ගෝ ගෝඨා ගෝ ව්‍යාපාරය, පෙරටුගාමීන් සහ දේශපාලන සුනාමියට හසුවූ පාර්ලිමේන්තුව !

1066

වර්තමාන ආර්ථික, දේශපාලන සහ සමාජීය අර්බුදය සමනය කිරීමට ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ විපක්ෂ කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවට අගමැති මහින්ද රාජපක්ෂ පිළිතුරු දී ඇත. එම යෝජනාව අගමැතිවරයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා යැයි කීවත් වරදක් නැත.

අගමැතිවරයා අවධාරණය කළේ ආණ්ඩු කණ්ඩායමට පාර්ලිමේන්තුවේ දී නායකත්වය දීමට තවමත් ශක්තිය තිබෙනවා බවයි. තමන් තවමත් පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වයේ රැඳී සිටින බවයි. අගමැතිවරයා අප්‍රේල් 11 වැනි දින රෑ 7.30ට කළ ප්‍රකාශයේ අතිශය වැදගත්. ඔහු දුන් පොරොන්දුවයි. දවස් දෙක තුනකින් බැරිවුණත් හැකි ඉක්මනින් අර්බුදයට යන ගමන නවත්වන්ට අපි කටයුතු කරනවා යැයි අගමැතිවරයා අවධාරණය කළේය.

නමුත් රට අර්බුදයට පත්වී ඇත. ඒ අර්බුදය පුපුරා ගියේ මාර්තු මාසයේ 31වැනි දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පැඟිරිවත්ත පාරේ, මිරිහානේ පිහිටි පෞද්ගලික නිවාසය ඉදිරිපිටය.

අගමැතිවරයාගේ ප්‍රකාශය ඉතාමත් පැහැදිලිය. නමුත් පොහොට්ටු ආණ්ඩුවේ කැරලිකාර කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවට පටහැනිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග අප්‍රේල් 10 වැනි දින රාත්‍රියේ පැවැති සාකච්ඡාවක දී ශ්‍රී.ල.නි.ප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කළේය. ඔහු ඉදිරිපත් කළ යෝජනාවේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සම්බන්ධයෙන් තිබෙන්නේ ඔහුව එම ධුරයෙන් ඉවත් කර වෙනත් කිසිදු පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජපක්ෂවරයකු නොමැතිව අන්තර් වාර පාලනයක් පිහිටුවිය යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ එම අන්තර්වාර පාලනයේ ප්‍රධානත්වය දැරිය යුතු බවත් ප්‍රකශ කර ඇත. පොහොට්ටු ආණ්ඩුවේ විකල්ප කණ්ඩායම තම ස්ථාවරය පැහැදිලි කර ඇත. එම ස්ථාවරය සහ අගමැතිවරයා ප්‍රකාශ කළ ක්‍රියාමාර්ගය එකිනෙකට ගැළපෙන්නේ නැත. නව අර්බුදයක් නිර්මාණය වී ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර ඇත. දෙවරක් ජනාධිපති ධුරය දැරූ බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ නොමැති කැබිනට් මණ්ඩලයක් පිළිබඳව සිතීමට පවා අපහසුය. නමුත් රට අන්ත අසරණ වී ඇති මෙම අවස්ථාවේ දී වර්තමාන අගමැතිවරයාව එම තනතුරෙන් ඉවත් කිරීමට යෝජනා කිරීම අවධාරණය කරන්නේ අතිශය බරපතළ තව දුරටත් වර්ධනය වෙමින් පවතින අර්බුදයයි. නමුත් විකල්ප කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනාව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රතික්ෂේප කිරීම තුළ ගම්‍ය වන්නේ අර්බුදය ඉතාමත් අයහපත් දේශපාලන මාර්ගයකට අවතීර්ණ වී ඇති බවයි.

මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේ 2020 ඔක්තෝබර් මාසයේ නීති පොතට එකතු කළ 20 වැනි සංශෝධනය අහෝසි කර නැවතත් තමන් එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂවල සහයෝගයෙන් හඳුන්වාදුන් 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළයුතු බවයි. ශ්‍රී ලංකාවේ දේශපාලනය පුදුමාකාරය. කවුරු බලයේ සිටියත් , කුමන පක්ෂ විපක්ෂ ක්‍රියාත්මක වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරු පහේ දේශපාලනයේ අර්බුද මෙන්ම විසඳුම් ද යම් අවස්ථාවල දී තේරුම් ගැනීමට නොහැකිය. නැවතත් 19 වැනි සංශෝධනය ගෙන ඒම වර්තමාන අර්බුදය විසඳීමට උදව්වක්වන බවට සිතීම පවා අදහා ගැනීමට බැරිය. නමුත් මෙම අර්බුදකාරී තත්ත්වය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලට එම දේශපාලන ප්‍රවාහය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමට සිදුවී ඇත.

ශ්‍රී ලංකාව මීට පෙර දැක නැති දේශපාලන පිපිරීම (‘ගෝ ගෝඨා ගෝ ) මෙහෙයුම/ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපස පිහිටුවා ඇති මෙහෙයුම් ස්ථානය ‘ගෝඨා ගෝ ගම’ ) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ආරම්භ වුවත් එය දින කීපයක් තුළ සමස්ත දේශපාලන ව්‍යුහයට ම පහර දී ඇත. ‘ගෝ ගෝඨා ගෝ’ මෙහෙයුම සහ ආණ්ඩුවේ විකල්ප කණ්ඩායම ඉදිරිපත් කරන යෝජනාවලිය අතර ප්‍රධාන වෙනස ජනාධිපතිවරයා සම්බන්ධයෙන් බව පෙන්වා දියයුතුය. ‘ගෝ ගෝඨා ගෝ’ මෙහෙයුම ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම රාජපක්ෂවරුන්ට එරෙහිවවන අතර විකල්ප කණ්ඩායම ජනාධිපතිවරයා පිළිගැනීමට සූදානම්ය. එම කණ්ඩායම අනෙකුත් රාජපක්ෂවරුන් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන්ට වෙන විකල්පයක් නැත. අර්බුදය බරපතළය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ මුහුණ දෙන බරපතළම අර්බුදය ‘ගෝ ගෝඨා ගෝ’ මෙහෙයුමයි.

එම අභියෝගය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පමණක් නොවේ. විධායකය , ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ක්‍රියාත්මක ආකාරය පිළිබඳව ‘ගෝ ගෝඨා ගෝ’ මෙහෙයුම අවධානය යොමුකර ඇත. එය ජනතා ව්‍යාපාරයක් ලෙස පමණක් හැඳින්වීම සාධාරණ නොවේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් ‘ගෝ ගෝඨා ගෝ’ මෙහෙයුමේ නැත. පාර්ලිමේන්තුව නියෝජනය කළ කිසිදු මැති ඇමතිවරයෙක් එම මෙහෙයුමේ නැත. ඇත්ත වශයෙන්ම ඔවුන්ට ‘ගෝඨා ගෝ ගම’ පැත්ත පළාතේ ඒමට අවස්ථාවක් නැත. වර්තමාන ආණ්ඩුවෙන් තනතුරු තානාන්තර ගත් සංජිවනී වීරසිංහ ගායිකාවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහිව ලොස් ඇන්ජලිස් නුවර පැවැති විරෝධතාවයකට එක්වීමට එහි සිටි කණ්ඩායම ඉඩ දුන්නේ නැත. ඇයව එලවා දැමුවා ය. ‘ගෝ ගෝඨා ගෝ’ මෙහෙයුමේ දී සිටින කණ්ඩායමේ ස්ථාවරය ද එයමය. පොහොට්ටු ආණ්ඩුවට ගෑවුණු කිසිවෙක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට ‘ගෝ ගෝඨා ගෝ’ මෙහෙයුමේ අද ඉඩක් කඩක් නැත. එම කණ්ඩායමේ විරෝධතාවය විධායක ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුව මෙතුවක් කල් නියෝජනය කරන සියලුම දේශපාලන ප්‍රවාහයන්ට එරෙහිවය. ඒ අනුව පාර්ලිමේන්තුවේ එක අසුනක් පමණක් හිමි එජාපයට හෝ ආසන 54 හිමි සමගි ජන බලවේගයට ද ඉඩක් නැත. ජවිපෙ ද අවශ්‍ය නැත. ආණ්ඩුවේ පක්ෂ සහ කණ්ඩායම් 11කින් සමන්විත විකල්ප කණ්ඩායමට හෝ මැතක දී වෙනම ම ක්‍රියාත්මකවන බවට ප්‍රකාශයක් කළ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට ‘ගෝ ගෝඨා ගෝ’ මෙහෙයුමේ ඉඩක් නැත. එම සියලුම පක්ෂ සහ කණ්ඩායම් ‘ගෝ ගෝඨා ගෝ’ නායකත්වය ප්‍රතික්ෂේප කර ඇත.

ගාලු මුවදොර නැතහොත් ‘ගෝඨා ගෝ ගම’ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලට තහනම් ප්‍රදේශයක් බවට පත්වී ඇත. එවැනි තත්ත්වයක් තුළ සමස්ත දේශපාලන ව්‍යුහයම අන්දමන්ද කළ ජනතා මෙහෙයුම සමග ක්‍රියාත්මක වන්නේ ජවිපෙන් කැඩී ගිය ‘පෙරටුගාමි’ පක්ෂය බව අවධාරණය කළ යුතුය. ඉදිරිපෙළ මෙහෙයුමේ දී සිටින විශ්වවිද්‍යාල සිසුන්ගෙන් අති බහුතරය ‘පෙරටුගාමී’ පක්ෂය නියෝජනය කරයි.

මෙහෙයුමේ ගමන් කරන දිසාව පැහැදිලිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය බින්දුවට ම දැමීමට වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් ‘ගෝ ගෝඨා ගෝ’ ව්‍යාපාරයට අවශ්‍ය නැත. සමාජ මාධ්‍ය ජාලා ඉතාමත් ප්‍රබල ලෙස උපයෝගී කරගෙන ක්‍රියාත්මක ‘ගෝ ගෝඨා ගෝ’ ව්‍යාපාරයට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබී ඇත. කිසිදු තලයක ව්‍යුහාත්මක දේශපාලන අධිකාරියක ක්‍රියාත්මක නොවන කුමාර් ගුණරත්නම් ගේ පෙරටුගාමී පක්ෂය ශ්‍රී ලංකා දේශපාලනය උඩු යටිකුරු කර ඇත. පෝලිම් යුගය ඇතිවීමට වගකිවයුතු සමස්ත ස්ථාපිත දේශපාලන ව්‍යුහයට එරෙහිව ‘පෙරටුගමින්’ සහ ජනතාව අපූරු මෙහෙයුමක් දියත් කර ඇත.

මිරිහානේ විරෝධතාවය ආණ්ඩුව සෙලවූයේ මාර්තු 31 දිනය. ඉන් පැය 72ක් තුළ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු රජයේ ප්‍රබල මැති ඇමතිවරුගේ පෞද්ගලික නිවාස වට කළේය. අනුරාධපුරේ පේනකාරි ඥානා අක්කගේ නිවාසය ද විරෝධතාකරුවන් වට කළේය. ඇත්ත වශයෙන්ම රට කරවන ඇත්තන්ට ඇය නිවැරදි ‘තොරතුරු’ සැපයුවේනම් අප්‍රේල් 09 වැනි දින ආරම්භ වූ ‘ගෝ ගෝඨා ගෝ’ ව්‍යාපාරය ව්‍යාර්ථ කිරීමට තිබුණි.

ආර්ථික ව්‍යසනය හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහට දේශපාලන පිටියේ නව අවස්ථාවක් ඇති කර කරන බවට විශ්වාස කළ එජාපයට ද වැරදිනි. වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වනු දැකීම පිළිබඳව එජාපයේ යම් කොටසක් සිහින මැවීය. අද ඒ සිහිනය බොඳවී ඇත. බලය නැති වූ විට නැවතත් ජනතා විශ්වාසය දිනාගැනීම පහසු නැත. ගෝඨා ගෝ’ ව්‍යාපාරය අවධාරණය කරන්නේ එයයි. තිත්ත ඇත්ත එයයි. එජාපය ‘ගෝ ගෝඨා ගෝ’ ව්‍යාපාරය සම්බන්ධයෙන් එක්තරා ආකාරයකට විරුද්ධවාදී මතයක් පළ කරන්නේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රබලම මහජන නැඟිටීම කිසිදු ආකාරයකින් කළමනාකරණය කිරීමට තමන්ට අවස්ථාවක් නොමැති තත්ත්වයක් තුළය. රනිල් වික්‍රමසිංහ ගාලු මුවදොර ක්‍රියාත්මක විරෝධතාවය සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ අසරණ වී ඇත. කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පක්ෂ 15ක් නියෝජනය කරන 225ට ම යාන්තමින් හෝ ‘ගෝ ගෝඨා ගෝ’ ව්‍යාපාරයට සම්බන්ධ වීමට නොහැකි වීම විශේෂිත තත්ත්වයකි. ලියුම්කරු මෙම අදහස ඉදිරිපත් කරන්නේ එම ව්‍යාපාරය විධායක ජනාධිපතිවරයාට පමණක් එරෙහිව ක්‍රියාත්මක නොවන බව පෝලිම්වල පීඩාවට පත්වී ජනතාව ඇද වැටී මියයන තත්වයක් තුළය. ආණ්ඩුවේ මෙන්ම පෞද්ගලික රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග, විශේෂයෙන්ම ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය බෙහෙත් සහ උපකරණ හිඟයක් ඇති වී තිබෙන තත්ත්වයක් යටතේය.

සිංහල සහ ද්‍රවිඩ අලුත් අවුරුද්ද සැමරීමට රූපවාහිනී නාලිකා පෙන්වන පටිගත කළ වැඩසටහන් වර්තමානයේ ජනතාව මුහුණ දෙන තත්ත්වය සමග ගැළපෙන්නේ නැත. අප ඉතිහාසයේ පළමුවරට 225න් අති බහුතරයකට අවුරුදු උත්සවවලට සහභාගී විය නො හැකිය. පසුගිය අවුරුදු සමයේ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයන් සහ නියෝජිතවරියන් අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වූවා ඔබට මතක ඇත. ඒ සෙල්ලම් මෙවර සජීවීව බැරිය. පටිගත කළ වැඩසටහන් පෙන්වීම ජනතා කෝපයට හේතුවිය හැකිය. බොරු ‘ෂෝක්’ ජනතාවට අරහන්ය.

‘ගෝ ගෝඨා ගෝ ’ සහ ‘ගෝඨාභය ඕනෑ ‘ මෙහෙයුම් අතරේ මාර්ග පාපැදි තරග පැවැත්වීම අතිශය අනතුරුදායකය. පසුගිය වසරේ සුබ නැකතින් කළ කිසිදු කටයුත්තක් බහුතර ජනතාවකට ඵලදරා නැත. මාසයකට වැඩි කාලයක් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා නොමැතිකමින් අව්වේ සහ වැස්සේ පීඩාවට පත්වූ ජනතාව සුබ නැකත් තවදුරටත් විශ්වාස කරනු ඇද්ද? සුබ නැකතින් බැංකු සමග ගනුදෙනු කළ ජනතාවට ද කීමට ඇත්තේ එයමය. තව දුරටත් විකාර වැඩවලට, දේශපාලන විජ්ජාවලට නොරැවටෙන ලෙස වර්තමාන ජනතා කැරැල්ල සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට බල කරයි.

ජනතාව දූෂිත දේශපාලන පක්ෂ ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. වර්තමාන විරෝධතා හමුවේ පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලීම මෙතුවක් කල් කළ දූෂිත, ජනතාවාදී නොවන ක්‍රමයේම කොටසකි. ජනතාව රැවටීමකි. එක දූෂිත අකීකරු ආණ්ඩුවක් පරාජයට පත්වනවිට තවත් දූෂිතයන් පිරිසක් බලයට පත්වෙති. පෙර වැරදි පරයමින් මහජන මුදල් කොල්ල කති. ජේ. ආර් . ජයවර්ධන 1978 ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ පසු සිදුවී තිබෙන්නේ තට්ටු මාරු ක්‍රමයට මහජන මුදල් මංකොල්ල කෑම නොවේ ද? එජාපය බලයේ සිටිනවිට සිදු කළ මහා බැංකු බැඳුම්කර කොල්ලය ශ්‍රී ලංකාවේ සිදුවූ එකම මහා වංචාව නම් ජනතාවට ඉවසිය හැකිය. නමුත් එසේ නැත. පොදු ව්‍යාපාර කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු ‘මුර බල්ලන්’ කලින් කලට කර ඇති හෙළිදරව් සම්බන්ධයෙන් නීතිපතිවරයා සාධනීය පියවර ගත්තේනම් අද ‘ගෝ ගෝඨා ගෝ ’ , ‘ගෝඨා ගෝ ගම’ හෝ ‘ගෝඨාභය ඕනෑ ’ අවශ්‍ය නැත. ශ්‍රී ලංකාව අස්ථාවර නැත. කෘතහස්ත දේශපාලන නායකයකුවූ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර ලියුම්කරු සමග මෑතක දී පැවසුවේ ජනතා නැඟිටීම ආරම්භ විය, යුතුව තිබුණේ ජනතා අපේක්ෂාවන් ඉවත දැමූ, ගණපූර්ණය පවා පවත්වාගැනීමට නො හැකි පාර්ලිමේන්තු පරිශ්‍රයේ බවයි. සිංහල සහ ද්‍රවිඩ අවුරුද්ද යාන්තමින් හෝ සැමරීමට ජනතාවගෙන් 99%ක් අවස්ථාව අහිමි කළ සමස්ත දේශපාලන ව්‍යුහයම ගෙදර යැවිය යුතුය. සිංහල සහ ද්‍රවිඩ අලුත් අවුරුද්දට ක්‍රීඩා පැවැත්වීමට අවශ්‍ය නම් අවංක මහජන නියෝජිතයකු සෙවීමට තරඟයක් තැබිය හැක. තීරු බදු සහනය යටතේ ආනයනය සැප වාහනය කිසිදා විකිණුවේ නැති එකෙකු සෙවිය හැක. එය අපූරු තරගයක් වෙනවා නො අනුමානය. බිරිඳ, තම දූ දරුවන් හෝ නෑදෑ, හිතමිතුරන් පෞද්ගලික කාර්ය මණ්ඩලයට පත් කිසිදා පත් නොකළ මහජන නියෝජිතයන් නම් කිරීම ද හාස්‍යජනක අවුරුදු ක්‍රීඩාවක් විය හැක.

නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ සිදු කළ විශාලත ම මහජන මුදල් කොල්ලය එජාපයේ මහා බැංකු බැඳුම්කර මංකොල්ලය ද (2015 සහ 2016) , පොහොට්ටු ආණ්ඩුවේ සුදු සීනි බදු වංචාව ද (2020) නැතහොත් වෙනත් වංචාවක් ද නම් කිරීමට කණ්ඩායම් ක්‍රීඩාවක් පැවැත්විය හැක. වැඩියෙන්ම මහජන මුදලින් විදේශ සංචාර ගිය සහ අඩුවෙන්ම පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වූ මහජන නියෝජිතයා නම් කළ හැකිය.

වැඩියෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ පවුල සෙවීමට තරගක් අවශ්‍ය නැත. ඒ ඒ ප්‍රශ්නයට පිළිතුර ගාලු මුවදොර රැව් පිළිරැව් දෙන බැවිනි.

සැඟවුණ අමුත්තා තේරීමේ තරඟයට හිටපු හෝ වර්තමාන මැති සබයේ නියෝජිතයකු දූෂිත දේශපාලනයට එරෙහිව පාරට පැමිණි ඇති ජනතාව අතරට යැවිය හැක. සමස්ත දේශපාලන විජ්ජාවට ම එරෙහිව ජනතාව පෙළගැසී ඇති මේ මොහොතේ එම තරඟය මාරාන්තික ක්‍රීඩාවක් බවට පත්විය හැක. අවසන්වරට අවධාරණය කළ යුතු වන්නේ සිංහල සහ ද්‍රවිඩ අලුත් අවුරුද්දෙන් පසුව සතිය වනවිටවත් පෞද්ගලික න්‍යාය පත්‍ර කුණු කූඩයට දමා තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ නාමයෙන් රට ස්ථාවර කිරීමේ මූලික අඩිතාලම දැමිය යුතු බවයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment