මිනිසා ජීවත් කරවීම උදෙසා සහ මිනිසා සවි බල ගැන්වීම පිළිබඳව මහජන මන්ත්‍රීවරයෙකුට කළ හැකි දේ බොහෝය. ලංකාවේ දේශපාලනය තුළ ජනතාව අසළින් සිටින මහජන මන්ත්‍රීවරයෙකු බිහිවීම කලාතුරකින් සිදු වන්නකි. ඉංග්‍රීසීන් විසින් බිහිකළ ප්‍රජාතන්ත්‍රවාදය සහ එය ලංකාවට ආදේශ කිරීම සිදු කළ ආකාරයේ පැවති විකෘති ස්වභාවය හේතු කොට ගෙන මන්ත්‍රීවරයෙකු නිතරම පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු බවට පත් වීම පමණක් සිදු විය. මන්ත්‍රීවරයා ජනතාවට ඉහළින් සිටි ප්‍රභූ චරිතයක් විය. ජනතාව ඉදිරියේ ඔහු වීරයෙකු හෝ සූරයෙකු නොවීය. සැමවිටම ගෞරව සම්ප්‍රයුක්තව දිදුලන චරිතයකට ලෙන්ගතු වීමට ජනතාවට නොහැකි විය. ඒ නිසා ඒ ප්‍රභූ චරිත වරින් වර දේශපාලන පිටියෙන් තුරන්දු විය.

බි්‍රතාන්‍ය සම්ප්‍රදායයන් මෙරට පැලපදියම් වීමට ප්‍රථම ගමේ නායකත්වය හෙබවූයේ ගමේ මුලාදෑණි තැන හෝ ගමේ ආරච්චිලය. බාහු බලයෙන් අනූන තේජස් සහිත පුරුෂයෙකු වූ බැවින් ගමේ සියලුම රාජකාරි සිදු කරන ලද්දේ ඔහුගේ මූලිකත්වයෙනි. ඒ නිසා සැමවිටම වීරත්වය ආරෝපණය විය. මේ චරිත ස්වභාවය බිහිවන්නේ අංගංඉළන්ගම් ආදී පැරණි සටන් ක්‍රමයන්හි නිපුණ වූ චරිතයන්ය. මේ වීරත්වය මෙන්ම ශූරත්වය ඉහළ නිලමේලාට මෙන්ම කෝරාළවරුන්ටද අත්‍යවශ්‍ය විය. ගමේ මඟුලකදී මරණයකදී නායකත්වය දෙන මෙවන් චරිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් බිහි නොවුණු අතර කලාතුරකින් බිහි වූ චරිතයක් ජනතා සේවකයෙකු ලෙසට ඉදිරියට යෑමේ දී ඇති වූ බාධක අපමණය. ජනතාවට විදුලි සැරයක් මෙන් වූ වීරත්වයෙන් හෙබියාවූ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා ද සැබෑ ජනතා නියේජිතයෙකු වූ බව නොබියවම කියන්නට හැකිය.

සහෝදර සහෝදරියන් අට දෙනෙකු ගෙන් යුත් පවුලක හත්වැනියාව උපන් පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා 1960 වසරේ දී උප්පත්තිය ලබා ඇත. ඔහුගේ පියා වූ තෝමස් තෙවරප්පෙරුම මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයෙකු වශයෙන් දෙවැනි ලෝක යුද සමයේ ශූරත්වය ප්‍රකට කළ පුද්ගලයෙතු විය. පසුව ලංකා ගමනාගමන මණ්ඩලයට සේවයට එකතු වන්නට ඇත්තේ සමසමාජ නායකයෙකු ලෙසින් ප්‍රකට අනිල් මුණසිංහ මහතා නිසාය. තෝමස් තෙවරප්පෙරුම මහතාගේ අභාෂය නිසැකවම පාලිත තෙවරප්පෙරුම මහතාට ලැබෙන්නට ඇත. ඒ නිසාම ඔහු තරුණ වියේ දීම නාවුක හමුදාවට එක් වී තිබුණි. කෙටි කලකින් එයට සමුදුන් පාලිත වාමාංශික දේශපාලනයට එක්විය. ඒ වන විට ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ශ්‍රියානන්ද තෙවරප්පෙරුම මහතා ක්‍රියාකාරී දේශපාලනයේ නියුක්තව සිටියේය. අනිල් මුණසිංහ මහතාගේ ආධාරකුරවකු වූ සිය වැඩි මහල් සහෝදරයා මෙන්ම පාලිත දේශපාලනයට එක් වූ අතර මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග දේශාපාලනයේ නිරත විය. අනතුරුව 2004 දී එවකට මතුගම එජාප සංවිධායකව සිටි මහින්ද සමරසිංහ මහතා සමග එක්ව ප්‍රාදේශීය සභා ඡන්දයෙන් තේරී පත්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත් විය. පාලිත තෙවරප්පෙරුම මහතා ජනතා නියෝජිතයෙකු විලස සිය කාර්ය භාරය උපරිම අන්දමින් ඉටු කරනුයේ මේ තනතුර ලැබීමෙන් පසුවය. මෙතෙක් සොහොන් පිටියක් ලෙසින් පැවති මතුගම සුසාන භූමිය සමතලා කොට අදාහනාගාරයක් බවට පත් කරන ලද්දේ පළාත් පාලන ප්‍රතිපාදන භාවිතා කරමිනි.

2008 වසරේ දී පළාත් සභාවට තේරී පත්වුණු පාලිත තෙවරප්පෙරුම මහතා 2010 දක්වා පළාත් සභා නියෝජිතයකු වශයෙන් කළුතර දිස්ත්‍රික්කයටම සේවය කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කළේය. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි කාලයේ දී සභාව සතු පස් කපන යන්ත්‍රයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට ඔහු සමත් විය. මං මාවත් නොමැති දුෂ්කර ගම්වලට අවශ්‍ය පාරවල් කැපීමේ දී ඔහු පුද්ගලිකව මැදිහත් විය. සරම කැහැපට ගන්වාගෙන ඩෝසර යන්ත්‍ර ක්‍රියාකරු සමග හරි හරියට වැඩ කිරීම ඔහුගේ සිරිත විය. ඕනෑම බරක් ඉසිලීමේ සමත්කම් ඇතිව සිටි පාලිත කාණු පල්ලට වැටී තිබූ වාහන සියතින්ම ගොඩ දැමූ වාර අනන්ත වෙයි. ඒ බාහු බලය ඔහුට ලැබුණේ සිය පියාගෙන් ලැබුණු ජානමය උරුමයෙන් විය යුතුය. අවුරුද්දට වරක් දෙවරක් ගං වතුරට යටවෙන කළුතර දිස්ත්‍රික්කයේ සෑම තැනකම අවතැන් වූ ජනතාවට ඔහු තරම් පිහිට වූ වෙන් කිසිවෙක් නැතිය. මතුගම පාන්තියේ පාළම අසල ගං වතුරට යට වූ අවස්ථාවේ දී ඔහු පොලිසියේ ද අණ නොතකා වීර වික්‍රමාන්විතව ජනතාව එතෙර මෙතෙර කිරීමට දුන් සහයෝගය කිසිදා අමතක කළ නොහැකි විය. 2010 දී පාලිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත් වී කම්කරු සහ සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍යවරයා විය. ඒ කාලයේ ඔහු පාර්මේන්තු සාමාජික භාවය ඉක්මවා ගොස් සැබෑ ජනතා සේවකයෙකු ලෙසට ජනතාව අසලින්ම සිටියේය. අනතුරුව සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි කාලයේ දී මතුගමට සංස්කෘතික මධ්‍යස්ථානයක් සාදා දීමට උත්සුක වූයේ ඔහුගේ ප්‍රතිපාදන යොදවමිනි. ඒ අතින් ඔහු සිය ජනතා නියෝජනය උපරිම අන්දමින් ඉටු කළ බව පැවසිය යුතුය. ප්‍රභූ දේශාපාලනය තුළ ඔහු චරිතයක් නොවුවද ජනතා හදවත් තුළ ඔහු නොමැකෙන චරිතයකි. සානුකම්පිත හදවත නිසා මඟුලකදී මරණයකදී පාලිත අසළින් සිටියේය. 2020 දී ඇති වූ දේශපාලන රැල්ලත් සමග මන්ත්‍රී ධූරයට සමු දුන් නමුත් පාලිතගේ සමාජ සත්කාර ජීවිකය වඩාත් ඉදිරියෙන් තිබූ බව මතක් කළ යුතුය. 1995 දී වලගෙදර මූනමල්වත්ත පාළම අසල දී ලංගම බසයක් පෙරළී ගඟට වැටීම නිසා විනාශ වන්නට ගිය ජීවිත බේරා ගැනීමට ඔහු ගත් වෙහෙස මෙහිදී සිහිපත් වේ. ඒ සිදුවීම් ක්‍රමයෙන් ජනතාවට අමතක වී ගියද විශේෂයෙන්ම පසුගිය කොරොනා සමයේ දී අසරණ වූ ජනතාවට සියතින් කෑම උයා දී ආහාර ගෙයින් ගෙට ප්‍රවාහනය කරමින් ඔහු කළ සේවය අමතක වන්නට නොහැකිය. කොරෝනා මරණ අදාහනයේ දී පාංශුකූලය පවා දීමට නොහැකි වූ තැන භික්ෂුන් වහන්සේලා වඩම්මවා ඒ යුතුකම ඉෂ්ට කළේ මන්ත්‍රීවරයෙකු වශයෙන් නොව ගමේ නායකයෙකු ලෙසිනි.

සිය වැඩිමහල් පුත්‍රයාගේ අකල් මරණයත් සමග දැඩි කම්පාවට පත් පාලිත ඔහු වෙනුවෙන් නොකළ පින්කමක් නොවීය. අවසාන කාලයේ මතුගම කරම්පෑතර ප්‍රදේශයේ ගොවිපළක් පවත්වාගෙන ගොස් කෘෂිකර්ම පුනර්ජීවනයට උපරිම දායකත්ව දෙන අතර තුළ එම ගොවිපලේදීම සිදු වූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. මෙවැනි ශූර වීර චරිත දේශපාලනයේ ලෙහෙසියෙන් බිහිවන්නේ නැත. එය සාමාන්‍ය මිනිසුන් ඉල්ලන දේශපාලනයයි.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment