කුඩුකාරයෝ ‘හයර්’ කර මිනී මරන පාතාලයේ අලුත්ම සෙල්ලම…

576

ලෙහෙසියෙන් හොයාගන්න බෑ..

ජංගම දුරකථන පරීක්ෂාවට අහුවෙන්නෙත් නැහැ..

පසුගිය මාස කිහිපයේ ඝාතන සංඛ්‍යාව ඉහළ ගිහින්

හැටනව ලක්‍ෂයක ඡන්ද පදනමක් සමඟ ඉකුත් 2019 වසරේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ පොදු සමාජය තුළ එක්වරම සිදුවූ වෙනසක් තිබිණි. එකී වෙනස වූයේ එතෙක් වරින් වර තැන තැන හිඳිමින් ගිනිකෙළි සංදර්ශන පවත්වන්නට වූ පාතාලයන් හිටි හැටියේ වාෂ්ප වීමය. ඔවුහු සියල්ලෝ උපක්‍රමශීලීව පසුබසින්නට වූහ. ඒ වන විට බන්ධනාගාරගතව සිටිමින් මත් කුඩු ජාවාරම හා කප්පම් ගැනීම් මෙන්ම කුලී ඝාතන මෙහෙයවූවෝද රජයේ තීන්දුවකට අනුව අධි ආරක්‍ෂිත බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීම හේතුවෙන් ඔවුන්ගේ කටයුතු ද අක්‍රීය විය.

ඇතැම්විට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටි සමයේ සිදුවූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතයෙන් පසු එකල රට පුරා භීෂණය වපුරමින් ක්‍රියාත්මකව සිටි පාතාලයන්ට අත්වූ ඉරණම සිහිවී හතර හන්දි වෙව්ලන්නට වීම හමුවේ ඔවුන් එසේ පසුබැස සැඟවුණා විය හැකිය. එහෙත් එකී තත්ත්වය පැවතියේ වසරක් පමණ වූ ඉතා කෙටි කාලයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජ්‍ය පාලකයකු ලෙසින් ක්‍රමයෙන් අසමත් වෙද්දී යළිත් පාතාලය ක්‍රමයෙන් හිස ඔසවන්නට විය. ඔවුන්ගේ ගිනි කෙළි සංදර්ශන දෙස භීතියෙන් බලා සිටින්නට නැවතත් රටේ ජනතාවට සිදුවිය.

කේවට්ටයන් පිරිසකට මැදිවූ ගෝඨාභය රාජපක්‍ෂයන් ෆේල් විය. එකී තත්ත්වය හමුවේ ‘ගෝඨා ගෝ හෝම්’ කියමින් රටේ තාරුණ්‍යය වීථි බැස්සේය. එහිදී බොරදියේ මාළු බෑ උන් එම තරුණ පිපිරීම අරගලය ලෙසින් ගෝල්ෆේස් පිටියට ගෙන එද්දී පාතාලයෝ, කුඩු කාරයෝ, මැරයෝ ආදී ලෙසින් එකී මෙකී නොකී සියලු අපතයෝ එහි ආහ. එතැන් සිටි සිදුවූයේ කුමක්ද? කුඩු පැකට් එක උන් වික්කේ ගෝල් ෆේස් පිටියේ සිටය. අයිස් පැකට් එක, හෑෂ් ටික ඕනෑ තරම් ගන්නට ගෝල්ෆේස් අරගල මාර්කැට්ටුවේ විය. පොලිසිය සොයමින් සිටි දරුණු මැරයෝ එහි රිසි සේ සැරිසැරූහ.

අවසානයේ අරගලයේ උන් කී ලෙසින්ම ගෝඨාභය ගෙදර ගියේය. අරගලය දියාරු විය. එයට උඩගෙඩි දුන්නෝද විසිර ගියහ. මේ සියල්ල හමුවේ වැලේ වැල් නැතිව නන්නත්තාර වූයේ රටය. එසේ නන්නත්තාර වූ රටක පාතාලයන්, මැරයන් වැන්නෝ සිත්සේ නැඟීසිටීම යනු සාමාන්‍ය වන්නාහ. ඉකුත් කෙටි කාලයේ එය උපරිමයෙන් සිදුවිය. අරාජික වූ රටට දැඩි වෙහෙසක් ගෙන යළි හුස්ම දෙන්නට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කටයුතු කමින් සිටියදී ඉහත කී රට වනසන සාතන්ලාගේ වැඩ තවමත් එසේමය. උන් රිසි සේ මිනිස් ජීවිත උදුරා ගනිමින් සිටින්නේය. තැන තැන වෙඩි පත්තු කරමින් උණ්ඩ සෙල්ලම් දමන්නේය.

ගෙවී ගිය මැයි මාසය තුළදී පමණක් දකුණු පළාත ප්‍රධානව බස්නාහිර සහ දකුණ තුළ වෙඩි තැබීම් 26 ක් වාර්තා වී ඇතැයි ඉකුත් දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. මීට අමතරව අනුරාධපුර සහ පදවිය ප්‍රදේශවලින්ද වෙඩි තැබීම් දෙකක් වාර්තා වී ඇත.

මෙකී වෙඩි තැබීම්වලින් මියගිය සංඛ්‍යාව 19 ක් වෙද්දී බරපතළ තුවාල ලැබූවෝ පස්දෙනෙක් වන්නාහ. ඒ සඳහන් කෙරුණේ ගෙවී ගිය මැයි මාසයට අදාළ කතාව පමණි. ගෙවුණු මාස පහක කාලය ගතහොත් එකී තත්ත්වය තවත් ඉහළ යෑම අනිවාර්ය ය. අද පාතාලය මෙතරම් ශක්තිමත්ව ඇත්තේ ඇයි? මෙය මර්දනය කළ නොහැකිව තිබෙන්නක්ද? අතීතයේ සිටි ගමේ චණ්ඩි පරයා මතුවූ මෙරට පාතාලය යනු මීට දශක හතරකට පමණ ඉහතදී සමාජගත විය. එදා සිට මෑතක් වන තුරුම අද මෙන් පාතාලයෝ වරින් වර මතුවෙමින් ක්‍රියාත්මක වූහ.

එහිදී විවිධ පාතාල කල්ලි අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් විශාල පිරිසකට පරලොව යන්නට සිදුවූ අතර ඇතැම් අවස්ථාවල පාතාල හෙවත් සංවිධානාත්මක අපරාධ ජාලයේ සාමාජිකයන්ව සිටි කුලී ඝාතකයන්ගේ වෙඩි උණ්ඩවල ගොදුරු බවට පත්ව නිරායුධ අහිංසකයෝද මියගියහ. පාතාලයේ මතුවීමත් සමඟ එකී අතීතයේ සිටම මෙරට සමාජය තුළ මරණය එසේ සිල්ලර වෙද්දී තත්ත්වය පාලනය කිරීමට ආරක්‍ෂක අංශ සහ පොලිසිය දියත් කළ මෙහෙයුම්වලදී පොලිස් වෙඩි කා පරලොව ගිය පාතාලයන්ද රාශියකි.

හෙරොයින් මත්ද්‍රව්‍ය හෙවත් කුඩු ජාවාරම යනු එකී දශක හතරක් පමණ වූ දිගු අතීතයේ සිටම මෙරට පාතාලය හා බද්ධව තිබුණකි. බොහෝ විට විවිධ පාතාල කල්ලි අතර එකිනෙකා මරා ගන්නා තැන දක්වාම ගැටුම් ඇතිවූයේද කළු සල්ලි උල්පතක් වූ හෙරොයින් ජාවාරමේ ඔටුන්න එකෙකු සතු කර ගැනීමේ ලෝබය නිසාය. අදටත් එය එසේම සිදු වන්නකි. එය කෙසේ වෙතත් අතීතයේදී පාතාලයෝ ගැටෙමින් ගිනි අවි පත්තු වෙද්දී කඩිනමින් එකී අපරාධවල සුලමුල සොයා ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ. ඇතැම් අවස්ථාවල අපරාධය සිදුකළ කල්ලිය විසින්ම ප්‍රහාරය සිය කල්ලිය විසින් සිදු කළ එකක් යැයි ප්‍රචාරය කළේය.

සිය කල්ලියේ බලවත්කම සෙසු පාතාල කණ්ඩායම් වෙත දැනුම් දීමේ උපක්‍රමයක් ලෙසින් එය සිදු කෙරිණි. අතීතයේ එසේ වුවද පසුකාලීනව එය වෙනසකට ලක්විය. යම් ඝාතනයක් සිදු කෙරුණු කල්හි එය සිදු කළ වුන් සැඟව ගිය අතර ඝාතකයන් කවුරුන් දැයි දැන සිටියෝ සෙසු පාතාල කණ්ඩායම්ම පමණක් වූහ. ඒ ඒ කල්ලිවල ඔත්තු සේවාවන් මගින් සැබෑ තතු අනාවරණය කරගනු ලැබුවද ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරය තෝරා ගැනීම මිස එම තොරතුරු පොලිසිය හෝ ආරක්‍ෂක අංශ වෙත ලබා දීමට පාතාල කල්ලි ක්‍රියා නොකළහ. එහිදී පොලිසිය හෝ ආරක්‍ෂක අංශ යම් තොරතුරක් අනාවරණය කරගත්තේ නම් එය සිදු කෙරුණේ බුද්ධි නිලධාරීන්ගේ කැපවීම මත විය.

එහෙත් පසුකාලීනව ජංගම දුරකථන මෙරට තුළ ප්‍රචලිත වීමත් සමඟ සියල්ල උඩු යටිකුරු වූයේ මෙරට පාතාල කුඩු ජාවාරමුන්ද නොසිතූ අන්දමිනි. යම් අපරාධයක් සිදුවූ කල්හි දෙදිනකටත් පෙර එහි සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසිය සහ ආරක්‍ෂක අංශ එහිදී සමත් විය. අපරාධයක් හෝ බිහිසුණු මිනිස් ඝාතනයකින් පසු ක්‍ෂණිකව ජංගම දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා නිරීක්‍ෂණය කිරීම එහිදී විමර්ශන නිලධාරීන්ගේ කාර්යය විය. එමගින් පොලිසිය හා ආරක්‍ෂක අංශ ඉතා දක්‍ෂ ලෙස තොරතුරු අනාවරණය කරගැනීමට කටයුතු කළේය. එහිදී අපරාධය සිදුවූ ප්‍රදේශය කේන්ද්‍රීයව දුරකථන කුලුනු අනුව යමින් එම ප්‍රදේශය තුළ සහ ඉන් පිටතට සිදු කෙරුණු දුරකථන පණිවිඩ දසදහස් ගණනක් නිරීක්‍ෂණය කරමින් ඉතා වෙහෙසකර විමර්ශනයක යෙදෙන්නට විමර්ශක නිලධාරීහු කටයුතු කළහ. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා වෙඩි තබා ඝතානය කිරීමෙන් පසු එම ඝාතනයේ මහ මොළකරු පොට්ට නවුෆර් බවට විමර්ශන නිලධාරීන් එදා අනාවරණය කරගනු ලැබුවේ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන සිදු කරමිනි. එය මෙරට තුළ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ යමින් අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රථම විමර්ශනයද විය.

දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ යමින් අපරාධකරුවන්ට එරෙහිව නඩු පවරා නීතියෙන් දඬුවම් ලබා දීමට පොලිසිය කටයුතු කළ ප්‍රථම අවස්ථාවද එය වන්නේය. එදා එකී විමර්ශන ක්‍රමවේදය මුල් වරට පොලිසිය හඳුන්වා දෙනු ලැබුවේ එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වූ සරත් ජයමාන්න මහතාය. මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්කුඩු ජාවාරම ඇතුළු විවිධ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී මෙකී දුරකථන දත්ත වාර්තා ඔස්සේ විමර්ශන ඉදිරියට ගෙන යෑම අද වන විට පොලිසිය ක්‍රියාත්මක කර තිබෙන ඉතා ප්‍රමුඛ විමර්ශන ක්‍රමවේදයක් බවටද පත්ව තිබෙන්නකි. එහෙත් පොලිසිය එසේ දුරකථන දත්ත වාර්ත ඔස්සේ විමර්ශන සිදු කරන බව අනාවරණය වීමත් සමඟ පාතාල අපරාධකරුවන් පසුගිය කාලයේ එයට පිළියමක් ලෙස එක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි.

හැඳුනුම්පතක් තිබේ නම් ඕනෑම අයකුට දුරකථන සිම්කාඩ් පතක් ගැනීමට ශ්‍රී ලංකාව තුළ ඉතා පහසුය. සිම් කාඩ් පත ගනු ලබන තැනැත්තා හැඳුනුම්පතේ හිමිකරු වියයුතු නැත. අදාළ පාර්ශ්වවලට අවැසිව ඇත්තේ සිම්පත් අලෙවි කිරීමය. එහෙයින් පාතාල මැරයකුට සිම් කාඩ් පත් අලෙවි කරනු ලබන ස්ථානයකින් සිය මැර බලයද සමඟ වෙනත් ඕනෑම අයකුගේ හැඳුනුම්පතකට සිම් කාඩ් පතක් ගත හැකිය. ඒ අනුව පොලිසියේ දුරකථන දත්තා වාර්තා උගුලෙන් ගැලවීම සඳහා පසුකාලීනව පාතාලයන් සහ කුඩු ජාවාරමුන් ඇතුළු අවර සමාජයේ බොහෝ පිරිස් කරනු ලැබුවේ මියගිය අයකුගේ හැඳුනුම්පතකට සිම්පතක් ගෙන අලුතින්ම ලබා ගත් කුඩා දුරකථනයකට එය දමා ගැනීමය.

ඉන් පසුව බිහිසුණු අපරාධයක් සිදු කිරීමේදී අදාළ දුරකථනය යොදාගෙන සියලු සැලසුම් සිදු කළ පාතාලයා අපරාධය සිදු කිරීමෙන් පසුව කරනු ලැබුවේ දුරකථනයද සමඟින් සිම්පත් ගඟකට හෝ වෙනත් දිය පහරකට දැමීමය. එහිදී අපරාධය පිළිබඳ විමර්ශන සිදු කරමින් දුරකථන දත්ත වාර්තා ඔස්සේ ඉදිරියට ගිය පොලිසියට හෝ යම් විමර්ශන කණ්ඩායමකට අවසානයට හමුවූයේ මියගිය පුද්ගලයකුගේ තොරතුරය. ඒ වන විට අදාළ ජංගම දුරකථනයද විනාශ කර දමා ඇති බැවින් ඉන් එහා ගමන් කිරීම විමර්ශන කණ්ඩායම්වලට අසීරු විය.

එහෙත් මේ වන විට එම ක්‍රමය යල්පැන ගිය එකක් බවට පත්ව ඇත. වර්තමානයේ තාක්‍ෂණය ඉතා දියුණුය. නවීන ස්මාර්ට් ජංගම දුරකථනයක් අතේ තිබීම යනු යමෙකුගේ අතට මුළු ලෝකයම මිටි මොළවා ගත්තාක් වැනි තත්ත්වයකට අද තාක්‍ෂණය ගමන් කර අවසන්ය. ඒ අනුව වර්තමානයේ පාතාල කුඩු ජාවාරමුන් විමර්ශන කණ්ඩායම්වලින් බේරී සිය අපරාධ සහ ජාවාරම් සිදු කිරීමට යොදාගෙන ඇති ක්‍රමවේද ද ගණනාවක් තාක්‍ෂණය සමඟ ඔවුන් අතට ගොස් අවසන්ය. යම් අපරාධායකදී ඔවුහු අද දවසේ පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා එකිනෙකා සම්බන්ධ වනුයේ අන්තර්ජාලය ඔස්සේය.

අන්තර්ජාලය ඔස්සේ සබඳතා ඇතිකරගෙන අදහස් හුවමාරු කළ හැකි ඉමෝ, වට්ස්ඇප්, බොටිම්, ටෙලිග්‍රෑම්, ආදී වශයෙන් ඇති දුරකථන යෙදුම් ගණනාවක් ඔවුහු ඒ සඳහා යොදා ගනිති. එහිදී දුරකථන දත්ත වාර්තා ඔස්සේ යමින් අදාළ යම් අපරාධයක තොරතුරු අනාවරණය කරගැනීමට විමර්ශන කණ්ඩායම්වලට අසීරුය. අදාළ ජංගම දුරකථන යෙදුම් භාවිතයේදීද යම් ගැටලුවක් මතුවේ යැයි ඇති සැකය හමුවේ මේ වන විට බොහෝ සංවිධානාත්මක අපරාධකරුවන් අපරාධයක් සැලසුම් කිරීමේදී එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමට යොදා ගන්නා තවත් ප්‍රකට ක්‍රමයක් වී තිබෙන්නේ මුහුණු පොත ඔස්සේ මැසෙන්ජර් භාවිතයෙන් සම්බන්ධ වීමය.

ජංගම දුරකථනයක් ගෙන මුහුණු පොතේ ව්‍යාජ ගිණුමක් සකස් කරගන්නා අපරාධකරුවෝ ඒ ඔස්සේ සියල්ල සැළසුම් කරති. අවසානයේ අපරාධය සිදුකර මුහුණු පොතේ වූ අදාළ ගිණුම අහෝසි කරනු ලබන ඔවුහු දුරකථනයද වීසි කර දමති. පසුගිය කාලයේ මාකඳුරේ මදුෂ් මෙම ක්‍රමය සිය ඝාතන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී බහුලව යොදා ගනු ලැබීය. සංවිධානාත්මක පාතාල අපරාධකරුවකුට හෝ කුඩු ජාවාරම්කරුවකුට රුපියල් හැට හැත්තෑ දහසක් වටිනා ජංගම දුරකථනයක් විනාශ කර දැමීම යනු සොච්චම් වැඩකි. එහිදීද පොලිසියට හෝ විමර්ශකයනට දුරකථන දත්ත ඔස්සේ විමර්ශන ඉදිරියට ගෙන යෑමට නොහැකිය. එය ඉතා අසීරු කාර්යයකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කී පරිදි ගෙවී ගිය මැයි මාසය තුළ දකුණ සහ බස්නාහිර පළාත් කේන්ද්‍රීයව වෙඩි තැබීම් 26 ක් සිදුවී පුද්ගලයන් 19 දෙනකු ඝාතනයට ලක්ව තිබියදී අද ඒ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කිරීමේ ගැටලුවකටද පොලිසිය මුහුණ දී සිටී. මේ බොහොමයක් වෙඩි තැබීම් සහ ඝාතනවලදී ඝාතකයන් සාමාන්‍ය දුරකථන භාවිත කර ඇති බව පොලිසියට අනාවරණය වුවද එකී දුරකථන දත්ත ඔස්සේ විමර්ශන ඉදිරියට ගෙන යෑමේදී අවසානයේ එහි කෙළවර විදේශීය ඇමතුමකින් අවසන්ව තිබීම එයට හේතු වී තිබේ.

මෙරට සිටි අති බහුතරයක් පාතාල අපරාධකරුවන් සහ ජාවාරම්කරුවන් අද වන විට සිටිනුයේ විදේශගතවය. ඔවුහු මේ වන විට සියලු මිනිස් ඝාතන සහ අපරාධ සැළසුම් කරනුයේ විදේශගතව සිටිමිනි. ඝාතකයන් හෝ අනෙකුත් කණ්ඩායම් ක්‍රියාත්මක වන්නේ එකී විදේශගත පාතාල කෙරුමන්ගෙන් ලැබෙන උපදෙස් අනුවය. මේ අනුව අපරාධය පිළිබඳ විමර්ශන සිදු කිරීමේදී දුරකථන දත්ත ඔස්සේ ඉදිරියට යන පොලිසියට අවසානයේ හමුවන්නේ විදේශීය අංකයකි. එකී ඇමැතුම සම්බන්ධ වී ඇත්තේද රෝමින් තාක්‍ෂණය ඔස්සේය. එම තත්ත්වය තුළ ඉන් ඉදිරියට යෑමට පොලිසියට හෝ විමර්ශන කණ්ඩායම්වලට නොහැකිය. මේ තුළින් කියැවෙමින් තිබෙන්නේ කුමක්ද? අතීතයේ ආරම්භක යුගයට පසුව මෙරට පාතාලයේ නරුමයන් ජංගම දුරකථන ප්‍රචලිත වනතුරු සැඟව සිටියාක් පරිදි නැවතත් පොලිසිය හෝ විමර්ශන කණ්ඩායම්වලට අභියෝගයක් ලබාදී තිබෙන බව නොවේද? ඉකුත් මැයි මාසය තුළ දකුණේදී සිදුවූ වෙඩි තැබීම්වලට සම්බන්ධ අපරාධකරුවන් රුසක තොරතුරු පැහැදිලිව අනාවරණය කර ගැනීමට එකී අභියෝගය හමුවේ මේ වන විට පොලිසියට නොහැකිව ඇත.

එසේ වී තිබෙන්නේ නිලධාරීන්ගේ අදක්‍ෂතාව නිසා නොව අපරාධකරුවන් සහ පාතාල කෙරුමන් අතට තාක්‍ෂණය ළඟාවීම නිසාය. ඔවුහු එයින් උපරිම ප්‍රයෝජන ගිනිමින් සිටින්නාහ. මේ මොහොතේ රට තුළ සිදුවන ඝාතන රැල්ලට තිත තැබීමට නම් දැන් අප කළ යුතුව ඇත්තේ කුමක්ද? රජය වහා මැදිහත් වී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යොදා ගනිමින් සියල්ලට පෙර විදේශගතව සිටින පාතාල කෙරුමන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇත. එය කඩිනමින් සිදු නොවුණහොත් සියල්ල සිදු වන අන්දම දෙස බැලූ විට මේ බිම චිකාගෝවක් වීමට වැඩි දවසක් ගත නොවනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා වෙහෙසකර වගකීමක් උරමත දරමින් අර්ථික වශයෙන් පණ අදිමින් සිටි දේශයට යළි හුස්ම දෙමින් සිටියදී ශ්‍රී ලංකාවේ හෙට දවසේ ඉරණම එවැන්නක් විය යුතුද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment