අස්වැසුම සමෘද්ධියට විකල්පයක් ද?

348

අස්වැසුමට විජයරත්න වෙනුවට විජේරත්න එයි

පසුගියදා සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරය සඳහා ජයන්ත විජේරත්න මහතාගේ නම නිර්දේශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම් දීමක් සිදුකර තිබේ. ඊට පෙර එම තනතුර දැරුවේ බදුල්ල ගේ විජයරත්න මහතාය.

ජයන්ත විජේරත්න මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකි.සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ හිටපු සභාපති බී. විජයරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන් මෙම නිර්දේශ කිරීම සිදුකර ඇත. කෙසේ හෝ මේ වනවිට අස්වැසුම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇති අතර මේ ලිපිය ඒ ගැන සාකච්ජා කරන්නකි.

සමෘද්ධි වැඩසටහන වෙනුවට අස්වැසුම පැමිණ ඇත. එය කෙසේ පැමිණියේ ද? එහි නිර්මාණකරුවන් කවුද? අරමුණු මොනවාද? යන්න තවමත් පැහැදිලි කරුණක් නොවූවත් එය සමෘද්ධි වැඩසටහන වෙනුවට අහසින් පාත් වූ ව්‍යාපෘතියක ස්වරූපයක් ගනී. අස්වැසුම වැඩසටහන පිළිබඳ බොහෝ දෙනාගේ කතාබහට අනුව එය සැලසුම් සහගතව ඉදිරිපත් නොවූ වැඩසටහනකි. ඒ පිළිබඳ වගකීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිට දමා වීදුරු කාමරවල නිර්මාණයක් ලෙස කලඑළි පැමිණි වැඩසටහනක් ලෙස ද සැලකිය හැක.

අස්වැසුම සඳහා ප්‍රතිලාභීන් තේරීම, ඔවුන් වර්ග කිරීම ලබාදීමට අදහස් කර ඇති මූල්‍ය ප්‍රතිලාභ ප්‍රමාණය ආදිය පුළුල් බුද්ධිමයට සාකච්ඡාවක් හරහා සිදු කර නොමැති බව ද එහි පවතින අර්බුදකාරි පැතිකඩවල් නිරීක්ෂණය කිරීමෙන් පෙනී යයි. මෙම වැඩසටහන කඩිමුඩියේ ඉදිරිපත් කිරීම හරහා එහි අගමුල සොයා ගැනීමට පවා නොහැකිව විවිධ වූ තීරණයන් මත කල් දැමීමටත් බලාපොරොත්තු වූ ඉලක්කවලට වඩා අවුල් සහගත ඉලක්ක වෙත යෑමටත් සිදුවීම මෙම වැඩසටහන තවදුරටත් අවුල් කරනු ඇත.

● අස්වැසුම හා දේශපාලනය

අස්වැසුම සමෘද්ධියට විකල්පයක් ද?

ශ්‍රී ලංකාවේ දිලිඳුකම පිටුදැකීමේ වැඩසටහන් සහනාධාර ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වේ. මෙම නිදහසින් පසුව දැකිය හැකි දේශපාලනමය ව්‍යාපෘතීන් වේ. හාල් සේරු 2 ක් දීම, ඇට රාත්තල් 8ක් දීම, විවිධ වූ වෙනත් සහනාධාර, ග්‍රාම සංවර්ධන ප්‍රවේශයන් ආදිය තුළ ද දේශපාලන අරමුණු බැඳී පවතී. ජනතාවට අවශ්‍ය වුවත්, නැතත් යම් යම් දේවල් බෙදා දීම දිලිඳුකම පිටුදැකීමේ මුවාවෙන් කළත්, ඒවා බොහෝදුර මැතිවරණ කාලවලදී ලබාදෙන පොරොන්දු සමග බැඳී පවතී.

දිලිඳුකම පිටුදැකීම පිළිබඳ විශේෂ වැසටහනක් ලෙස මුලින්ම කරළියට පැමිණෙන්නේ ජනසවිය වැඩසටහනයි. එය ද පුළුල් දීමනා ප්‍රවේශයක් මත ක්‍රියාත්මක වුවත්, ජනසවිය මගින් අඩු ආදායම්ලාභීන් ඉලක්ක කරගත් කිසියම් වැඩසටහනක් හා උපාය මාර්ග ක්‍රමවේදයන් විය. දුප්පතුන් වෙනම සංවිධානය වී ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ජනසවියේ මතවාදයකි. නිලධාරීන් හෝ රාජ්‍ය හා වෙනත් ආයතන එම වැඩසටහනේ භාරකරුවන් නොව සහායකයන් හෝ උදව්කරුවන් පමණි. ග්‍රාමීය මට්ටමේ සහාය කණ්ඩායම් මගින් තෝරා ගත් නායකත්වයක් මත තීරණ ගැනීම හා ක්‍රියාකාරීත්වය සිදුවිය යුතුය යන්න ජනසවියේ පදනමකි. ප්‍රතිලාභීන් තේරීම ගමේ කණ්ඩායම හරහා විවෘත ක්‍රමයකට සිදුවිය. නිර්නායක ඒ ඒ ප්‍රදේශ අනුව වෙනස් විය. දේශපාලන නිර්දේශ මත ප්‍රතිලාභීන් තේරිම අවම විය.

ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක වූයේ දිස්ත්‍රික් නායකයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක නියමු ව්‍යාපෘතියක් ලෙස වේ. ජනසවිය ක්‍රියාත්මක වූ කාලය තුළ එය ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ එක් දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් හෝ තුනක් සඳහා පමණි. එය ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වූයේ නම් සමහර විට එය ක්‍රියාත්මක කළ එක්සත් ජාතික පක්ෂ රජය පරාජය වීමට ද හේතු නොවනු ඇත.

මේ වෙනුවට අනෙක් පාර්ශ්වය මගින් ඉදිරිපත් වූ දේශපාලන පොරොන්දුවක් ලෙස සමෘද්ධි වැඩසටහන පැමිණේ. එය හැඳින්වූයේ ද ඡන්ද මැෂිම ලෙසිනි. සැබැවින්ම එය එතැන් සිට පොදු පෙරමුණ ආණ්ඩු ජයග්‍රහණය සඳහා පුළුල් වැඩ කොටසක් සිදුකරනු ලැබීය. එහි නිලධාරි ක්‍රමවේදය, ඔවුන් යටතේ සංවිධානය වූ ප්‍රතිලාභීන් හරහා වසර 25කට ආසන්න කාලයක් මැතිවරණවලින් දිනීමට මෙම සමෘද්ධි වැඩසටහන එම දේශපාලන ප්‍රවේශයට හැකි විය. මෙම දේශපාලන සබඳතාවය මත දුප්පතුන් අඩු වීම නොව දිගින් දිගටම පැටව් ගැසීම ද සිදු විය. මේ අනුව එක්සත් ජාතික පක්ෂයට වසර 25කට වඩා විරුද්ධ පක්ෂයේ තැපීමට සිදුවිය.

අස්වැසුම තුළ ද දේශපාලනය සඟවා ඇත. එය එක්තරා දුරකට දේශපාලන සූත්තරයක් ද වේ. එය එක්තරා විදියකට ඉදිරි දේශපාලන අරමුණක් මත නිර්මාණය කිරීමට උත්සාහ කර ඇත්තේ අටුව කඩා පුටුව හැදීමේ න්‍යාය ද උපයෝගි කර ගනිමිනි.

අස්වැසුම නිර්මාණකරුවන්ගේ තක්සේරුව හා නිගමනය මත දුප්පතුන් සමෘද්ධි වැඩසටහනින් වෙන් කිරීම මෙම දේශපාලන අරමුණු මත සිදු වේ. එනම් සමෘද්ධි බැංකු මගින් අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම ඉවත් කිරීම සමෘද්ධි නිලධාරිවාදයෙන් ප්‍රතිලාභියා වෙන් කර සැලකීම මත සමෘද්ධියෙන් වෙන් වූ මානසිකත්වයත් ප්‍රතිලාභියා තුළ නිර්මාණය කොට ඔහුත් ඉදිරි දේශපාලනය සඳහා යොමු කර ගැනීම අස්වැසුමේ දේශපාලන යටි අරමුණ වේ. එලෙස කිරීම තුළ ප්‍රතිලාභියා සමෘද්ධි ග්‍රහණයෙන් මිදී, වෙනස් වූ දේශපාලන තීන්දුවත් ගනු ඇතිය යන්න එහි සැඟවුණු අරුත හා දේශපාලන තක්සේරුවයි.

2015 වසර දක්වා සමෘද්ධි වැඩසටහනේ උපරිම ප්‍රතිලාභින් ප්‍රමාණය පවුල් ලක්ෂ 12ක් පමණ වේ. එහි එක් පවුලක ඡන්ද 3ක් පමණ ඇතැයි ලෙස දළ තක්සේරුවක් කරන්නේ නම් ඡන්ද ලක්ෂ 25ක් පමණ ඒ මගින් ආවරණය වේ. එය 2015 පමණ දක්වා වූ දේශපාලන සූදුවකි.

මෙබඳු පවුල් හා ඡන්ද ප්‍රමාණයක් අස්වැසුම තුළ ගණන් බලා ඇත. රුපියල් 15000 බැගින් පවුල් ලක්ෂ 8ක් හා රුපියල් 8500 බැගින් පවුල් ලක්ෂ 4 ක් තෝරා ගැනීම පිටුපස පවතින්නේ එම දේශපාලන අල්ලසයි. එබඳු මූල්‍යමය ආධාරයක් ලැබෙන පවුල් සමෘද්ධිය තුළ කොටු කර ගත් පවුල් සංඛ්‍යාවට සමාන්තර වේ. මෙම පවුල් තෝරා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය ද ගුප්ත එකකි. නිලධාරීන් විසින් දේශපාලන උපදෙස් ද උපයෝගි කරගෙන පරිගණක නිර්නායක පද්ධතියක් හරහා ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්ගේ අවම සහභාගිත්වය මත තෝරා ගැනීම තුළ ද දේශපාලන ගති ලක්ෂණ සැඟ වී ඇත. අස්වැසුම ප්‍රතිලාභීන් සමෘද්ධි ව්‍යාපාරයෙන් ඈත් කිරීම හා සමෘද්ධි බැංකුවලින් ඉවත් කිරීම ඉදිරි දේශපාලන ජයග්‍රහණයක් සඳහා සැලසුම් කිරීමත් හා සූදානම් කිරීමේ ගති ලක්ෂණ හා යටි අරමුණු සමග බැඳී පවතී.

● සමෘද්ධිය සමග එකට යෑම

අස්වැසුම මුල සිට ම අවුල් වියවුල් පෙන්වා ඇත. දිලිඳුකම නමැති පය බරවායට පිටකර බෙහෙත් බැඳීමත් ලෙස ද එය හැඳින්විය හැක. සැබැවින්ම මෙම විශාල මූල්‍ය ප්‍රතිපාදනය ඉතා වටිනා බුද්ධිමය සංවාදයන් හරහා සමෘද්ධි වැඩසටහන සමග ඒකාබද්ධ කොට ඉටු කළ හැකිව ඇත. සමෘද්ධියේ ද දේශපාලනයක් ඇතත් දීර්ඝ කාලීනව ගොඩනැඟී ඇති යහපත් ගති ලක්ෂණ හා ශක්තීන් මෙන්ම අවස්ථාවන් සමෘද්ධි වැඩසටහනේ පවතී. මෙරට දිලිඳුකම පිටුදැකීම සඳහා දේශපාලනයෙන් බැහැර වූ අරමුණු ඉදිරියට ගෙන යන්නේ නම් පවතින දෙයින් අලුත් දෙයකට යෑම වඩා සාර්ථක වේ. ඒ අනුව සමෘද්ධි වැඩසටහන පිළිබඳ විවෘත බුද්ධිමය සංවාදයක් හරහා අස්වැසුම වැඩසටහන සංවිධානය කිරීම සැබෑ අරමුණු කරා යෑමට උදව් වෙනු ඇත.

● සමෘද්ධියේ ශක්තීන් හා දුර්වලතා

දීර්ඝ කාලීනව දේශපාලන ගති ලක්ෂණ හා බැඳීම් මත ක්‍රියාත්මක වුවත් සමෘද්ධි වැඩසටහන තුළ සුවිශේෂ වූ ශක්තීන් පවති. ඒ සඳහා වූ නීතිමය රාමුවක් ඇත. එහි පුළුල් මූල්‍යමය ශක්තිය පවතී. ප්‍රජා හා කාන්තා සහභාගිත්වය එක්තරා දියුණු මට්ටමක පවතී. සමෘද්ධියේ බැංකු ව්‍යුහය සමෘද්ධි වැඩසටහනේ ශක්තිමත් අංගයකි. සමෘද්ධියේ සෑම නිලධාරියෙක්ම දේශපාලන සත්වයෝ නොවෙති. සමෘද්ධියේ ඉතා දක්ෂ මානව සම්පත් පොදියක් ඇත. ඕනෑම වගකීමක් නිර්මාණශීලීව ඉටු කිරීමේ හැකියාව සහිත මානව සම්පතක් සමෘද්ධියේ ඇත. ශක්තිමත් ප්‍රජා මූල සංවිධාන ජාලයක් ද සමෘද්ධි වැඩසටහනේ ඇත.

ශක්තීන් වගේම උපන් ගෙයි දුර්වලතා ද සමෘද්ධි වැඩසටහනේ පවතී. එහි දේශපාලනය පුළුල් දුර්වලතාවකි. එක්තරා දුරකට පවතින දූෂිත ක්‍රියාවන් නිලධාරිවාදී භාවිතයන් සමෘද්ධිය තුළ ඇත. සමෘද්ධිය මගින් දුප්පතුන් ආර්ථික වශයෙන් හෝ සමාජයීය වශයෙන් සවිබල වීම පිළිබඳ විස්තර සමෘද්ධියේ නැත. ඒවා පිළිබඳ පුළුල් විශ්ලේශනයක් හෝ වගවීම් සමෘද්ධියේ සංඛ්‍යාත්මකව නැතත් ඒ මගින් එවැනි දේ සිදු වේ.

සමෘද්ධිය දිලිඳුකම පිටුදැකීම සඳහාත් ග්‍රාම සංවර්ධන හා ප්‍රජා සංවර්ධන අරමුණ සඳහාත් ප්‍රතිනිර්මාණය කළ හැකි යෝධ වැඩසටහනකි. එය සම්පූර්ණ ලෙස ඉවත් කිරීම හෝ අස්වැසුම ආයෝජනයන් ඒ හරහා සිදු නොකිරීම ඔල මොට්ටල තීරණයයි.

● නිවැරදි ක්‍රමය හා දේශපාලනය

සමෘද්ධි වැඩසටහන කිසියම් යහපත් කළමනාකරණයන් තුළින් ප්‍රතිනිර්මාණය කොට ඒ සඳහා අස්වැසුම වැඩසටහනට යොදවා ගනු ලබන මූල්‍ය ප්‍රතිපාදන ඒකාබද්ධ කළේ නම් ඒ තුළින් ලබාගත හැකි දේශපාලන වාසිය අස්වැසුම වෙනම ක්‍රියාත්මක කරනවාට වඩා වැඩි බව අදාළ දේශපාලකයන් හා නිලධාරීන් තේරුම් ගැනීමට දැනටමත් ප්‍රමාද නැත. අස්වැසුම වෙනම ක්‍රියාත්මක කිරීමට යෑමෙන් දේශපාලන සූත්තරය පාරා වළල්ලක් වීම ද ඒ මගින් නතර කළ හැකි වනු ඇත.

1971 හා 88/89 කාලවල සිදුවූ තරුණ අරගල මත ඒ සඳහා හේතු සෙවීමේ හා නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටුව මගින් ප්‍රකාශ කරනු ලැබුවේ දිලිඳුකම පිටුදැකීමටත්, ග්‍රාම සංවර්ධනය හා තරුණ ගැටලු විසඳීම සඳහාත් වෙනස් වූ නිර්මාණාත්මක ප්‍රවේශයන් අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාවේ බහුතර මතය වන්නේ ද එබඳු ක්‍රමවේදයන් වෙනසකි. විදේශ ආධාර හෝ ජනතාවගේ බදු මුදලින් කරනු ලබන ආයෝජනයන් දේශපාලන වාසි වෙනුවෙන් නොව සැබෑ අරමුණු වෙනුවෙන් ආයෝජන කළ යුතු බව සැමගේ ඉල්ලිමයි. මහජන මුදල් තවදුරටත් දේශපාලන සූදුවේ යෙදවීම ආර්ථිකය හා සමාජය තවදුරටත් වළපල්ලට යැවීමක් වනු ඇත. මේ අනුව බොහෝ දේවල් සමාජය පිළිගන්නා ආකාරයට නිවැරදිව කිරීම, ඒ සඳහා නිවැරදි උපාය මාර්ග තෝරා ගැනීම, ඒ සඳහා නිවැදි කළමනාකාරීත්වයත් තෝරා ගැනීම මගින් පුළුල් සමාජය පිළිගත් දේශපාලන වාසියක් ලබාගැනීමේ ඉඩකඩ ඕනෑම ඒ සඳහා කැපවෙන දේශපාලන පක්ෂයකට පවතී.

● සමෘද්ධිය ප්‍රතිනිර්මාණය

සමෘද්ධි ව්‍යාපාරයේ බොහෝ අවස්ථාවන්වලදී එහි කළමනාකාරීත්වය දේශපාලනික තේරීම් මත සිදුවී ඇති අතර ඒ මගින් දේශපාලන අභිමතාර්ථයන් සඳහා ප්‍රමුඛතා දීමට එබඳු කළමනාකරුවන් පෙළඹී ඇත. සමෘද්ධිය ප්‍රතිනිර්මාණය කිරීමේදී එබඳු වෙනසක් හරහා නිසි අරමුණු මත අදාළ වැඩසටහන කළමනාකරණය කිරීමේ හැකියාව පවතී. පවතින සම්පත් අරමුණු මත කළමනාකරණය සඳහා කළමනාකරණය කළ හැකි කළමනාකාරීත්වයක් සමෘද්ධියට අවශ්‍ය වේ.

සමෘද්ධිලාභීන් තේරීම සඳහා පුළුල් හා විධිමත් ප්‍රවේශයක් සමෘද්ධිය තුළ ගොඩනැඟී නැත්තේ දේශපාලන වුවමනාවක් ද සලකා ප්‍රතිලාභීන් තේරීම් සඳහා අවශ්‍ය වන පහසුව පවත්වා ගෙන යෑම සඳහා වේ. වඩා විද්‍යාත්මක හා ගැටලු අවම වූ විනිවිද භාවයෙන් යුතු එබඳු ක්‍රමවේදයක් සමෘද්ධි වැඩසටහන තුළින්ම හඳුනාගත හැක. සමෘද්ධි වැඩසටහනේ මානව සම්පත්, මූල්‍ය සම්පත් හා ආයතනික සම්පත් වඩා යහපත් ලෙස අරමුණු සඳහා යොදවා ගත හැකි කළමනාකාරීත්වයත් මගින් මෙම වැඩසටහන ප්‍රතිනිර්මාණය කළ හැකි වේ. එලෙස ප්‍රතිනිර්මාණය කිරීම තුළ දිලිඳුකම පිටුදැකීමේ හා තවත් ආර්ථික සංවර්ධන අරමණු ඵලදායිව ඉටු කර ගැනීමේ හැකියාව නොසලකා හැර කටයුතු කිරීමෙන් රාජ්‍ය වියදම මෙන්ම දිලිඳුකම ආශ්‍රිත ගැටලු තවදුරටත් හිඟන්නාගේ තුවාලයක් වනු ඇත.

● මතවාදය වෙනස් කිරීම

ශ්‍රී ලංකාවේ දිලිඳුකම පිටු දැකීමත්, සැබෑ ග්‍රාම සංවර්ධන ප්‍රවේශයන් ජනතාවාදී හා නිසි සහභාගිත්ව ක්‍රමෝපායන් මත ක්‍රියාත්මක කිරීමටත් වඩා විවෘත වූ හා වගවීම් සහිත ක්‍රමෝපායන් අවශ්‍ය වේ. මේ සඳහා සහනාධාර මතවාදයට වඩා ජනතාව ආයෝජනයන් වෙත යොමු කරන කළමනාකරණ ප්‍රවේශයන් අවශ්‍ය වේ. පසුගිය රජයන් එයට පවතින රජය ද උත්සාහ කරන්නේ දිලින්දන්ගේ පෝලිම වැඩි කිරීමේ සරල සහනාධාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම් සඳහා වේ. සමෘද්ධි වැඩසටහන යටතේ සමෘද්ධිලාභී පවුල් වැඩි වූයේ මේ නිසාවෙනි. අස්වැසුම වැඩසටහන මගින් ද මෙය සිදු වී ඇත. අස්වැසුම වැඩසටහනින් ද එය සිදු වේ. රුපියල් 15000ක් කිසිදු වගකීමක් නොමැතිව ලබාගැනීමට දිලිඳුකම සුදුසුකමක් කර ගැනීමේ සමාජ තරගයක් අස්වැසුම නිර්මාණය කර ඇත. එය එක්තරා දුරකට අර්බුදකාරී ප්‍රවේශයක් ද නිර්මාණය කර ඇත.

සමෘද්ධිය හා එහි පවතින භෞතික හා මානව සම්පත් භාවිත කරමින් සහනාධාර පෝලිම වෙනස් කිරීමේ හැකියාව පවතී. ප්‍රතිලාභින් කුඩා හෝ මහ පරිමාණ ව්‍යාපාර සඳහා නැඹුරු කිරීම, පවුලේ ආදායම් තත්ත්වයන් වැඩි කිරීමේ ප්‍රවේශය, සමාජ වටිනාකම් හා සාරධර්ම සංවර්ධනය සඳහා සමාජ පෙළඹවීම්, ග්‍රාමීය ආර්ථික ශක්තීන් දියුණු කිරීම සඳහා වන මතවාදයන් හා භාවිතාවන් වැඩි දියුණු කිරීම ද යුගයේ අවශ්‍යතාවය වේ. මේ අනුව සහනාධාර මානසිකත්වය වෙනුවට සංවර්ධනාත්මක මානසිකත්වයක් වෙත සමාජය පරිවර්තනය කිරීම දේශපාලනය වූව ද වගකීමකි.

ආණ්ඩුව අස්වැසුම හරහා තවදුරටත් නිර්මාණය කරන්නේ සමාජ සහනාධාර මානසිකත්වයක් නම් එය සැබවින්ම තවත් සමාජ ඛේදවාචකයන්ට පාර කැපීමකි.

● සමෘද්ධි හා අස්වැසුම එකක් කිරීම

පවතින දුර්වලතාවන් තේරුම් ගෙන සමෘද්ධි වැඩසටහනේ දුර්වලතා තේරුම් ගනිමින්, එහි ශක්තීන් මත සැබෑ දිලිඳුකම පිටු දැකීමේ ව්‍යාපාරයක් හඳුන්වාදීම සඳහා රජයේ අවධානය වැදගත් වේ. ඒ තුළින් ලබා ගත හැකි දේශපාලන වාසි ද බොහෝය. දිලින්දන් බෝකිරීම හෝ ජනතාව සහනාධාර පෝලිම්වල හිර කිරීම වෙනුවට ඉහළ වියදම් ඵලදාවයකින් යුත් සමෘද්ධි අස්වැසුමක් නිර්මාණය කිරීම වඩා ප්‍රතිඵලදායක වේ. අස්වැසුම හා සමෘද්ධිය ඒකාබද්ධ කොට එම ආයෝජනය දේශපාලනික අරමුණුවලට වඩා පුළුල් වූ සමාජ අරමුණු මත කළමනාකරණය මත ක්‍රියා කිරීමේ ප්‍රවේශයක් හඳුනාගැනීම සැබැවින්ම බොහෝ අංශවලට අස්වැසුමක් ගෙන දෙනු ඇත. සමෘද්ධිය පාරාවළල්ලක් නොවීමට ද එය හේතු වනු ඇත.

ජිනසිරි දඩල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment