පරාටේ වෙනස් කරනවාට මහ බැංකුව විරුද්ධ නෑ

217

ඒත් ගෙවන්නැති අයගෙන් ගන්න ශක්තිමක් ක්‍රමයක් ඕනෑ- මහ බැංකු අධිපති

පරාටේ නීතිය සංශෝධනය කිරීම ගැන මහ බැංකුවේ විරුද්ධත්වයක් නැති බවත්, එහෙත් අයකරගත නොහැකි ණය අයකර ගැනීමේ ශක්තිමත් ක්‍රමයක් තිබිය යුතු බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

එසේ නොමැති නම් ගෙවන්න බැරි ණය අයකර ගැනීමට තිබිය යුතු විසඳුම කුමක් දැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රශ්න කර සිටියේය.

මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (10 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දිවයින ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

පරාටේ නීතිය යල්පැන ගිය නීතියක් බව කිව්වත් ඕනෑම දියුණු ආර්ථිකයක මෙන්ම ලෝකය පුරාම ණය අයකර ගැනීමේ ශක්තිමත් ක්‍රමවේද පවතිනවා. මූල්‍ය පද්ධතිය සාර්ථකව ක්‍රියා කිරීමට නම් අයකර ගත නොහැකි ණය අයකර ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. එහෙම නොවුණොත් සුළු හා මධ්‍ය පරිමාණ අයටත් ණය ලබාදෙන්න ක්‍රමයක් නැති වෙනවා. පරාටේ නීතිය මීට පෙරත් සංශෝධනය වෙලා තියනවා. අපි කියන්නේ ඒ නීතිය සංශෝධනය කරන්න එපා කියන එක නොවෙයි. පරාටේ නීතිය වැරදි විදියට භාවිතා කරනවා නම් ඒ ගැන මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් කීවේය.

මෙම මාධ්‍ය හමුවට මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් වන ඉවට් ප්‍රනාන්දු මහත්මිය සහ නෙලුමානී දවුලගල මහත්මිය ද එක්ව සිටි අතර මෙම අවස්ථාවට මහ බැංකුවේ උසස් නිලධාරීහු රැසක් ද සහභාගි වී සිටියහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment