පාස්කු නඩු තීන්දුව ශ්‍රීලනිපයට තීරණාත්මකයි!

1266

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගියදා ජර්මනියේ කළ සංචාරයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට කෝපයෙන් පිළිතුරු දුන්නේය. එතුමා ඒ ආකාරයට කිසිදු මාධ්‍යයක් / මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට මින් පෙර පිළිතුරු දී නැත. එතුමා මාධ්‍යවේදියාගෙන් පෙරළා ප්‍රශ්න කළේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳව කතෝලික අගරදගුරු සම්මේලනයෙන් එම මාධ්‍ය ආයතනය විමසීමක් කර තිබේද? එසේ නොවන බව ජර්මානු මාධ්‍යවේදියා පිළිගත්තේය. ‘ඉරිදා දිවයින’ කතෝලික අගරදගුරු සම්මේලනයට එම ප්‍රශ්නය යොමු කළේය. එම සංගමයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් අවධාරණය කළේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට තවමත් සාධාරණය ඉටු නොවී ඇති බවයි. යුක්තිය ඉටුවිය යුතු බවයි. කවුරු බලයේ සිටියත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් නියෝජනය කරන කතෝලික අගරදගුරු සම්මේලනයේ ස්ථාවරය කිසිසේත් වෙනසක් නොවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) සහ එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට (ජනවාරි 2015-නොවැම්බර් 2019) 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලනික ලෙස බරපතල බලපෑමක් එල්ල කළ බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් ශ්‍රීලනිපය සහ එම පක්ෂයේ සභාපතිවරයා මුහුණ දෙන, තවදුරටත් වර්ධනය වෙමින් පවතින අතිශය තීරණාත්මක අර්බුදයේ දිග, පළල සහ ගැඹුර පිළිබඳව තවමත් අධ්‍යනයක් පක්ෂ නායකත්වය කර නැත. එවැනි පසුවිපරමක් කිරීමට එම පක්ෂ නායකත්වයට අවශ්‍යතාවයක් තිබෙන බව කිසිසේත් පෙනෙන්නට නොමැත.

මෑතකදී ඉවත් කරන ලද පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂයේ නායකත්වය උදුරා ගැනීමට උත්සහ කළ බවට පක්ෂයේ සභාපතිවරයා නැගූ චෝදනාව ශ්‍රීලනිපය තුළ අර්බුදය තීව්‍ර කර ඇත. ශ්‍රීලනිප අභ්‍යන්තරයේ සිදුවූ නැතහොත් සිදුකළ එම පිපිරීම තුළින් එම පක්ෂය සිරවී ඇති තීරණාත්මක පාස්කු ඉරිදා අර්බුදයෙන් ගැලවිය නොහැක.

රටේ ඉහළම උසාවිය මූලික අයිතිවාසිකම් කඩවීමට එරෙහිව පවරා තිබූ පෙත්සම් 12 සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 12 දින දුන් තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටු පක්ෂය) පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට පත් වූ හිටපු ජනාධිපතිවරයාව සහ ඔහුගේ පක්ෂය දේශපාලනිකව විපතට පත්කර ඇත. පෙත්සම්කරුවන් අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉහළ නිලතල දරන ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනෙකු ඇතුළු කණ්ඩායමක් ද වේ.

පොහොට්ටු මන්ත්‍රී සිරිසේනට තවමත් ගෙවීමට නොහැකිවූ උසාවිය නියම කළ රුපියල් මිලියන 100 වන්දිය හිටපු ජනාධිපතිවරයාගේ කකුලේ ගැටගැසූ විශාල කළු ගලක් බවට අර්ථ දැක්වීමේ වරදක් නැත. ශ්‍රීලනිපයේ සභාපතිවරයා ඔහු බැවින් පක්ෂය ද අන්ත අසරණය. නමුත් මෙම සත්‍යය ශ්‍රීලනිප නායකත්වය තවමත් නිසිලෙස වටහා ගෙන නැත.

විපක්ෂ සන්ධානයක් තුළ 2024 ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට සිරිසේනට යම් කැමැත්තක් තිබුණා නම් එය අමතක කර දැමීම හැර ගතහැකි වෙන ක්‍රියාමාර්ගයක් නොමැත. එතුමාගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපයට නැවතත් පොහොට්ටු පක්ෂය සමඟ ඉදිරියේ පැවැත්වීමට නියමිත මහා ඡන්දයට සන්ධාන ගතවීමට හෝ විපක්ෂය විසින් ගොඩනගන යම් සන්ධානයකට සම්බන්ධ වීමට ඇති අවස්ථාව තර්ජනයට ලක්වී ඇත. ඒ ජනවාරි 12 උසාවි තීන්දුව නිසාය. එම තත්ත්වය කිසිදු දේශපාලන උප්පරවැට්ටියකින් වෙනස් කළ නොහැක.

ජනාධිපතිවරයා ලෙස සිරිසේන පත්කළ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු (ඔක්තෝබර් 30, 2018-අප්‍රේල් 25, 2019), පොලිස්පති පූජිත ජයසුන්දර (අප්‍රේල් 20, 2016-අප්‍රේල් 29, 2019),ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් (යහපාලන කාලය තුළ) සහ රාජ්‍ය ඔත්තු සේවාවේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට ද (යහපාලන කාලය තුළ) පිළිවෙළින් රු.මි. 50, රු.මි. 75, රු.මි.10 සහ රු.මි. 75 දඩ නියම කිරීම අවධාරණය කළේ ජනාධිපතිවරයාගේ වගකීම සහ වගවීමයි. ඒ ජාතික තව්හිත් ජමාත් සංවිධානය විදේශීය ජාතිකයින් ඇතුළුව ජීවිත 270 බිලිගත්, 500 ආසන්න පිරිසකට තුවාල සිදුකළ ප්‍රහාර 6 ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ අර්බුදය සුළුපටු නොවේ.

හේමසිරි ප්‍රනාන්දුගේ පත්වීම සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ ඊට දෙතුන් දිනකට පෙර සිරිසේන ජනාධිපතිවරයා තමන්ව එම ධුරයට පත්කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉවත් කර, යහපාලන ආණ්ඩුව කුණු කූඩයට දමා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරීම පිළිබඳව ද විමසා බැලීමෙනි. අධිකරණය 2018 ඔක්තෝම්බර් මාසයේ ක්‍රියාත්මක කළ දේශපාලන කුමන්ත්‍රණය නැවත හැරවූ නමුත්, නීතිය සහ සාමය අමාත්‍යාංශය සිරිසේන ජනාධිපතිවරයා තමන් යටතේ තබා ගත්තේය. එජාපය නොනවත්වා එම අමාත්‍යාංශය තමන්ට යළි භාර දෙන ලෙස ඉල්ලා සිටියත් සිරිසේන ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටියේය.

එමනිසා 2019 අප්‍රේල් 21 ප්‍රහාර මාලාව එල්ල වන අවස්ථාවේදී සිරිසේන ජනාධිපතිවරයා, සේනාධිනායක ධුරයට අමතරව ආරක්ෂක සහ නීතිය සහ සාමය අමාත්‍යාංශ ධුරද දැරීය. එබැවින් ප්‍රහාරය වැළැක්වීමට අසමත්වීමේ වගකීම සහ වගවීම දේශපාලනික වශයෙන් සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා පිට පැටවී ඇත.

ශ්‍රීලනිපය ‘හෙලිකොප්ටරයෙන්’ බසී

පාස්කු නඩු තීන්දුව ශ්‍රීලනිපයට තීරණාත්මකයි!

ශ්‍රීලනිප නායක සිරිසේන මෑතකදී සජීවී හිරු සලකුණ වැඩසටහනකදී තමන් මුහුණ දී ඇති බරපතල තත්ත්වය පිළිගත්තේය. හෙලිකොප්ටරය ලාංඡනය යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට පක්ෂ සහ කණ්ඩායම් රාශියක් සමග පසුගිය ජනවාරි මාසයේදී සන්ධානගත වූ ශ්‍රීලනිපයට හදිසියේම එයින් ඉවත් වීමට සිදුවිය. හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ තමන්ට එරෙහිව උසාවිය තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග තම නිල නිවසට පැමිණි ‘හෙලිකොප්ටර්’ සන්ධානයේ මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම තමනට ශ්‍රීලනිපය එම සන්ධානයෙන් ඉවත්කර ගැනීමට ඉල්ලා සිටි බවයි. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුවෙන් පසුව එම සන්ධානයට හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය ඔවුන්ගේ වේදිකාවට පිළිගත නොහැකි බවයි.

ශ්‍රීලනිපය සම්බන්ධයෙන් ‘හෙලිකොප්ටර්’ සන්ධානයේ තීරණය එම පක්ෂයේ සභාපතිවරයාව දේශපාලනිකව බිත්තියකට හේත්තු කර ඇත. මෙම තත්ත්වය පළාත් පාලන ජන්දය සම්බන්ධයෙන් අර්බුදයක් පමණක් නොවේ. ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සම්බන්ධයෙන්ද ශ්‍රීලනිපයට පත්තු කර ඇති රතු එළියකි.

ශ්‍රීලනිපයට හෝ එහි සභාපතිවරයාට පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව කිසිසේත් මගහැර යෑමට නොහැක. මීට පෙර කිසිදු අවස්ථාවක උසාවිය දුන් නඩු තීන්දුවක් මත දේශපාලන පක්ෂයකට දේශපාලන සන්ධානයකින් ඉවත් වීමට සිදු වී නැත. ශ්‍රීලනිපය කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයකට පත්වී ඇති බව පැවසීම අසාධාරණ නොවන බව මෙම ලියුම්කරුගේ හැඟීමයි.

එක්තරා ආකාරයකට හිටපු ජනාධිපතිවරයා ඉතාමත් අවාසිසහගත දේශපාලන පිට්ටනියක හුදෙකලා වී ඇත. අවසන් මහමැතිවරණයේදී පොහොට්ටු පක්ෂයෙන් තරග කිරීම හැර වෙන විකල්පයක් සිරිසේනගේ ශ්‍රීලනිපයට තිබුණේ නැත. තමන්ව පොළොවේ අඩි හයක් යට වැළලීමට කුමන්ත්‍රණයක් කළ බවට රාජපක්ෂ පවුලට එවකට ජනාධිපතිවරයා ලෙස චෝදනා එල්ල කර පසුව ඔවුන්ගේම පක්ෂයෙන් තරග කිරීම දෛවයේ සරදමකි. ශ්‍රීලනිපයේ ‘අත’ ලකුණින් එම පක්ෂය 2020 අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ යාපනය දිස්ත්‍රික්කයට පමණි. එහිදී අන්ගජන් රාමනාදන් වැඩිම මනාප ඡන්ද ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. යහපාලන සමයේදී ඔහු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුව නියෝජනය කළේය. වර්තමාන පාර්ලිමේන්තුවේ ඉතිරි 13 දෙනාම නියෝජනය කරන්නේ පොහොට්ටු පක්ෂයයි. එම 13 දෙනා අතර එක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු සිටින අතර ඔහු ආචාර්ය සුරේන් රාඝවන් ය. ඔවුන් අතරින් බොහෝ දෙනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කර ඇත. අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා ගෙන ඇත.

පොහොට්ටුවෙන් පත්වූ මන්ත්‍රීවරුන් වන්නේ මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, ශාන් විජයලාල්, රංජිත් සියඹලාපිටිය, සාරති දුෂ්මන්ත, කාදර් මස්තාන්, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් ය. මෙම කණ්ඩායමේ නිමල් සිරිපාල ද සිල්වාට සහ මහින්ද අමරවීරට අමාත්‍ය ධුර හිමිවිය. දුසිම් භාගයකට රාජ්‍ය අමාත්‍ය ධුර හිමිවිය. මෙම තත්ත්වය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ක්‍රියාත්මක ආකාරයයි. ශ්‍රීලනිපයට පමණක් විශේෂිත තත්ත්වයක් නොවේ. නිසියාකාර පක්ෂ ව්‍යවස්ථාවක් ශ්‍රීලනිපය තුළ ක්‍රියාත්මක නම් මේ ආකාරයෙන් මහජන නියෝජිතයින් රොත්තකට පැත්ත මාරු කිරීමට නොහැකිය.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රීලනිප සන්ධාන දේශපාලනය තුළ ප්‍රතික්ෂේප වීම හේතුවෙන් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තම කණ්ඩායම ශක්තිමත් කර ගැනීමට ‘සුපිරි’ අවස්ථාවක් දී ඇත. ‘අත’ ලාංඡනයෙන් තරග කර යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ අන්ගජන් රාමනාදන් පවා මෙම තත්ත්වය තුළ තමාගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් නියත වශයෙන්ම විමසා බලනු ඇත.

සිරිසේනට එරෙහිව නිමල් සිරිපාල

ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේනට සහ එවකට මහා ලේකම් දයාසිරි ජයසේකරට එරෙහිව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තේය. ඒ අරගලයෙන් පසුව රටේ නායකත්වය වෙනස් වී තමන් නව රජය සමඟ එක්වී කටයුතු කරන තත්ත්වයක් තුළ තමන්ව පක්ෂයේ මාධ්‍ය කාරක සභාවෙන් සහ තවත් තනතුරු කීපයකින් ඉවත් කිරීමට හිටපු ජනාධිපතිවරයා තීරණ කළ නිසාය. අමාත්‍යවරයා ගත් මූලික අධිකරණ ක්‍රියාවලිය ඵල රහිත වුවත්, පසුව ඉහළ උසාවිය පක්ෂය නිමල් සිරිපාල ද සිල්වා ට එරෙහිව ගනු ලැබූ ක්‍රියා මාර්ගය ආපසු හැරවූයේය.

ඊට මාස කීපයකට පසුව දයාසිරි ජයසේකරට තමන් මහා ලේකම් ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වය ද තහනම් කිරීමට එරෙහිව අධිකරණයට යෑමට සිදුවීම තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කර ඇත. සිරිසේන සහ ජයසේකර අතර විරසකය පක්ෂය අන්ද මන්ද කර ඇත. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උසාවි තීන්දුව කළ බලපෑමත් සමඟය. යහපාලන සමයේදී ගනු ලැබූ අනුවණ තීන්දු තීරණ, විශේෂයෙන්ම පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති වීම තුළ එජාපය දෙකඩ විය. ආන්දෝලනාත්මක තත්ත්වයක් තුළ එජාපය දෙකඩ වී සමගි ජන බලවේගය 2020 වසරේදී බිහිවූ අතර ආසන 106 තිබූ එජාපය පක්ෂය එක ජාතික ලැයිස්තු ආසනයකට බැස්සේය.

ඡන්ද ලක්ෂ 69 කින් ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් ඇතිවූ ජනතා නැගිටීම ඉදිරියේ තම ධුරයෙන් ඉවත් විය. ඒ අවස්ථාවේ එජාපයට තිබූ එකම මන්ත්‍රී ධුරයේ සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම තුළ පාර්ලිමේන්තුව තුළ එජාපයේ තත්ත්වය වෙනස් වී නැත. වෙනස් වන්නේ ද නැත. ශ්‍රීලනිප තත්ත්වයේ ද වෙනසක් නැත. ශ්‍රීලනිප නායක සිරිසේන පාර්ලිමේන්තුව තුළ මුහුණ දෙන අභියෝගය අතිශය බැරෑරුම්ය. තමන් සහ තමන්ගේ කණ්ඩායමේ අති බහුතරය පාර්ලිමේන්තුවට පත්වූ පොහොට්ටු පක්ෂය සහ එම පක්ෂයෙන් වෙන්වූ කණ්ඩායම (ජී. එල්. පීරිස් -ඩලස් අලහප්පෙරුම නායකත්වය දෙන පිල) ශ්‍රීලනිපය ප්‍රතික්ෂේප කරන බව තේරුම් ගැනීමට අපහසු නැත. ඒ සිරිසේනට එරෙහිව දී ඇති යළි කිසිසේත්ම හැරවිය නොහැකි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දී ඇති නඩු තීන්දුව නිසාය. අවසන් මහා මැතිවරණයේදී ආසන 14 ලබා ගත් (පොහොට්ටුවෙන් 13 සහ ශ්‍රීලනිපයෙන් 01) ශ්‍රීලනිපයට පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී කුමක් වේද? ජනාධිපතිවරණයේ දීද ශ්‍රීලනිපය සන්ධානගත වන්නේ කුමන කණ්ඩායම සමඟ ද යන ප්‍රශ්නය මතුවී ඇත. වර්තමානයේ කිසිදු ප්‍රධාන පක්ෂයකට තනිව තරග කිරීමේ හැකියාවක් නොමැත.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව 2010 අප්‍රේල් මාසයේදී පැවැත්වූ පළමුවන මහා මැතිවරණයේදී ශ්‍රීලනිපය නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 144 දිනා ගත්තේය. ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ක්ද සමඟය. එම පාර්ලිමේන්තු කණ්ඩායමේ අති බහුතරය ශ්‍රීලනිප නියෝජිතයින් විය. එදාට සාපේක්ෂව අද ශ්‍රීලනිපයට පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ශක්තියක් නැත. එම තත්ත්වය ඇතිවූයේ පාස්කු ප්‍රහාරය නිසා නොවන බව අවධාරණය කළ යුතුය.

අප්‍රේල් 2019 එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වසරේ 12 වැනි දින උසාවිය තීන්දුව දෙන අවස්ථාවේදී ශ්‍රීලනිපය දේශපාලනිකව පරිහානියට පත්වී හමාරය. ඇත්තවශයෙන්ම පාස්කු ප්‍රහාරය අවසන් වරට පැවැත්වූ ජනාධිපතිවරණයේදී (2019 නොවැම්බර්) සහ මහා මහමැතිවරණයේදී (2020 අගෝස්තු) එජාපයට තදින්ම බලපෑවේය. ඊට ප්‍රධානතම හේතුව වූයේ මුස්ලිම් පක්ෂ එජාපය පැවැත්වූ ඉතාමත් සමීප සම්බන්ධතාවයයි.

ජනාධිපති, සේනාධිනායක, ආරක්ෂක සහ පොලිස් අමාත්‍ය මෙන්ම ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස තම වගකීම් ඉටු නොකළ බවට ශ්‍රීලනිප නායකයාට යම් චෝදනා එල්ල වුවත් තත්ත්වය කිසිසේත්ම පක්ෂයට හෝ නායකයාට තර්ජනයක් නොවීය. නමුත් එවකට ජනාධිපතිවරයා ලෙස සිරිසේන පත්කළ කොමිසමේ වාර්තාව 2021 පෙබරවාරි 01 දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා භාර ගත්තේය. ඊට පසුව ඇතිවූ තත්ත්වය විමසා බැලිය යුතු වන්නේ සිරිසේන පත්කළ කොමිසම ගෝඨාභය රාජපක්ෂ ද පිළිගත් බව ද අවධාරණය කරමිනි. ජනාධිපතිවරණයෙන් පසුව එම කමිටුවට කතෝලික පල්ලිය නම් කරන පුද්ගලයකු එකතු කිරීමට අවස්ථාව ජනාධිපතිවරයා දුන් නමුත් කොළඹ අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එසේ කිරීමට අවශ්‍ය නොවන බව පැවසීම රහසක් නොවේ.

සැකයේ බීජය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයට නැතහොත් එම පක්ෂයේ ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වූයේ එම වාර්තාව ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යවරුන් හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායම් 2021 පෙබරවාරි 20 දින පත් කිරීම නිසාය. ජනාධිපතිවරයාගේ වැඩිමහල් සහෝදරයකු වූ චමල් රාජපක්ෂ නායකත්වය දුන් එම කණ්ඩායමට ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන අයත් විය. ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂක වූ නීතිඥ හරිගුප්තා රෝහණධීර එම කොමිටියේ පොහොට්ටු ආණ්ඩුව සැකයේ බීජය පැළ කළේය. ජනාධිපති කොමිසම කළ ප්‍රධාන යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොකිරීම තුළ හිටපු ජනාධිපතිවරයා සහ පොහොට්ටු පක්ෂය අපකීර්තියට පත්විය. ඉහළ උසාවිවල විනිසුරුවන් කළ යෝජනා සම්බන්ධයෙන් විමසා බැලීමට අමාත්‍යවරුන් පත්කිරීම ඇත්ත වශයෙන්ම බලවත් සැකයක් ඇතිකිරීමට හේතුවකි. මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව එම තත්ත්වය උපරිම ආකාරයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යොදාගැනීම සම්බන්ධයෙන් කිසිවෙකු පුදුම විය යුතු නැත.

පොහොට්ටු ආණ්ඩුව ජනාධිපති වාර්තාව සැඟවූ බවට යම් පාර්ශව කරන චෝදනා පසුබිමේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උසාවිය 2023 ජනවාරි 12 දුන් තීන්දුවත් සමඟ රනිල්-රාජපක්ෂ ආණ්ඩුවත්, ශ්‍රීලනිපයත් එම පක්ෂයේ සභාපතිවරයාත් බරපතල අර්බුදයකට මුහුණ දී ඇත. පාස්කු වාර්තාව සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නීතිපතිවරයාට දුන් උපදෙස් තීරණාත්මකය. එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ලැබෙන අවස්ථාවේදී එහි ප්‍රධානි ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා පාස්කු ප්‍රහාරය මහා කුමන්ත්‍රණයක් ලෙස නම්කර විශ්‍රාම ගියේය.උ පොලිසිය එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමට කළ උත්සාහය අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළ නැවැත්වීය. නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු ප්‍රශ්නයක් තිබේ. එනම් සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කොමිසම ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව එම ආයතනය යම් නිගමනයකට පැමිණි තිබේද? යෝජනාව වූයේ පාස්කු ප්‍රහාරය වැළැක්වීමට සිරිසේන ජනාධිපතිවරයා තම වගකීම් සහ යුතුකම් ඉටු නොකිරීම සාමාන්‍ය නොසැලකිල්ලට එහා තත්ත්වයක් බැවින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ නඩු කටයුතු ක්‍රියාත්මක කළ හැකිදැයි විමසා බැලිය යුතු බවයි (අවසන් වාර්තාව, පළමුවෙනි වෙළුම 263 සහ 265 පිටු)

පාස්කු අභියෝගයට මුහුණු දී ඇති පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් ඇතුළුව මන්ත්‍රීවරුන් ජනාධිපති කොමිසමේ වාර්තාව පරිශීලනය කළ යුතුය.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment