මට දැන් තිස්දාහට පොලියත් එක්ක ලක්ෂයක් ගෙවන්න තියෙනවා.

මටත් අකුරු ලියන්න කියවන්න බැහැ. නම විතරයි ලියාගන්න දන්නේ. ෆෝම් එකක් දුන්නා අත්සන් කරන්න කියලා අපිත් කියන තැන්වල අත්සන් කළා. ඒකේ තිබුණෙ මොනවද කියලා අපි දන්නේ නැහැ. තියෙන්නේ මොනවද කියලා අපි ඇහුවෙත් නැහැ. ආපු මහත්තුරු කියලා දුන්නෙත් නැහැ. අවුරුදු දෙකහමාරකට ණය දුන්නේ. වාරිකේ ආවා අටදාහක්. පොලිය කොච්චරක්ද කියලා අපි දන්නේ නැහැ. ගෙවාගෙන යනකොට හිතුණා, පොලිය වැඩියි දැන් ගත්තු ගානටත් වැඩිය ගෙවලා ඇති කියලා. අවසානේ ගොඩක් ප්‍රශ්න ආවා. අපේ මහත්තුරු හරියට රස්සාවක් කරන්නෙත් නැහැ. වැවේ තමා යන්නේ. වැවේ ජොබ් ඒක හරිගියේ නැති වුණාම එහේ මෙහේ වුණා. ගත්තු ගාණට සෑහෙන්න ගෙව්වා. අවසාන තිස්දාහට තමා ලක්ෂයක් එකතු වෙලා තියෙන්නේ.

දැන් නම් ලියුම් ආවට ගණන් ගන්නෙත් නැහැ. නඩු දැම්මත් කමක් නැහැ කියලා ඉන්නවා. නඩු දැම්මොත් යන්න වෙනවා. තිස්දාහට ලක්ෂයක් ගෙවන්න බැහැනේ කෝමත්.

එයාලා ආවෙම ණය දෙන්න බලාගෙන. බලහත්කාරයෙන් හරි ණය දෙනවා. අපිත් ඉතින් ගත්තා. පස්සේ බලන් යද්දි කරදරයක් තමයි ඉතින්. ආණ්ඩුවට කියන්න තියෙන්නේ මේ බැංකුවලින් ගත්තු ණය කපා හරින්න කියලා තමයි.

අපිත් කරවිල ගෙඩියේ පණුවො වගේඌරු වරිගේ කරුණාරත්න

හෙනානිගල ආදිවාසි ගම්මානය ණය දෙන්න ආපු පළවෙනි දවසේ මම වැව් රස්සාවට ගිහිල්ලා හිටියේ. එදා මාළු අහුවුණෙත් නැහැ. මාළු කිලෝ පහක් වගේ තමා අහුවෙලා තිබුණේ. මම ඇවිදින් බලනකොට බැංකුවෙන් කියලා මහත්තුරු වගයක් ඇවිල්ලා අපේ බවලත් කට්ටිය හම්බවෙලා කතා කරලා තිබුණා.

මං ඊට පස්සේ කොහොමද මේ ණය දෙන්නේ කියලා ඇහුවම සහන ක්‍රමයට දෙනවා කිව්වා. අපි අකුරු දන්නේ නැහැ. අපේ වාසගම ඌරු වරිගේ. ඇත්ත වශයෙන්ම කියනව නම් ඒකට යූ. ඩබ්. කියන්නෙ මොකද කියලවත් අපි දන්නේ නැහැ.

දවස් තුනකට පස්සේ ඒ මහත්තයෙක් ආවා. තුන්දෙනා තුන්දෙනා කණ්ඩායම් හදවලා තිබුණා. පනස්දාහක් ඉස්සෙල්ලම දුන්නා. ඒ පනස්දාහ ගෙවාගෙන ගියා. ඒක ගෙවලා ඉවර වුණාට පස්සේ මං ලක්ෂයක් ගන්න බැලුවා. ඊට පස්සේ කිව්වා හැටදාහක් දෙන්නම් කියලා. මං ලක්ෂෙ ගන්න බැලුවේ ගේ හදා ගන්න මුල් අත්තිවාරම දා ගන්න කියලා. හැටදාහක් අරගෙන මදි. මම නෝනට කිව්වා, මේක අරගෙන අපිට වැඩක් නෑ, වුවමනා දේ කරගන්න බැරිනම් කියලා.

නෝනත් ඒකට කැමති වුණා. අකුරු දන්නේ නැති අයගෙන් මේවට අත්සන් ගැනීම අසාධාරණ කමක්. මොකද අපේ නෝනලාට මේ ණය දුන්නට අපි දැනුවත් නැහැ. නෝනලාට තමා ඒ මහත්තුරු ඇවිදින් කියලා තියෙන්නෙ සහන ක්‍රමේට ගෙවාගෙන යන්න පුළුවන්, ණය ගන්න කියලා. අනේ මේ මෝඩ කට්ටියත් ඒකට හා කියලා. අපි බලනකොට මේ කට්ටිය අහුවෙලා ඒ බිල්ලට. අපි ඉතින් ගෙවාගෙන ගෙවාගෙන යනවා. පොලිය වැඩියි කියල තේරෙනවා. අපිට දැනීමක් නෑනේ මහත්තයා. කෝම හරි ගෙවාගෙන යන්නත් එපැයි මේක. හදිසියේවත් නඩු දැම්මොත්. එහෙම කරන්න එපා කියලා තමා කියන්නේ. ඇත්ත වශයෙන්ම කියනව නම් අපි අනවසර කට්ටිය. ඉන්න තැනක් නෑ, යන්න තැනක් නෑ. අපි ජීවත් වෙන්නේ කුලී කරලා. එදිනෙදා ගිහින් වේල හොයාගෙන කන්නේ. ළමා ළපටි ඉස්කෝලේ යවා ගන්න ඕන. අපිත් දඟලන්නේ අපි මේ වැටිලා ඉන්න වළෙන් ගොඩ එන්නේ කොහොමද කියලා තමයි. දරුවෝ හරි අපිට අත දෙයිනේ කවදහරි ඉගෙනගෙන රස්සාවක ගියාම.

දැන් අපට කිසිම උදව්වක් නෑ රජයෙන්. මේ ළඟදිනම් නමදාහක් දුන්නා, සමෘද්ධිය තියෙන කට්ටියට. නැති අපට මුකුත්ම නැහැ. ආදිවාසි අයට කුඩම්මගේ සැලකිල්ලක් තමා තියෙන්නේ. මන්තිරිල ඉන්නවා දෙහිඅත්තකණ්ඩියේ, හෙනානිගල. අපෙන් ඡන්දෙ අරන් එයාල මන්තිරිලා වුණා. අන්තිමට ඒ කට්ටිය බලන්නෙත් නෑ. අපි කුලියෙන් ජීවත් වෙනව නම් අපිට මොකටද ඒ මන්තිරිලා? කතාවකට කියනවා මහත්තයෝ කරවිල ගෙඩියේ වැටෙන පණුවා ඒකම කනවලු, ඒකෙමලු මැරෙන්නේ. අන්න ඒ ටික තමා අපිට වෙලා තියෙන්නේ.

ජනතාව ණය ලබාගත් බව සත්‍යයකි. නමුත් දියේ ගිලෙන පුද්ගලයා එයින් ගොඩ ගන්නවා වෙනුවට තව තවත් හිස පාගා දියේ ගිල්ලවීම කිසිසේත් අනුමත කළ නොහැක. මේ සියලු දෙනාම මුදල් ලබාගෙන ඇත්තේ මාධ්‍ය තුළින් නිතර දැන්වීම් ප්‍රචාරය වන ප්‍රසිද්ධ මූල්‍ය ආයතනවලිනි. බොහෝ ජනතාව පවසන්නේ දැන්වීම්වල ප්‍රචාරය වන යහපත් ගුණධර්ම සැබෑ සමාජයේදී ඔවුන්ගෙන් දක්නට නොලැබුණු බවයි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment