විචාරකයෝ – පුහුණුකරුවෝ -ප්‍රවීණයෝ ශකීබ් ගේ පලු අරිති

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පැවැති දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණය වෙනදාට වඩා එදා උණුසුම් විය. ඒ උණුසුම ගෙන ආවේ ලෝක වාර්තාගත දැවී යෑමකිනි. බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් විසින් ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් (ටයිම්ඩ් අවුට්) ආකාරයෙන් එදින දවා ගැනීමෙන් පසුව ඒ උණුසුම ඇතිවුණි. ලෝක ක්‍රිකට් පිටියේ එවැනි දවා ගැනීමක් සිදු වූ පළමු අවස්ථාව එය වූයේය. මේ දවා ගැනීමෙන් දෙරට අතර ක්‍රීඩකයන් තුළ පැවැති හිත හොඳටම පළුදු වී නැති වෛරයක් ඇතිවුණි. එහෙත් මැතිව්ස්ව එසේ දවා ගැනීම බංගලියන් සහ ශකීබ් හැරෙන්නට වෙනත් කිසිවකු උසුලන්නේ නැත. කොටින්ම බංග්ලාදේශ ජාතික හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් ක්‍රිකට් විචාරක අතර් අලි ඛාන් ද ඒ දවා ගැනීම අනුමත කළේ නැත. ඒ අනුව පෙනී යන්නේ බංගලිදේශයේත් ඊට පක්ෂ විපක්ෂ අය සිටින බවකි. එසේම බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ් පවා මෙම දවා ගැනීම හෙළාදකියි. බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අතර් අලි ඛාන් ඒ සිද්ධිය වූ වහාම නැගී සිටිමින් ප්‍රකාශ කළේ කුමක්ද?

“මේ දකින දේට මම කැමති නැහැ, එය ක්‍රීඩාවට හොඳ නැහැ. එය ක්‍රීඩාවේ ආත්මයට පටහැනියි. මට ඒ ගැන හැඟෙන්නේ එහෙමයි. හිස්වැසුමේ ප්‍රශ්නයක් සමඟ ඔබ ඔහු දවා ගන්නවා නම් එය වැරදියි. එය නිවැරදි කිරීමට ඔබට අමතර මිනිත්තු කිහිපයක් ලබා දිය යුතුයි.”

එම ආන්දෝලනාත්මක දවා ගැනීමෙන් පසුව මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වුණේ ඔස්ටේ්‍රලියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයයි. එහෙත් එම තරගයටත් වඩා එදින මාතෘකාව වූයේ මැතිව්ස්ගේ දවා ගැනීම සිදු වූ ආකාරයයි. ඔස්ටේ්‍රලියා ඇෆ්ගනිස්තාන තරගය ආරම්භයට ස්වල්ප වේලාවකට පෙර පිටිය මැද පැවති විස්තර විචාරක සංවාදයේදී ශකීබ්ට විරුද්ධව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කිරීමට එංගලන්ත ජාතික විස්තර විචාරක මයිකල් ඇතර්ටන් කටයුතු කළේය. ඔහු ප්‍රකාශ කළේ කිසිදු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු ශකීබ් ගේ එම ක්‍රියාව වෙනුවෙන් පෙනී නොසිටිනු ඇති බවයි. එම දවාලීම ‘බිහිසුණු’ තීරණයක් බවත් කවුරුත් එය අනුමත කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් ඔහු කීය.

"ටයිම්ස් අවුට්" එකෙන් "අවුට්" වුණේ මැතීව්ස්ද?ශකීබ්ද?

“මම හිතන්නේ විනිසුරුවන් වරදක් කළේ නැහැ. මන්ද ක්‍රීඩා නීති ආරක්ෂා කිරීම ඔවුන්ගේ කාර්යයි. නමුත් ෂකීබ් කළ දෙය භයානකයි. එය සාමාන්‍ය දැනීමෙන් සිතාගත යුතු තීරණයක්.

උදාහරණයක් ලෙස මාන්කාඩි ක්‍රමයේ දවා ගැනීම පිළිබඳව මත දෙකක් තිබෙනවා. ඒත් මේක වෙනස්ම එකක්. කවුද හිතන්නේ බංග්ලාදේශය කළ දෙය නිවැරදියි කියා. ඒ නිසා මට ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකාව ගැන ලොකු අනුකම්පාවක් තියෙනවා. මට හිතෙන්නේ ෂකීබ්ගේ එම ඉල්ලීම ඉතා දුර්වලයි”

හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු මැතිව් හේඩන් ද ඇතර්ටන් සමග එම සංවාදයේ නිරත වූයේය. ඔහු ද ඇතර්ටන්ගේ අදහස්වලට සහය දුන් අතර ක්‍රීඩාවේ ආත්මය ආරක්ෂා කිරීමේදී නායකයන්ගේ කාර්යභාරය එහිදී ඔහු අවධාරණය කළේය.

“මටත් මන්කාඩ් දවා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා. නමුත් මෙම සිදුවීම සමඟ ඔබ එය සම්බන්ධ කරන්න බැහැ. මන්ද එය ක්‍රීඩාවේ ආත්මයට හානි කිරීමේ නව මට්ටමකට යන දවා ගැනීමක්. ඔබ මෙහි දක්වා ඇති ක්‍රීඩාවේ නීතියට වඩා එය සාමාන්‍ය බුද්ධියෙන් සිතා බැලිය යුතු දෙයක්. එය මහත්වරුන්ගේ ක්‍රීඩාව. ඔස්ටේ්‍රලියාව මෑතකදී පන්දුව සීරීමට වැරදි කාරයන් වුණා. එය ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් දෘෂ්ටි කෝණයකින් අප පිළිකුල් කළ දෙයක්.

නමුත් මෙම සිදුවීම්, අපගේ ක්‍රීඩාව පිළිබිඹු කරන මූලික මානව යහපත්කමට පහර දීමක්.

වසර ගණනාවක් තිස්සේ සියලු ආකාරයේ දේවල් අපි මහත්වරුන් ලෙස බේරා ගත්තා. සමහර වෙලාවට පිටියේ දී එය දුෂ්කර විය හැකියි. නමුත් අපි දැන් මහත්වරු ලෙස ක්‍රීඩාව ගැන කතා කරමින් ක්‍රීඩාවට ආදරය කරමු. එය ආරක්ෂා කළ යුතුය. විනිසුරුවන් නොව ක්‍රීඩා කරන 11 දෙනා සහ විශේෂයෙන්ම නායකයා ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මය වටා ශක්තිමත් පවුරක් සෑදිය යුතුයි.

මේ අතර බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් තම කණ්ඩායමේ නායකයා කළ එම ක්‍රියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.

"ටයිම්ස් අවුට්" එකෙන් "අවුට්" වුණේ මැතීව්ස්ද?ශකීබ්ද?

“එය දකින්නට ලැබීම කලකිරීමට පත් කරවන සුළුයි. ශකීබ් ඔහුගේ අවස්ථාව ලබා ගැනීම ගැන මට තේරුම් ගන්න පුළුවන්. ‘මම ජයග්‍රහණය කරන්න ඕනම දෙයක් කරනවා’ කියලයි ඔහු කිව්වේ. නමුත් ඔබට මගේ කටහඬින් තේරෙනවා මම ඒකට කැමති නැහැ කියලා. ඒ වගේ දෙයකට මම කැමති නැහැ. ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙක් එකඳු පන්දුවකට හෝ මුහුණ නොදී ටයිම්ඩ් අවුට් වීමෙන් පිටියෙන් ඉවත් වෙලා යනවා බලන් ඉන්න ඇත්තටම අමාරුයි. ඔබ කතා කරන්නේ ක්‍රීඩාවේ දී එකිනෙකාට ඇති ගෞරවය. ක්‍රීඩාවේ ජීව ගුණය වගේ දේවල්. මම ඒ වගේ දේවල් (දැවී යෑම වැනි) දකින්න කැමති නැහැ. ඒ තමයි මම. අපේ තරගයක දී කවුරු හරි කිව්වොත් ‘හරි, ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන්’ කියලා. මම කියන්නේ ‘ඇත්තටම, මේක වෙන්නේ නැහැ. මේක වෙන්න දෙන්න බැහැ. ඔබට කියන්න පුළුවන් හොඳම දෙය තමයි, ‘හරි, කමක් නැහැ මිත්‍රයා. ඔබේ හිස්වැස්ම ඉක්මනට හදා ගන්න. ඔබට එය වෙනස් කර ගන්න වෙලාව තියෙනවා’ කියලා. එය සිදු වූ විට මම ඇත්තටම හිතුවේ පිටියට ගිහින්’ ‘ඇති ඇති, අපි ඉන්නේ මේකට නෙවෙයි. අපි එවැනි කණ්ඩායමක් නෙවෙයි’ කියලා කියන්න. ඒක තමයි මගේ ක්ෂණික සිතුවිල්ල වුණේ. ඒත් මේ දේවල් හරි ඉක්මනට සිදු වුණා. ඔබ බලය ගැන කතා කරනවා නම් මම ප්‍රධාන පුහුණුකරු නෙවෙයි. මම නෙවෙයි භාරකාරත්වය දරන්නේ. මම දැක්කා විනිසුරු මරායෙස් එරස්මස් කියනවා, ‘කරුණාකරලා ඇන්ජලෝ, දැන් ඔබට පිටියෙන් ඉවත් වෙන්න පුළුවන්’ කියලා.

ඉන් පසුව දැක්කා ඇන්ජලෝ තමන්ගේ හිස්වැස්ම අරන් ගිහින් එය ප්‍රචාරක පුවරු වෙත විසි කරන අයුරු. මම පුදුමයට පත් වෙලා හිටියේ. ඒ වගේම තරගයෙන් පසුව සුහද අතට අත දීමක් සිදු නොවීම ද මම බලාපොරොත්තු වුණා.”

තවද බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක හා ප්‍රවීණ විස්තර ප්‍රකාශක ඉයන් බිෂොප් පැවසුවේ බංග්ලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්ගේ හැසිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මයට පටහැණි බවය. එමෙන්ම ෂකීබ් ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කර ඇති බවත්, මේ ආකාරයෙන් මැතිව්ස් දවා ගැනීමට උත්සාහ කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයට එරෙහි ඉතාම ලජ්ජාසහගත ක්‍රියාවක් බවයි.

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේල් ස්ටේන් මේ සිදුවීමිවිකාරරූපී සිදුවීමක් ලෙස හඳුන්වා සිටී.

පාකිස්තානයේ සුපිරි ක්‍රීඩක හා විස්තර ප්‍රකාශක වකාර් යුනිස් පැවසුවේ “මැතිව්ස් එළියට දැමීමට කටයුතු කළ ආකාරයෙන් මම සතුටක් ලැබුවේ නෑ. මේකෙන් විශාල සතුටක් ලැබුවේ ෂකීබ් හා බංග්ලාදේශ පිල පමණයි. මේ වගේ සිදුවීම් ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මයට හොඳ නෑ. පළපුරුදු ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීම නාට්‍යයක් වගේ” යනුවෙනි.

කෙසේ වෙතත් වකාර් යුනිස්ට විරුද්ධව බංග්ලාදේශ ජාතිකයෙක් එරට අධිකරණයට ගොස් තිබේ. ඒ වකාර් යුනිස් විසින් කරන ලද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමිනි. එහිදී අධිකරණය බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගෙන් විමසා ඇත්තේ මේ වනතෙක් වකාර්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි ද යන්නයි.

කුෂාන් සුබසිංහ ඉන්දියාවේ දිල්ලි සිට

advertistmentadvertistment
advertistmentadvertistment