අස්ථි කොටස් හා කොටි ඇඳුම් හමුවූ කොක්තුඩුවායි මඩිවල කැණීම් ජුලි 06 දා ආරම්භ කරන ලෙසට නියෝග

224

මුලතිව් කොක්තුඩුවායි මඩි ප්‍රදේශයේදී අස්ථි කොටස් හා කොටි කතුන්ගේ ඇඳුම් කොටස් හමුවූ ස්ථානයේ කැණීම් කටයුතු එළැඹෙන 06 දා ආරම්භ කරන ලෙස මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතා කෝකිලායි පොලිසියට නියෝග කොට තිබේ.

මෙම ස්ථානය එල්. ටී. ටී. ඊ. සංවිධානයේ කාන්තාවන්ගේ සමූහ මිනී වළක් වන්නට ඇති බවට මූලිකව හඳුනාගෙන ඇති අතර එම ස්ථානයේ තිබී කොටි සාමාජිකාවන් කීපදෙනකුගේ බවට සැක කෙරෙන අස්ථි කොටස්, නිල ඇඳුම් හා ස්වයංක්‍රීය ගිනි අවි සඳහා භාවිත කරන පතුරම් ඇතුළු ද්‍රව්‍ය කීපයක් හමුව තිබේ.

ජාතික ජලාපවහන මණ්ඩලයේ සේවකයන් මෙම ස්ථානයේ සිය නළ පද්ධතියක් එළීම සඳහා වළක් හාරමින් සිටියදී මෙම අස්ථි කොටස් ඇතුළු ද්‍රව්‍ය හමුව ඇති අතර ඒ අනුව පොලිසියට සිදුකළ දැනුම්දීමකට අනුව පොලිසිය අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂා කොට එම ස්ථානය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කොට තිබේ.

පොලිසිය මෙම ස්ථානයේ තවත් සැක කටයුතු දෑ පැවතිය හැකි බවට සැකකරනු ලබන අතර ඒ පිළිබඳ මුලතිව් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිසි ක්‍රමවේදයක් ඔස්සේ මිනී වළේ කැණීම් කටයුතු සිදුකරන ලෙසත් එතෙක් අදාළ ස්ථානයට ආරක්ෂාව සපයන ලෙසත් මුලතිව් මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment