ඔබේ විවාහයට ග්‍රහයන් බලපාන්නේ කෙසේද?

154

‘මගේ අක්කා ඒ කාලෙ හැටියට කේන්දර බැලුවා නිතරම. විවාහ වෙනවා කියපු ඔක්කොම කාලය පසුවුණා. අක්කට ඒ කාලවලදී කොච්චරවත් විවාහ යෝජනා නම් ආවා. නමුත් ඒවා එක්කවත් හරි ගියේ නැහැ. ඉවසන්න බැරිම තැන අක්කා කේන්දරය පුච්චල දැම්මා. දැන් අක්කට කේන්දරයක් නෑ. එයා විවාහ වෙන්නෙ නැතිලු. මට මේ ගැන හරියට දුකයි.

එක් නැඟණියක් තම වැඩිමහල් සොහොයුරිය ගැන පැවසූ විස්තරයයි ඒ. මම ඇයට කරුණු පැහැදිලි කර දී ඇගේ අක්කාගේ උපන් වෙලාව ගෙන්වගෙන අලුතෙන් කේන්දරය හැදුවෙමි.

පළමුව ඇගේ ග්‍රහචාරය බලා ස්ථිරවම ඇයට විවාහයක් සිදුවේ ද? නැතිනම් සදාකාලිකවම අවිවාහකව සිටී ද? යනුවෙන් බැලීමි. ඇයට ස්ථිරවම විවාහයක් සිදුවන බව තීරණය කරගත හැකි විය. ඊට පසු එම විවාහය සිදුවනුයේ කවර වකවානුවක ද සහකරු කෙබඳු අයෙක් ද? ඔහුගේ රැකියාව කුමක් ද? ගේ දොර ස්වරූපය කෙසේ ද පවුලේ තත්ත්වය කුමක් ද? ධනය හා ඉගෙනීම කෙබඳු ද? ආදී සෑම තොරතුරක්ම පරීක්‍ෂාවට ලක් කළෙමි.

ඇය ඉපදී ඇත්තේ කන්‍යා ලග්නයෙන් හා කටක නවාංශකයෙනි. එම වෙලාවට බෙරණ නැකත සිව්වන පාදය හිමිවූ අතර උපතේ සිට ඉදිරියට වර්ෂ 2 මාස 5 දින 29 ක් සිකුරු මහ දශාව පැවතුණි. කන්‍යා ලග්න ඒ ග්‍රහචාරය මෙසේ විය. දෙවැන්නේ රවි, බුධ, හා කේතු ද තුන් වැන්නේ කුජ ද, සිව් වැන්නේ ගුරු ද 8 වැන්නේ රාහු හා සඳු ද, දොළොස් වැන්නේ සෙනසුරු හා සිකුරු ද සිටියහ. කන්‍යා ලග්නයෙන් හා කටක නවාංශකයෙන් උපන් බැවින් විසිදෙවන දෙර්කාණාධිපති වනුයේ ගුරු ග්‍රහයාය. ගුරු ග්‍රහයා හත්වැන්නාධිපතියාව සිටින්නේ ස්වක්ෂේත්‍ර බලයෙනි. ශනි හා සිකුරු දොළොස්වැනි වැයස්ථානයේ ය. දෙවැන්නාධිපති හා දොළොස්වැන්නාධිපති අතර පරිවර්තන යෝගයකි. හත අධිපතියා හතර අධිපතියා වීමෙන් විසිදෙවන දෙර්කාණාධිපතියා වී ඇත.මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙනයි ඇයගේ යුග දිවිය ගැන පරීක්‍ෂා කර බැලිය යුත්තේ. මෙම ග්‍රහයා නිවැරදිදැයි තේරුම් ගැනීමට අතීත සිදුවීම් කීපයක් හා පොදු තොරතුරු සමහරක් විමසීමි. තත් ග්‍රහචාරයට අනුව ඇයගේ පියා ඇය බාල කාලයේදීම මියයා යුතුය. ඇයත් සමග සහෝදර සහෝදරියන් පස්දෙනකු සිටිය යුතු අතර, මවගේ පළමු විවාහයට අයත් වනුයේ ඇය හා තවත් එක් අයෙකි. ඒ අය සහෝදරියක් විය යුතුය. ඇය ළඟටම බාල සහෝදරිය ඉපදීමට හේතු යෙදී ඇත්තේ තුන්වැන්නේ සිටින කුජ සහෝදරයකුගේ ඉපදීමට බාධා කරන බැවිනි. මවගේ දෙවැනි විවාහයෙන් තවත් සහෝදර සහෝදරියන් තිදෙනකු සිටිය යුතුය. මෙවැනි නිගමනයකට එළැඹියේ 9 අධිපති සිකුරු දොළොස් වැන්නේ සෙනසුරු සමග සිටීමෙන් පියාට මාරක අපල උදා කරන බැවිනි. දස විදශාවන් අනුව පියා ඇය කුඩා කාලයේදීම මියයා යුතුය. සිව්වැන්නේ ගුරු විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී සිටීමත්, මාතෘ කාරක සඳු අටවැන්නේ රාහු සමග සිටීමත් හේතුකොටගෙන මවට විවාහ දෙකක් සිදුවී ඇති බවත් දෙවැනි විවාහයෙන් දරුවන් තිදෙනකු ඇති බවත් තීරණය කළෙමි.

මෙම කරුණු සියල්ල නිවැරදි බව ඇය පිළිගත් අතර, ඇයගේ අක්කාගේ පුද්ගලික තොරතුරු රැසක් ද පැහැදිලි කරදී අතීත සිදුවීම් ප්‍රධාන වශයෙන් පැවසීමි. මෙයින් පසු ඇගේ අක්කාගේ විවාහ ජීවිතය පිළිබඳවත් සහකරුගේ තොරතුරුත් විස්තර කළෙමි.

එම ග්‍රහචාරයට අනුව ස්ථිරවම විවාහයක් සිදුවන බවත්, සහකරු උත්සව අවස්ථාවකදී හෝ වන්දනා ගමනකදී මුණගැසෙන බවත් පැවසීමි. එසේම ඔහු ඇයගේ නිවසටම පැමිණ විවාහ යෝජනාව ඉදිරිපත් කරන බවත් නොබෝ දිනකින්ම විවාහය සිදුවන බවත් පැවසීමි. ඔහු කෙබඳු අයෙක්දැයි ඇසූ ප්‍රශ්නයට අනුව ඔහුගේ සියලු විස්තර පැවසීමි. ඇයගේ සහකරු ගැන තොරතුරු පරීක්‍ෂා කරන ලද්දේ හත්වැන්නේ කිසිම ග්‍රහයකු නොසිටි නිසා 7 අධිපති ගුරු සිටිය සිව්වැන්නේ සිටය. හත්වැන්නේ කවුරු හා් ග්‍රහයෙක් සිටිනම් හත්වැන්න මුල්කරගෙන තොරතුරු පරීක්‍ෂා කළ යුතුය. (විවාහයට කේන්දර බලපාන හැටි හා ඔබේ විවාහය ජ්‍යොතිෂ ඇසින් ග්‍රන්ථ කියවන්න.)

මේ අනුව ඔහු සිහින් සිරුරක් ඇති කඩවසම් පෙනුමෙන් යුත් අයෙකි. ඔහු උසස් ගතිගුණවලින් යුක්තය. දත් තරමක් විකෘති වී ඇත. උසස් අධ්‍යාපනයක් ලබා තිබීමට ද හේතුයි. මුදල් ඉපැයීමේ මාර්ග කීපයක් ඇති නමුත් ස්ථිර රැකියාවක් ලැබෙනුයේ විවාහයෙන් පසුවය. ඔහුගේ මාපියන් තරමක් දියුණු වී ඇති අය නමුත් සියලු ඥාතීන්ගේන් ඈත්ව ජීවත්වන්නෙක් හෝ ඥාතීන් කෙරෙහි කිසිම සැලකිල්ලක් නොදක්වන්නෙක් විය යුතුය. ඔහුගේ පියා වෛiවරයකු හෝ ප්‍රදේශයේ ප්‍රභූවරයකු වීමට ද පුළුවන. ඔහුගේ සියලුම සහෝදර සහෝදරියන් සංඛ්‍යාව අටදෙනෙක් විය යුතු නමුත් ජීවතුන් අතර ඇත්තේ ඔහු සමග පස්දෙනෙකි.

මෙම විස්තරය සටහන් කරගෙන ගොස් ඇයගේ අක්කාට දෙන ලදි. පසු දිනෙක දෙදෙනාම පැමිණ මෙසේ පැවසූහ. ‘ගිය වෙසක් පෝයට කැලණි විහාරය වැඳීමට ගිය අවස්ථාවේදී තරුණයෙක් අක්කා කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා කතා කළා. නිවස දැනගෙන නිවසටම පැමිණ විවාහ යෝජනාවක් කළා. එම යෝජනාව පිළිගැනීමට සුදුසු ද කියා දැනගන්නයි ආවේ.’

පසුව ඔහුගේ කේන්දරය ගෙන්වාගෙන තොරතුරු පරීක්‍ෂා කර බැලීමේදී පෙනී ගියේ ස්ථිරවම මේ දෙදෙනා අතර විවාහය සිදුවන බවයි. ඔහු ඉපදී ඇත්තේ කටක ලග්නයෙන් හා සිංහ නවාංශකය දෙනට නැකත ප්‍රථම පාදයයි. කුජ දශා ශේෂය වර්ෂ 5 මාස 5 දින 10 කි. ඉහත සඳහන් අක්කා ඉපදී ඇත්තේ කන්‍යා ලග්නයෙන් හා බෙරණ නැකතෙනි. අපි ඇයගේ කේන්දරයෙන් ඔහුගේ විවාහ තොරතුරු පරීක්‍ෂාකර බලමු.

හත්වැන්නේ සඳු සිටින නිසා හත්වැන්න මුල්කරගෙන තොරතුරු පරීක්‍ෂා කළ යුත්තේය. හතේ සඳු සිටින නිසාම ඔහුට ඉතා ලස්සන සහකාරියක් ලැබිය යුතුය. හතෙන් හතරවන, දස වන භාවයේ කුජ ශුක්‍ර සිටින නිසා ඇයගේ මවට විවාහ දෙකක් සිදුවී තිබිය යුතුය. හතෙන් නමය වූ 3 අධිපති බුධ 12 සිටිය නිසා ඇගේ පියා ඇය කුඩා කාලයේදීම මියගොස් සිටිය යුතුය. ගුරුගේ නව වැනි දෘෂ්ටිය දහයට වැටෙන නිසා ඇගේ නිවසට නුදුරුව විශාල පාසලක් හා පල්ලියක් තිබිය යුතුය. (ඇගේ නිවස පිහිටා ඇත්තේ කොළඹ ආනන්ද මහා විiාලයට ඉතා යාබදවය.)

ඔහුගේ කේන්දරයෙන් කියැවෙන කරුණු ඇය සම්බන්ධයෙන් ඉතාමත් නිවැරදිය. එසේම ඔහුගේ කේන්දරයේ හත අධිපති සෙනසුරු විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී දොළොස්වැන්නේ සිටී. ඇයගේ ද හත අධිපති ගුරු විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී හතරේ සිටී. ඔහුගේ හතේ සඳු සිටින අතර හත අධිපති ශනි දොළොස්වැන්නේ රවි බුධ හා රාහු සමග සිටී. එම නිසා ඔහුගේ සහකාරිය කන්‍යා ලග්න හිමිකාරියක් විය යුතුය. මේ දෙදෙනාගේ පොරොන්දම් බලන්නේ නම් බෙරණ නැකත හා දෙට නැකතයි. පොරොන්දම් ගැළපීම ඉතාම අඩුය. නමුත් ඉහත සඳහන් විස්තර සැසඳීමේදී දෙදෙනා අතර ආත්මීය සම්බන්ධතාවය ඇති බව දැක්වීමි. පසුව මේ දෙදෙනා වර්ෂ 2010.09.07 විවාහ ගිවිසගෙන ඊළඟ සතියේ දීම විවාහය සිදුකරන ලදි. මේ ක්‍රමය දැනගෙන සිටීම තරුණ තරුණියන්ට ඉතාමත් ප්‍රයෝජනවත්ය. ස්ථිරවම එයින් තමාගේ විවාහය සිදුවන කාලයත්, සහකරුගේ හෝ සහකාරියගේ සියලු තොරතුරුත් දැනගත හැකි වන්නේය.

ඔබේ විවාහයට ග්‍රහයන් බලපාන්නේ කෙසේද?

ජේ. ඒ. ඇස්. සහන් ජයකොඩි
රද්දොළුගම
දු.ක.-076011960

advertistmentadvertistment
advertistmentadvertistment