හිස වෙන් කළ මුල්ලේරියාවේ කතගේ ඇත්ත කතාව එළියට…

11074

දෙදෙනාගේ සමීප ඇසුරට වසර විස්සයි

මරන්න මුලින්ම අදහස දුන්නේ කාටද?

නොවැම්බර් 27 වැනිදා මධ්‍යම රාත්‍රිය උදාවෙමින් තිබුණේය. දින කීපයක් තිස්සේ ඇදහැලෙන අනෝරා වර්ෂාව ඒ වන විටත් නතර වී තිබුණේ නැත.

මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනිමල් සුසන්ත සිය නිල කාමරයේ කිසියම් රාජකාරියක නිරතව සිටියේය. ඒ වනවිට රාත්‍රී 11 පසු වී තිබිණි. රූමත් තරුණියක් ස්ථානාධිපතිවරයා ඉදිරියේ පෙනී සිටියාය. සිය රාජකාරිය මදකට නතර කළ සුනිමල් සුසන්ත රූමත් තරුණිය දෙස එක එල්ලේ බැලුවේය.

“අනේ සර්… අපට උදව් කරන්න. අද උදේ ඉඳලා අපේ අම්මා ආගිය අතක් නැහැ. මගේ නංගි විතරයි ගෙදර ඉන්නේ. ඒ නිසා ලෝකෙ කොහේ ගියත් අම්මා හවස් වෙද්දි ගෙදර එනවා. නංගි හොඳටම බයවෙලා වැලහින්නියක් වගේ අඬනවා. අනේ සර් අපට කොහොම හරි අම්මව හොයලා දෙන්න…”

රූමත් තරුණියගේ ආයාචනය ඉදිරියේ පොලිස් ස්ථානාධිපතිවරයා මොහොතකට සලිත වුණේය.

“කලබල වෙන්න එපා. අපි කොහොම හරි අම්මව හොයාගමු. අම්ම නිතර යන එන තැන්වල බැලුවද? එයාට කෝල් කළාද?’‘

රූමත් තරුණියගේ සිත සැනසූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුසන්ත මව ගැන තොරතුරු විමසුවේය.

“අම්මගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ. උදේ කෝල් කළාට පස්සෙ නංගිට කෝල් කරලත් නැහැ. අනේ සර් අපි අසරණවෙලා ඉන්නේ. අපට කොහොම හරි අම්මව හොයාගන්න ඕනෙ..’‘ තරුණිය ආයාචනය කරන්නට වූවාය.

මේ කාන්තාවගේ අතුරුදන්වීම පිටුපස කිසියම් බරපතළ සිදුවීමක් තිබෙන බව සුනිමල් සුසන්තට අවබෝධ වන්න මහ වෙලාවක් ගත වුණේ නැත. ස්ථානාධිපතිවරයා මෙම කාන්තාවගේ අතුරුදන්වීම පිළිබඳව අවට සියලු පොලිස් ස්ථාන දැනුවත් කිරීමට ඒ මොහොතේම කටයුතු කළේය.

“දුව කලබල වෙන්න එපා. අපි කොහොම හරි අම්මව හොයාගමු. අපි මේ අවට හැම හොස්පිට්ල් එකකටම කතා කරලා චෙක් කරමු. හදිසියේ මොකක් හරි අනතුරක් වෙලා අම්මව ඇඩ්මිට් කළාද බලන්න.”

එසේ කියූ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහල ඇතුළු අවට සියලුම රෝහල්වලට දුරකථනයෙන් කතා කර අතුරුදන්ව සිටින කාන්තාව පිළිබඳව තොරතුරු විමසුවේය. එහෙත් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකි වුණේ නැත. ඒ වන විට අලුයම 3.00 පසු වී තිබිණි.

“දුව…. ඔයා දැන් යන්න. හෙට උදේට ආපහු එන්න. අපි උදේ ඉඳලා පටන් ගමු අම්මව හොයන්න. සමහර විට අම්මා උදේට ගෙදර එන්නත් ඉඩ තියෙනවා.”

රූමත් තරුණියගේ සිත සැනසූ පොලිස් ස්ථානාධිපතිවරයා ඇය නිවසට පිටත්කර හැරියේ උදෑසන සිට මව සෙවීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වෙමින් ය.

51 වැනි වියේ පසු වූ රූමත් කාන්තාවක වන ප්‍රදීපා සිල්වා පදිංචිව සිටියේ මුල්ලේරියාව රෝහල පාරේය. ප්‍රදීපාට දියණියන් තිදෙනෙකි. වැඩිමහල් දියණිය ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ඇය එහි විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියකි. දෙවැනි දියණිය ද විවාහ වී හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඇය සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවරියකි. බාල දියණිය අ.පො.ස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වී ඇය සමග නිවසේ ගත කළාය.

ප්‍රදීපා සිය බාල දියණියට දැඩි සේ ආදරය කළාය. ඇය ඇසක් මෙන් රැකබලා ගැනීමට ඇය හැමවිටම කටයුතු කළාය. පවුල් ජීවිතයේ යම් යම් ආරවුල් නිසා ප්‍රදීපා සිය සැමියාගෙන් වෙන් වී වෙනම නිවසක පදිංචිව සිටියේ දියණිය ද සමගය.

වෙන්ව ජීවිතයක් ගතකළ ද පවුලේ සෑම කටයුත්තකටම ප්‍රදීපාගේ සැමියා ඔවුන් සමග පැමිණීමට අමතක කළේ නැත. ඉකුත් 27 වැනිදා උදෑසන සිට ප්‍රදීපාගෙන් කිසිම තොරතුරක් නොවීය. දැඩිලෙස කම්පනයට පත්ව සිටි ඇගේ දියණියන් දෙදෙනා පොලිසියේ සහාය පතන්නේ කෙසේ හෝ තම මව පිළිබඳව තොරතුරක් ලබාගෙන ඇය සොයා ගැනීමටය. පසුදා උදෑසන 9.00 පමණ වන විට ප්‍රදීපාගේ දියණියන් දෙදෙනා මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති සුනිමල් සුසන්ත ඉදිරියේ පෙනී සිටියහ. ඔවුන් සමග දේශීය වෛද්‍යවරියකද පැමිණ සිටියාය.

“සර්… අම්මා ගැන කිසිම තොරතුරක් නැහැ. අම්මා ඊයේ ගෙදරින් යද්දී එයා ගිය ත්‍රීවීලර් එකේ මේ ඩොක්ටත් ගිහින් තියෙනවා….”

ප්‍රදීපාගේ දියණිය පෙරදා සිදු වූ සිදුවීමක් ගැන ස්ථානාධිපතිවරයාට කියා සිටියාය.

“ඔව්…. සර්…. ප්‍රදීපා ඊයේ කොටිකාවත්තෙ Bank එකට යනවා කිව්වා සල්ලි වගයක් ගන්න. එයා ගිය ත්‍රීවීලර් එකේ තමයි මමත් ගියේ. මං අතරග මගදී බැස්සා. දේශීය වෛද්‍යවරිය පෙරදා සිදු වූ සියල්ල හෙළි කළාය. ප්‍රදීපාගේ අතුරුදන්වීම පිළිබඳව විමර්ශන කොතැනින් ආරම්භ කරන්නේ දැයි සිතමින් සිටි සුසන්තට දේශීය වෛද්‍යවරිය ලබාදුන් තොරතුරු ඉතාම වැදගත් විය. ප්‍රදීපා ගමන් ගත් ත්‍රිරෝද රථයේ විස්තර ලබාගත් පොලිස් ස්ථානාධිපතිවරයා සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ ඇය ගමන් කළ දිශාව සොයාගැනීමට උත්සාහ කළේය. ප්‍රධාන මාර්ගයේ නිවාසවල වෙළෙඳසල්වල සවිකර ඇති සීසීටීවී එකින් එක පරීක්‍ෂා කරමින් ප්‍රදීපා ගමන් ගත් ත්‍රිරෝද රථය ගිය දිශාව සොයාගැනීමේ වෙහෙසකර කාර්යයට පොලිසිය අතගැසුවෝය. ත්‍රිරෝද රථය කඩුවෙල ප්‍රදේශය දක්වා ගමන් කරන ආකාරය පොලිසිය සොයාගත්හ. එහෙත් වැලිවිට හිස් ඉඩම් පැවති ප්‍රදේශයකින් පසු ත්‍රිරෝද රථයේ ගමනාන්තය සොයාගැනීමට පොලිසියට හැකි වූයේ නැත.

“සර්…. අපේ අම්මා ඊයේ උදේ අන්තිමට නංගිට කතා කරලා තිබුණා. ඒ කෝල් එක ආපු තැන අපට හොයාගන්න පුළුවන් වුනොත් තොරතුරක් දැනගන්න පුළුවන්.”

පෙරදින ප්‍රදීපා අවසන් වතාවට සිය බාල දියණියට ඇමතුමක් ලබාදී තිබුණි. ඒ ඇමතුම ලැබුණු ස්ථානය නවීන තාක්‍ෂණය ඔස්සේ සොයාගැනීමට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට හැකි විය. ප්‍රදීපා ඒ ඇමතුම ලබා දී තිබුණේ කඩුවෙල පිහිටි සුප්‍රසිද්ධ ආපනශාලාවක සිටය. සුසන්ත පොලිස් කණ්ඩායමක් ද රැගෙන ඒ ආපනශාලාව වෙත ගියේ ඒ ඔස්සේ කිසියම් හෝඩුවාවක් ලබාගන්නා අටියෙන් ය. ආපනශාලාවේ සවිකර තිබූ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ප්‍රදීපා එහි පැමිණෙන අයුරු සොයාගැනීමට හැකි විය. ත්‍රිරෝද රථයකින් පැමිණෙන ප්‍රදීපා ආපන ශාලාව ඉදිරිපිට නතරකර තිබෙන මෝටර් රථයක් අසලට ගොස් එහි සිටි පුද්ගලයකු සමග එහි ඇතුළුවන අයුරු පොලිසිය සොයාගත්හ. ප්‍රදීපා මිලදී ගත් ආහාර ඇය සමග සිටි පුද්ගලයා කෑමට නොගත් බව සී.සී.ටී.වී. කැමරා ඔස්සේ දැකගත හැකි විය. පසුව ඔවුන් දෙදෙනාම මෝටර් රථයේ නැගී පිටව යන අයුරු සටහන් වී තිබිණි.

මෝටර් රථයේ අංකය ලබාගත් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා එහි හිමිකරු කව්දැයි සොයා බැලුවේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිවය.

මෝටර් රථයේ හිමිකරු සපුගස්කන්ද සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි සුධීර නමැති ව්‍යාපාරිකයකු බව පොලිසියට සොයාගැනීමට හැකි විය. සිය මව සමග මෝටර් රථයෙන් ගමන් ගන්නා පුද්ගලයා දීර්ඝ කාලයක සිට මව ඇසුරු කරන අයකු බවද දියණියන් විසින් හඳුනාගත්හ.

හිස වෙන් කළ මුල්ලේරියාවේ කතගේ ඇත්ත කතාව එළියට…

වහාම ක්‍රියාත්මක වූ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා ව්‍යාපාරිකයාගේ නිවස පරීක්‍ෂා කිරීමට පිටත් වූහ. ඒ විමර්ශන සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත යන මහත්වරුන් දැනුවත් කර ඔවුන්ගෙන් උපදෙස් ලබාගැනීමට ද පොලිස් ස්ථානාධිපති සුනිමල් සුසන්ත අමතක කළේ නැත.

“මේ ලේඩිගෙ අතුරුදන්වීම ගැන ඔය මිනිහ මොනවා හරි දැනගන්න ඕනෙ. ඒ නිසා කොහොම හරි මිනිහව හොයාගන්න. මිනිහට අයිති ගෙවල් චෙක් කරන්න. හෝඩුවාවක් ගන්න පුළුවන් වෙයි.”

දේශබන්ධු තෙන්නකෝන් මුල්ලේරියාව ස්ථානාධිපතිවරයාට උපදෙස් දුන්නේය. සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පිහිටි වසාදැමූ විශාල නිවසක් පරීක්‍ෂා කිරීමට පොලිස් නිලධාරිහු කටයුතු කළහ. ධනවත් ව්‍යාපාරිකයකු වන සුධීර නමැත්තාට අයත් නිවාස කීපයක් සහ තවත් ඉඩකඩම් කීපයක් තිබෙන බව පොලිසිය ඒ වනවිට සොයාගෙන සිටියහ. වසාදමා තිබෙන නිවසේ ගේට්ටුවේ ඉබ්බා කඩා එහි ඇතුළු වූ පොලිස් නිලධාරීන් සැක කටයුතු දේ පරීක්‍ෂා කරන්නට වූහ. නිවස පිටුපස කසළ ගොඩක තිබී ඉතාම වැදගත් සාක්‍ෂියක් ලැබෙන්නේ ඔය අතරතුරදී ය. අඩක් පිළිස්සී ගිය කාන්තා ඇඳුම් මෙන්ම කාන්තා හිසකෙස් සහිත බෑගයක් සොයාගැනීමට පොලිසියට හැකි විය. මෙම ස්ථානයේ කිසියම් අපරපාධයක් සිදු වී ඇති බව වටහාගන්නට ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනිමල් සුසන්තට ඒ තරම් වේලාවක් ගත වුණේ නැත. වසාදමා තිබූ නිවසේ දොරවල් කඩා එය පරීක්‍ෂා කිරීමට ද පොලිස් නිලධාරීහු පියවර ගත්හ.

නිවසේ කාමරයක ලේ පැල්ලම් රැසක් විය. කාන්තා හිසකෙස් මෙන්ම ඇඳුම් කීපයක් ද එහි විය. නිවස සෝදා පවිත්‍ර කළ ආකාරයක් පෙනේනනට තිබිණි. මුළු නිවසම අමු රුධිරය පිටවීමෙන් ඇතිවන ගන්ධයෙන් පිරීගොස් තිබිණි.

“එකත් එකට මේ මිනිහ ප්‍රදීපට මොකක් හරි අනතුරක් කරලා තියෙනවා. මේ අපරාධය වෙලා තියෙන්නේ සපුගස්කන්ද පොලිස් ඒරියා එකේ නිසා අපි ඉතුරු වැඩටික එයාලට භාරදෙමු. මුල්ලේරියාව ස්ථානාධිපතිවරයා පසුගස්කන්ද පොලිස් ස්ථානාධිපති වෙත ඇමතුමක් ලබාගෙන මේ පිළිබඳ තොරතුරු ලබා දුන්නේය.

“අද උදේ අපට තොරතුරක් ආවා හිස නැති නිරුවත් කාන්තා මළ සිරුරක් තොටමුන්න ඔයේ ගසාගෙන ඇවිත් කියලා. ඒ ගෑනු කෙනාගේ අත්දෙක වෙන් වෙන්න කපලා. ගෑනු කෙනාගෙ ක්වන්ධ කොටස අපි රාගම හොස්පිට්ල් එකට භාරදුන්නා….”

සපුගස්කන්ද ස්ථානාධිපතිවරයා කියූ දෙයින් සුනිමල් සුසන්ත කිසියම් නිගමනයකට ආවේය. ඔහු මේ තොරතුරු පිළිබඳ ප්‍රදීපාගේ පවුලේ ඥාතීන්ට දැනුම් දුන්නේය. ඒ අනුව ප්‍රදීපාගේ සොහොයුරියක් ඇතුළු ඥාතීන් පිරිසක් රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගොස් එහි තිබූ සිරුර ප්‍රදීපාගේ බවට හඳුනාගත්හ. ඒ වන විට සුධීර නමැති ව්‍යාපාරිකයා අතුරුදන්ව සිටියේය. ඔහු ආගිය තැන් පදිංචි ස්ථාන සියල්ල සොයා බැලුව ද කිසිදු හෝඩුවාවක් ලබාගැනීමට පොලිසියට හැකි වුණේ නැත.

සුධීර සහ ප්‍රදීපා අතර තිබූ සම්බන්ධය පිළිබඳව ද පොලිසිය සුලමුල සොයන්නට පටන් ගත්තේ ඒ ඔස්සේ මේ ඝාතනයේ වැදගත් තොරතුරු ලබාගැනීමේ අටියෙන් ය.

මීට විසි වසරකට උඩදී එනම් 2003 වර්ෂයේදී සුධීර නමැති තරුණ ව්‍යාපාරිකයා මුල්ලේරියාව රෝහල් පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසලක් විවෘත කළේය. මේ වෙළෙඳසල පිහිටියේ ප්‍රදීපා පදිංචි නිවසට යාබදවය. මේ කාලය වනවිට ප්‍රදීපා අතිශය රූමත් කාන්තාවක් වූවාය. ඒ වන විටත් ඇය තුන්දරු මවකි. ප්‍රදීපාගේ සැමියා රේගුවේ රැකියාවක් කළ නිසා ඔවුන් ගත කළේ බොහොම සුඛෝපභෝගී ජීවිතයකි. කිසිදු ආර්ථික අගහිඟයක් ඔවුන්ට තිබුණේ නැත. ප්‍රදීපාගේ සැමියා ඇයට බෙහෙවින් ආදරය කළේය. ඒ නිසාම උපයන මුදල්වලින් කොටසක් ඇගේ බැංකු ගිණුමේ තැන්පත් කිරීමට ඔහු කටයුතු කළේ අනාගත දිනයක තම සුඛවිහරණය සඳහා ඒ මුදල් වියදම් කරන අටියෙන් ය. ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසල විවෘත කළ සුධීර දිනපතාම පාහේ එහි රැඳී සිටිමින් ව්‍යාපාරය කරගෙන ගියේය. ඉන් මහ ලොකු ලාභයක් නොලැබූ නිසා සුධීර ගත කළේ දැඩි ආර්ථික ගැටලු රැසක් මධ්‍යයේ ය.

විවාහකයකු වූ සුධීර දියණියකගේ සහ පුත්‍රයෙකුගේ ආදරණීය පියාණන් විය. සිය පවුල ගොඩගන්නට අගහිඟකම්වලින් තොරව ඔවුන්ට රැකවරණය දෙන්නට සුධීර දැඩි වෙහෙසක් ගත්තේය. තම වෙළෙඳසල ඉදිරිපිටින් නිතර එහා මෙහා යන සුරූපිනිය කෙරෙහි සුධීරගේ අවධානය යොමුවන්නේ ඔය අතරතුරදී ය. විවිධ භාණ්ඩ මිලදී ගන්නට ප්‍රදීපා ඉඳහිට සුධීරගේ වෙළෙඳසලට ද ආවාය. ඒ පැමිණීම වැඩිකල් නොගෙස් දැඩි මිත්‍රත්වයක් දක්වා දුරදිග ගියේය.

එකිනෙකාගේ පවුලේ ප්‍රශ්න මෙන්ම පෞද්ගලික ජීවිතයේ නොයෙකුත් ආරවුල් පවා විවෘතව කතාකරන තත්ත්වයට ඔවුන් පත්ව සිටියහ. කාලයක් තිස්සේ ගොඩනැගුණු මිත්‍රත්වය අනියම් සම්බන්ධයක් දක්වා දුරදිග යන්නට වැඩි කාලයක් ගතවුණේ නැත. අතිශය සුරූපී ප්‍රදීපාගේ ආදරය සෙනෙහස ලබාගැනීමට හැකිවීම සුධීර දැක්කේ තම ජීවිතයේ ලත් මහත් වාසනාවක් ලෙස ය. සුධීර ආර්ථික ප්‍රශ්නවලින් පීඩිතව සිටින බව ප්‍රදීපා හොඳින් දැන සිටියාය. සුධීරට දැක්වූ ලෙන්ගතුකම නිසාම ඔහුට උපකාර කිරීමට ඇය ඉදිරිපත් වුණේ කාටත් හොර රහසේ ය.

“සුධීර මගේ එකවුන්ට් එකේ සල්ලි තියෙනවා. මං ඔයාට ලක්‍ෂ 50 ක් දෙන්නම්. ඔයා හොඳ බිස්නස් එකක් කරලා දියුණු වෙන්න. දියුණුවෙලා මගේ සල්ලි ආපහු දෙන්න.”

ප්‍රදීපා කියූ දෙයින් සුධීර අන්දුන්කුන්දුන් වුණේය. ප්‍රදීපා මෙවැනි උපකාරයක් තමන්ට කරණු ඇතැයි ඔහු කිසිවිටෙකත් සිතුවේ නැත. ප්‍රදීපා ලබාදුන් මුදලින් ව්‍යාපාර කීපයක් ආරම්භ කළ සුධීර වසර කීපයක ඇවෑමෙන් ගජ පොහොසතකු බවට පත්වුණේය. සුධීරගේ දියුණුව දෙස බලා ප්‍රදීපා ද අහිංසක සතුටක් ලැබුවාය. මුළු ලෝකයටම හොර රහසේ මේ තහනම් ආදරයේ රස බැලුවද එය තවදුරටත් රැකගන්නට ප්‍රදීපාට හැකි වුණේ නැත. ප්‍රදීපාගේ සැමියා මේ සියලු තොරතුරු සොයාගන්නා විට සම්බන්ධය බොහෝ දුරදිග ගොස් තිබුණේය. “එකවුන්ට් එකේ තිබුණු ලක්‍ෂ 50 කට උඹ මොකද කළේ. ඒ සල්ලි මං දුන්නේ අපේ අනාගතේට ප්‍රයෝජනයට ගන්න. උඹ ඒ සල්ලි කෑවද? ප්‍රදීපාගේ සැමියා දණ්ඩෙන් පහර කෑ නාගයකු මෙන් කෝපාවිෂ්ඨව කෑගැසුවේය.

“ඒ සල්ලි මං බිස්නස් එකකට දැම්මා. සුධීර බිස්නස් කරලා මට සල්ලි ටික පොලියත් එක්ක දෙනවා කිව්වා.” ප්‍රදීපා ඇඟට පතට නොදැනෙන්න කීවාය. ප්‍රදීපා සහ නීත්‍යානුකූල සැමියා අතර ගැටුම් හටගත්තේ එතැන් සිටය.

“උඹ සල්ලි ටික අරගෙන වරෙන් හොඳ හිතින්. ඕවා මං දුක්මහන්සියෙන් හම්බ කරපුවා. එක එක කාලකණ්ණින්ට දෙන්න හම්බ කරපුවා නෙවෙයි.”

ප්‍රදීපාගේ සැමියා මේ මුදල් ඉල්ලා නිතර නිතර ආරවුල් ඇති කළේය. දිනක් ඔහු ප්‍රදීපාට පහර දී නිවසින් පන්නා ගත්තේ මුදල් රැගෙන ආපහු එන ලෙස තර්ජනය කරමින්ය. එදා ප්‍රදීපා නිවසින් පිටවන්නේ සිය කුඩා දියණිය ද කරපින්නාගෙනය.

“සුධීර දැන් මට යන්න එන්න තැනක් නැහැ. මාව කොහෙ හරි අරගෙන යන්න. මට මේ දරුවත් එක්ක ඉන්න ඕනෙ.”

ප්‍රදීපා සිය අනියම් සැමියා වූ සුධීරට කීවාය. ඒ වනවිට සුධීර නිවාස කීපයක හිමිකරුවකු බවට පත්ව සිටියේය. ඉන් එක් නිවසක ප්‍රදීපා සහ දියණිය නතර කරගත් සුධීර ඔවුන්ට රැකවරණය දීමට කටයුතු කළේය.

මොන ප්‍රශ්නය ආවත් තම පවුල් ජීවිතය කොයි ලෙසකින්වත් අවුල්කර නොගැනීමට සුධීර වගබලා ගත්තේය.

“සුධීර කරුණාකරලා මට මගේ සල්ලි ටික ආපහු දෙන්න. ඔයා දැන් ලොකු සල්ලිකාරයෙක්. ඔය සල්ලි නිසා මට මගේ පවුල් ජීවිතෙත් නැති වුණා. ඒ නිසා ඒ සල්ලි මට ඕනෙ.” ප්‍රදීපා සුධීර ඉදිරියේ ආයාචනා කරන්න වූවාය.

සුධීර තමන් මිලදී ගෙන තිබූ රුපියල් කෝටි 2ක් පමණ වටිනා ඉඩමක් සමග දෙමහල් නිවසක් ප්‍රදීපා වෙත ලබාදෙන්නට කටයුතු කළේ ඇය ලබාදුන් මුදලට හිලව් වීමටය. ඒ වනවිට ප්‍රදීපාගේ ඥාතීන් නිතර නිතර ඇය සොයා ආහ. ඔවුන් සියලුදෙනාට අවශ්‍ය වුණේ කැඩී බිඳී ගිය ප්‍රදීපාගේ පවුල නැවත එකතු කිරීමට ය.

හිස වෙන් කළ මුල්ලේරියාවේ කතගේ ඇත්ත කතාව එළියට…

“උඹ කෙල්ලො තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක්. කවද හරි උන් රටේ ලෝකෙ ලස්සනට ජීවත් වෙන්න ඕනෙ. උඹ පවුල් අවුල් කරගත්තම උන්ට යන කලදසාව මොකක්ද?”

පවුලේ සාමාජිකයන් ප්‍රදීපාට සත්‍ය වටහා දී ඇය ආපසු නිවසට කැඳවාගෙන යන්නට කටයුතු කළහ. එහෙත් ප්‍රදීපාගේ නීත්‍යනුකූල සැමියා ඇය සමග තවදුරටත් පවුල් කෑමට ඉදිරිපත් වුණේ නැත. මේ වගේ බලුවැඩක් කරපු ගැනියෙක් මට ඕනෙ නැහැ. පවුල් සම්බන්ධකම් තියාගත්තට කමක් නැහැ. එයාට එක වහලක් යට මා එක්ක ඉන්න බැහැ. සැමියා සිය තීරණය ඥාතීන් හමුවේ කීවේය. ඒ අනුව ප්‍රදීපා සිය බාල දියණිය සමග වෙනම නිවසක පදිංචි වූවාය. සැමියා මහගෙදර පදිංචිව සිටියේය. එහෙත් පවුලේ පොදු කටයුතු සෑම දෙයකටම ප්‍රදීපාගේ සැමියා සහභාගිවීමට අමතක කළේ නැත. ප්‍රදීපාගේ වියපැහැදම් පිළිබඳව සොයාබැලීම ද සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට ඔහු කටයුතු කළේය.

“මට දැන් ජීවත් වෙන්න සල්ලි නැහැ. මාව මේ තත්ත්වයට ඇදලා දැම්මෙ ඔයා. ඒ නිසා ඔයා දැන් මං ගැන බලාගන්න”

ප්‍රදීපා මේ ගැන නිතර කියමින් සුධීරට තර්ජනය කරන්නට වූවාය.

“හරි මං දුන්න ගේ ඔයා කුලියට දේනන. ඒකෙ ආදායම ඔයා ගන්න. ඊට අමතරව මම ඔයාට මාසෙකට තව තිස්දාහක් දෙනවා ඔයාගෙ වියදම් බලාගන්න.”

සුධීර යෝජනා කළේය. ඒ අනුව ප්‍රදීපා සිය මාසික ආදායම සැලසුම් කර ගත්තාය. කාලය කෙමින් ගෙවී ගියේය. ප්‍රදීපාගේ වැඩිමහල් දියණියන් දෙදෙනා හොඳ අධ්‍යාපනයක් ලබා ඔවුන් උසස් රැකියා ලබා ගත්හ. ආවාහ විවාහ වී ඔවුන් යහපත් පවුල් ජීවිත ගත කරන්නට වූහ. බාල දියණිය තවමත් අධ්‍යාපන කටයුතුවල නිරතවන නිසා ඇය සිටියේ ප්‍රදීපාගේ සෙවණේ ය. මේ අතර ලෝක වසංගතයක් වූ කොරෝනා රෝගයෙන් මුළු රටම වෙළාගත්තේය. වසර දෙකකට ආසන්න කාලය ප්‍රදීපාට අතිශය දුෂ්කර කාල සීමාවක් විය.

සුධීරගේ ව්‍යාපාර කටයුතු ද අඩපණ වීම නිසා ඔහුට ප්‍රදීපා වෙනුවෙන් මාසික මුදලක් ගෙවීමට ද නොහැකි තත්ත්වයක් උදා විය. මේ ගැටලු මුල්කරගෙන ප්‍රදීපා සහ සුධීර අතර නිතර ආරවුල් ඇතිවන්නට පටන් ගත්තේය. මොන ප්‍රශ්න ආවත් සුධීර තම පවුල් ජීවිතය අවුල්කර නොගැනීමට හැමවිටම වගබලා ගත්තේය. ප්‍රදීපාට එය ද මහත් වද දුන් සිද්ධියක් විය.

“තමුසෙ මගේ පවුල අවුල් කරලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. මේ හැම දේටම වගකියන්න ඕනෙ තමුසෙ. ඒ නිසා ඒවට වන්දි ගෙවනවා.”

ප්‍රදීපා මේ ගැන කියමින් සුධීරට නිතර නිතර බැණ වැදුණාය.

“හරි මං මගේ තව ඉඩමක් තියෙනවා. ඒක විකුණලා බාගයක් ඔයාට දෙන්නම්. එතකොට ඔයාට යහතින් ඉන්න පුළුවන්නෙ. ”

සුධීර යෝජනා කළේය. ප්‍රදීපා ද ඊට එකඟ වූවාය. ඒ ඉඩම රුපියල් කෝටි ගණනකට විකුණා දැමුවද සුධීර ශත පහක් ප්‍රදීපාට දුන්නේ නැත. මුදල් ලබාදීම ඔහු දිනෙන් දින පසුවට කල් තැබුවේය. ඒ වන විට සුධීරගේ වැඩිමහල් පුත්‍රයා හොඳ රැකියාවක නිරත වී සිටි අතර ඔහු විවාහ දිවියට ද එකතුව සිටියේය. ඔහුගේ බාල දියණිය විවාහ වන වයසේ පසු වූවාය. මේ අතර ප්‍රදීපා ඔහුට අලුත් යෝජනාවක් ගෙන ආවාය.

“සුධීර තමුසෙ මගේ පවුල අවුල් කළානෙ. ඒ නිසා මටත් සාධාරණයක් වෙන්න ඕනෙ. තමුසෙගෙ බාල දුව බැඳලා ගියාට පස්සෙ ඔය ගෑනිගෙන් ඩිවෝස් වෙලා මාව කසාද බඳින්න ඕනෙ. ජීවිතේ අන්තිම කාලෙ හරි මට සැනසීමෙන් ඉන්න ඕනෙ…..”

ප්‍රදීපා ගෙන ආ අලුත් යෝජනාවට සුධීර කෙසේවත් කැමති වුණේ නැත.

“ඔයාට පිස්සුද මං කොහොමද මගේ ගෑනි ඩිවෝස් කරන්නේ. අපි මේ විදිහට ඉතුරු කාලෙත් ඉමු…”

සුධීරගේ ඒ තීරණය හමුවේ ප්‍රදීපා දැඩි ලෙස කෝපාවිෂ්ඨ වූවාය. ඇය අවස්ථා කීපයකදීම සුධීරගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳටත් දියණියටත් බැන තර්ජනය කර ආවාය.

ඒ වනවිට සුධීරට ප්‍රදීපා මහා පිලිලයක් බවට පත්ව සිටියේය. මේ ගැටලු නිසා සුධීරගේ බිරිඳ සිය දියණිය ද කැටුව නුවරඑළියේ මහගෙදර තාවකාලිකව පදිංචියට ගියාය.

ඒ වනවිට සුධීර ඔහුට අයත් සපුගස්කන්දේ පිහිටි නිවසක තනිව ජීවත් වුණේය. තම ව්‍යාපාරවලට නැකත් බැලීමේ කටයුතු මෙන්ම විවිධ යාගහෝම ආරක්‍ෂාවල් කිරීමේ කටයුතු භාරව දේවාල කපුවකු සිටියේය. ඔහු නමින් කුමාරය. පවුල් ජීවිතය අවුල් කරගෙන සිටි 41 හැවිරිදි කුමාර නිධන් හෑරීම, බිලි පූජා පැවැත්වීම ඇතුළු නොයෙකුත් අදෘෂ්‍යමාන බලවේග සමග කටයුතු කරන්නකු ලෙස ප්‍රසිද්ධව සිටියේය.

තනිවම නිවසේ ගත කරන සුධීර තම ආරක්‍ෂාවට කපුවා ගෙන්වා ගැනීමට තීරණය කළේය. යන එන මං නැතිව සිටි කපුවා ද ඊට එක පයින් කැමති වුණේය. කුමාර කපුවාගේ මාසික වියපැහැදම් සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ද සුධීර කටයුතු කළේය.

සුධීර සහ ප්‍රදීපා අතර පවතින සම්බන්ධය මෙන්ම ඔවුන් අතර ඇවිලෙමින් තිබෙන ආරවුල් පිළිබඳවද කපුවා දැන සිටියේය.

ප්‍රදීපා දිනකට හත්අට වතාවක් සුධීරට දුරකථනයෙන් කතා කර දෙස් දෙවොල් තබමින් බැන වැදීම පුරුද්දක් ලෙස කරගෙන ගියාය. ඒ ඇමතුම් ලැබෙන හැම අවස්ථාවකම සුධීර ස්පීකර් ක්‍රියාත්මක කර කපුවාට ද ඒ සියල්ල ඇසීමට ඉඩ සැලැස්සුවේ ය.

“තමුසෙ මට කරපු අපරාදෙට තමුසෙට හොඳක් වෙන්නෙ නැහැ. මගේ පවුල් ජීවිතේ විනාශ කළා. මාව මහපාරට ඇදලා දැම්මා. මට සල්ලි දෙන්නෙ නැහැ. ඉඩම විකුණපු සල්ලි දෙන්නෙත් නැහැ…”

මේ ආකාරයට ප්‍රදීපා නිරතුරුවම සුධීරට බැන තර්ජනය කරන්න වූවාය.

මට මේ ගෑනිගෙන් ගැලවීමක් නැහැ. මේ ගෑනි හදන්නේ මගේ පවුල් ජීවිතෙත් විනාශ කරන්න.

සුධීර කුමාර කපුවාට කීවේය. “සර්…. බයවෙන්න එපා. අපි ඔය ගෑනිගෙ කට වහන විදිහෙ වැඩක් කරමු. අපි ඔය ගෑනිව මරලා දාමු. කාටවත් අහුනොවෙන්න වැඩේ කරමු.”

කුමාර කපුවාගේ යෝජනාවෙන් සුධීර තුෂ්නිම්භූත වුණේය.

“මං කොහොමද මිනිහො එහෙම දෙයක් කරන්නේ. මට ඒ වගේ දෙයක් කරන්න හයියක් නැහැ. අනික මං අවුරුදු විස්සක් ආදරේ කරපු ගෑනිව මරන්නෙ කොහොමද?” සුධීර කීවේය.

“සර්… මේකට කරගහන්න එපා. මං වැඩේ කරලා දෙන්නම්. ඔය වගේ වැඩද මං කරලා තියෙන්නේ. සර් ඔය ගෑනිව එක්කරගෙන එන්නකො ගෙදරට මං ඉතුරු හරිය බලාගන්නම්.”

කුමාර කපුවා කීවේය. කපුවාගේ සැලසුම ගැන සුධීර සියවරක් සිතා බැලුවේය. ප්‍රදීපා විනාශ කරනවා හැරෙන්නට මේ ප්‍රශ්නයට වෙනත් විසඳුමක් නැති බව ඔහුද විශ්වාස කළේය. ඒ තරමටම ප්‍රදීපා සුධීරට වදයක් බවට පත් ව සිටියාය.

“හරි මං වැඩේට කැමතියි. අපි මේක කාටවත් අහුනොවෙන්න කරමු. මට මගේ පවුල් ජීවිතේ ලොකුයි මේ හැම දේකටම වඩා. ඒ නිසා ඒ වෙනුවෙන් මං ඕනෙ දෙයක් කරන්න ලෑස්තියි.”

සුධීර කපුවාට සිය කැමැත්ත ප්‍රකාශ කළේය. ඉකුත් 27 වැනිදා මහා මූසල දිනයක් විය. ප්‍රදීපාට දුරකථන ඇමතුමක් දුන් සුධීර උද්ගත වී තිබෙන ගැටලුව පිළිබඳව කතා කරගන්නට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය. තම මාරයා තමන්ට අඬගසන බව නොදත් ප්‍රදීපා ඊට කැමැති වූවාය.

ඇය කඩුවෙල නගරයට පැමිණ ආපන ශාලාවෙන් තේ පානය කර සුධීර සමග කෙලින්ම ආවේ සපුගස්කන්ද සියඹලාපේ පිහිටි නිවස වෙතය. නිවස ඉදිරිපිට මෝටර් රථය නතර කළ සුධීර ප්‍රදීපාට නිවසට යන ලෙස පැවසුවාය. නිවස තුළ තමා බිලිගන්නට මාරයා රැක සිටින බව නොදත් ඇය එහි ඇතුළු වූවාය. එහෙත් ඇගේ සිතට කිසියම් සැකයක් මතු වන්නේ නිරායාසයෙන් ය. නිවසට ගිය ප්‍රදීපා ආපසු පිටතට ආවාය.

“සුධීර මේ ගේ ඇතුළෙ කව්රුහරි ඉන්නවා මට බයයි වගේ”

ඇය කීවාය. ඒ වන විට කුමාර කපුවා තියුණු ආයුධයක් රැගෙන නිවස තුළ සැඟවී සිටියේය.

“ඔය ගෙයි කවුරුත් නෑ ප්‍රදීපා. ඔයා ඇතුළට යන්න. මං වාහනේ පාර්ක් කරලා එන්නම්…..” සැකයක් මතු නොවන ලෙස සුධීර කීවේය.

ප්‍රදීපා එක්වරම නිවසට ඇතුළු වූවාය. කාමරයක සැඟ වී සිටි මාරයා තියුණු ආයුධයක් සමග එක්වරම මතුවුණේය. ප්‍රදීපාට කෑ ගැසීමට පවා ඉඩක් නොතබමින් ක්‍රියාත්මක වූ ඒ අළුගෝසුවා ඇගේ ගෙල තියුණු ආයුධයෙන් කපා දැමුවේය. සිහින් කෙඳිරියක් පවා නොමැතිව ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර මහපොළොව මත ඇදවැටුණාය.

සුධීර නිවසට ගොඩවන විට සියල්ල හමාරය. ඔහු දෑත් හිසමත ගහගෙන ප්‍රදීපාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දෙස මොහොතක් බලා සිටියේය.

ඒ වන විට සියල්ල සිදු වී හමාරය. කපුවා තියුණු පිහියක් අමෝරාගෙන බලා සිටියි.

“සර්….. මේ ගෑනි උස මහත නිසා අපිට එක පාර උස්සගෙන අරන් යන්න අමාරුයි. ඒ නිසා අපි ගෑනිගෙ ඇඟ කොටස් කීපයකට කපමු.”

කපුවා කරන කියන දේකට එකඟ වෙනවා හැරෙන්නට වෙන කළයුතු යමක් සුධීරට ඉතිරිව තිබුණේ නැත. ප්‍රදීපාගේ ගෙල, දෑත් කපා වෙන් කිරීමට සුධීර කපුවාට උපකාර කළේය. ඇය ඇඳ සිටි ඇඳුම් ඉවත්කර ඒවා පුළුස්සා දැමීමට කටයුතු කළේ සුධීරය.

ඒ වනවිට සුධීර පොහොර බෑග් කීපයක් ගෙනැවිත් තිබුණේය. ප්‍රදීපාගේ කොටස් කළ සිරුර ඒ පොහොර බෑග්වලට දැමූ සුධීර සහ කුමාර කපුවා ඒවා මෝටර් රථයේ ඩිකියේ පැටෙව්වෝය.

සර්…. මේ ගේ හෝදලා දාමු. නැත්නම් හැම තැනම ලේ පැල්ලම්. සුධීරත් කුමාර කපුවාත් එක් වී නිවසේ තිබූ ලේ පැල්ලම් සියල්ල සෝදා හැරියෝය.

පසුව ඔවුන් දෙදෙනා ප්‍රදීපාගේ සිරුර ද වාහනයේ පටවාගෙන ගොස් තොටමුන්න ඔයේ පාලම මතින් එය වතුරට දැමුවෝය. ප්‍රදීපා ඝාතනය සදාතනික අභිරහසක් වනු ඇතැයි සිතූ සුධීර සහ කුමාර කපුවා සැහැල්ලු සිතින් නුවරඑළිය බලා යන්නට පිටත් වුණේ සිදු වූ සියල්ල අමතක කර දමමින් ය.

නුවරඑළියේ සඳතැන්න විහාරයේ විහාරාධිපති හිමියන් හමු වූ සුධීර දින කීපයක් එහි නවාතැන් ගන්නට අවසර ඉල්ලා සිටියේය. ආගන්තුකයන්ට නවාතැන් දීම සඳතැන්න විහාරයේ සිරිතක් නිසා ඔවුන්ට එහි නවාතැන් ගැනීමට අවසර ලැබිණි. ඒ වන විට පොලිස් කණ්ඩායම් කීපයක් රට පීරමින් සුධීර සොයන්නට වූහ. සුධීරගේ ජංගම දුරකථනය ඔස්සේ විමර්ශන පැවැත්වූ පොලිසිය ඔහු යන ගමන් මාර්ගය සොයාගත්හ. ඒ වනවිට සුධීර තවත් සගයකු සමග ගමන් ගන්නා බව ද පොලිසිය සොයාගෙන තිබුණේය.

මේ අතර මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති සුනිමල් සුසන්ත සුධීරගේ පවුලේ සමීප ඥාතීන් පොලිසිය වෙත කැඳෙව්වේය.

“තමුන්ලා දන්නවනෙ සුධීර කරලා තියෙන අපරාධය මොකක්ද කියලා. ඒ නිසා මිනිහට දැනුම් දෙනවා ප්‍රශ්න ඇති කරන්නෙ නැතිව පොලිසියට භාරවෙන්න කියලා. එහෙම නොවුණොත් කරදර වෙන්න වෙයි කියලත් පණිවිඩයක් යවන්න.”

ස්ථානාධිපතිවරයාගේ ගර්ජන හමුවේ සුධීරගේ ඥාතීන් දැඩිලෙස භීතියට පත් වූහ. සුධීර තම ඥාතීන් සමග ඒ වන විටත් දුරකථනයෙන් තොරතුරු හුවමාරු කරගන්නා බව පොලිසිය සොයාගෙන තිබිණි. ඒ වනවිට සුධීර නුවරඑළිය සඳතැන්න විහාරස්ථානය ආසන්නයේ සිටින බව පොලිසිය සොයා ගත්තේය. මේ පිළිබඳව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ. හෙට්ටිආරච්චි මහතාට දැනුම් දීමට පොලිසිය කටයුතු කළේය.

ඒ අනුව සඳතැන්න විහාරයට ගිය හෙට්ටිආරච්චි මහතා සුධීර පිළිබඳව විහාරාධිපති හිමියන්ගෙන් විමසුවේය.

“සර්….. මහත්තුරු දෙන්නෙක් ඇවිත් හිටියා. අද පාන්දර ඒ දෙන්නා කොළඹ යනවා කියා වාහනේ යතුරුයි හෑන්ඩ් ෆෝන් එකයි මට දීලා ගියේ දවස් කීපයකින් එනවා කියලා. ඔන්න ඔය කාර් එක දාලා ගිහින් තියෙනවා. විහාරාධිපති හිමියන්ගේ තොරතුරු අනුව සුධීරගේ මෝටර් රථය පොලිස් භාරයට ගත්තේය. ඒ වනවිට සුධීර සහ කුමාර කපුවා නීතිඥවරුන් සිව්දෙනකුගේ මාර්ගයෙන් සපුගස්කන්ද පොලිසිය වෙත භාර වී සිටියහ.

“කපුවා තමයි ප්‍රදීපව මැරුවේ. මං ඒකට උදව් කළා. එයාගෙ සිරුර කෑලි කරලා ඔයට දැම්මා. අපි හිතුව මේක කවදාවත් අහුවෙන එකක් නැහැ කියලා”. සුධීර පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සිදුවූ සියල්ල පාපොච්චාරණය කළේය.

තහනම් ප්‍රේමයේ රස විඳින්නට ගිය ප්‍රදීපාගේත්, සුධීරගේත් අවසානය ඛේදවාචකයකින් කෙළවර වුණේ ඒ ආකාරයටය.

හේමන්ත රන්දුණු
(පොලිස් වාර්තා ඔස්සේ ලිපිය සකස් කරන ලදී.)

advertistmentadvertistment
advertistmentadvertistment