ඩොලරය බැස්සත් ඖෂධ මිල තාමත් අහසේ – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

56

පසුගිය සමයේ විශාල ලෙස මිල ඉහළ දැමූ ඖෂධවල මිල ඩොලරයේ අගයට සාපේක්ෂව මේ වනවිට අඩු කළ හැකි වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳව පියවර නොගැනීමෙන් රෝගීන් තවදුරටත් අපහසුතාවට පත්වෙමින් සිටින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය නිසා රෝහල්වලට එන රෝගීන්ට පිටතින් ඖෂධ ලබා ගැනීමට නියම කරන බවත් පෞද්ගලික ඔසුසල්වල ඖෂධ මිල 400% සිට 500% දක්වා ඉහළ දමා තිබීම මෙම තත්ත්වයට හේතුව බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය. ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ මිල 50% කට වඩා වැඩි ගණනකින් අඩු කළ හැකි වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය හෝ සෞඛ්‍ය ඇමැතිවරයා එයට මැදිහත් නොවීම නිසා රෝගීන්ට කිසිදු සහනයක් ලබා ගැනීමට නොහැකිව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මෙරටට ඖෂධ ගෙන්වන සමාගම් සහ ඇතැම් ඔසුසල් ඩොලරයේ පෙර පැවති මිලට ඖෂධ ගෙන්වන බව කියමින් ඖෂධ අලෙවි කළ ද එය නිසි නියාමනයකට ලක් කිරීමට බලධාරීන් පියවර නොගැනීම නිසා මෙම තත්ත්වය දිගින් දිගටම පවතින බව ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment