කපුටො රැළැයි වැල ගෙඩියයි !!

73

එක්තරා වනාන්තරයෙක මධ්‍යයට වන්නට විශාල මී අරඹක් තිබුණා. මී අරඹක් කියලා කිව්වේ ඒ හරියේ ඔක්කොම වගේ හැදිලා තිබුණේ මී ගස් හින්දා. හුඟ දෙනෙක් මේ පැත්තට මී ගස් මැන්ඩිය කියලාත් කිව්වා. ඉතිං මේ මී ගස් මැන්ඩියේ වැඩියෙන්ම වාසය කෙරුවේ වවුල්ලු. මල් පිපිලා මී ඵල දරණ කාලෙට උන් තමයි මේ ගස් බදු අරගෙන පාක් කරන්නේ. කොටින් කියනවා නම් වවුල්ලු එල්ලිලා ඉන්න මේ මීගස් ඈතට පේන්නේ හරියට තොටළඟ තොරණේ බල්බ් දාලා තියනවා වගෙයි. ඔක්කොටම වැඩිය ඒ කාලෙට තියෙන මුංගේ කච කචේ ! මී ඵළ බුදිනවා එක එකා කෙල ගන්නවා !!අනිත් ඔක්කොම කුරුලු කොබෙයියෝ රෑ කාලයේ නිහඬව නිදද්දී මුං ගැන්සිය විතරක් මරා ගන්නවා !! වවුල්ලුනේ !!එක අත්තක එල්ලනවා අනිත් අත්තේ කනවා !!

කපුටො රැළැයි වැල ගෙඩියයි !!

හැබැයි ඉතිං මේ බැට්ටන්ට ඔය සෙල්ලං දාන්න පුළුවන් වෙන්නේ මේ මී අරඹේ ඵල තියෙනකං විතරයි ! ඊට පස්සේ ඔක්කොම කට්ටිය යාන්තං අඳුර බිමට පාත්වෙන කොට අහල පහල ගම්වලට මාරු වෙලා එහෙ මිනිස්සු වගා කරලා තියෙන බව බෝගවලට ගේම දෙන්න පටන් ගන්නවා !! ඉතිං මෙහෙම වනාන්තරයේ මී අරඹට අවාර කාලයක් ඇවිත් බැට්ටන් හැම එකාම වගේ අහල පහල ගම්මානවලට මාරු වෙලා ගියා. දවසක් එක වවුලෙක් සප් එකට මොනවා හරි හොයා ගන්න හිතාගෙන ගම්මානෙට පාත්වුණා ! අඩෙ අප්පා ! මෙහෙනෙ බඩු තියෙන්නේ!, වවුලාට නියම වැල ගෙඩියක් මාට්ටු වුණා !

හෙහ් … හෙහ් … හෙහ් ….. දෙන්නං අද ගේම !!

නිල්වෙලා යන්නම, බැට්ටා වැල ගෙඩියට ගේම දෙන්න පටන් ගත්තා.! කොහොම හරි මේ වැලේ කොච්චර රසද කිව්වොත් …වවුලාට වෙලාව යනවාවත් තේරුණේ නෑ ! ඉර පායලා දවල් වේගෙන එනතුරුත් වවුලා වැලේ බදාගෙන හිටියා !දැන් කොහොමද ආපහු වනාන්තරයට පියාඹන්නේ දවල් වෙනකොට ඇස් දෙක ගිනි කන වදිනවා කිසි දෙයක් පේන්නේ නෑ ! මොනවා කරන්නද? … අත ගා ගෙන හරි කැලෑවට රිංගා ගන්න එකයි කරන්න තියෙන්නේ. ඒත් බැරි වෙලාවත් කපුටන්ට මාට්ටු වුණොත් කපෝති ! හිතුවා වගේම අත ගා ගා ගිය වවුලාට වැඩි දුරක් යන්න ලැබුණේ නෑ. හරියට අර අසූ අටේ අසූ නවයේ කාලේ වගේ වවුලාව වටකර ගත්තා කපුටෝ රැළක්!

‘ඔහොම හිටපිය ! තෝ කොහෙද යන්නේ’

‘කැලෑවට !’ වවුලා වෙව්ලන්න ගත්තා.

‘මොකක්ද තොගෙ නම !?’

‘ඇම්. බැට්ටා !’

‘තෝ මොකද මෙහෙ කරන්නේ!’

‘අනේ …සමාවෙන්න ඕනේ …මං මේ ඔබතුමාලට පොඩි නිව්ස් එකක් දෙන්නයි ආවේ’

‘මොකක්ද බොල !’

‘ආන්න සර් ! පැණි බේරෙන වැල ගෙඩියක් තියනවා …

අර ගම මෑන්ස්ගේ වත්තේ …ඔබතුමාලට මැසේජ් එක දෙන්න ආපුවාමනේ මාව මේ ජල්බරියට මාට්ටු වුණේ’

‘වැල …වැල …වෙලාවේ හැටියට ඒකත් නරකම නෑ … තෝ ඔය අනිත් එවුන්ට මාට්ටු නොවී අස්සෙන් අස්සෙන් පල! හැබැයි තෝ හිතේ තියා ගන්න ඕනේ ගමේ වැල වරකා ගමේ කපුටන්ට හරිද. පිට වුවුල්ලුන්ට වානා හරිද’ යි කිවූ එක කපුටෙක් වුවුලාව ෂේප් කරලා යැව්වා !. වවුලා ගැහි ගැහි එතැනින් මාරු වෙලා එද්දී ඕන්න තවත් ජාති ආල කපුටු ගැන්සියක් වවුලාව අල්ලා ගත්තා.

‘හෝල්ට් ! තෝ කොහෙද මේ වෙලාවේ යන්නේ’

‘කොහෙවත් යනවා නෙමෙයි සර් ! ඔබතුමාලව බැහැ දකින්නමයි ආවේ !’

‘ඒ අහවල් එහෙකටද?’

‘ආන්න අර ගම මෑන්ස්ගේ වත්තේ නියම පැණි වැල ගෙඩියක් තියෙනවා ! හිතූ හැටියට තමුන්නාසේලාට ඔන්න සප්පායම් වෙන්න පුළුවන්!’

වවුලා මෙහෙම කියාපු ගමන් එක කපුටෙක් කියාපිය හරියට තැන කියලා වවුල් තටුවෙන් අල්ලා හෙල්ලුවා ‘මට හරියටම තැන කියන්න මේ මහ දවල් පේනවා මදිනේ… මේ ඉර එලිය හින්දා !ඔය මෙහාටත් සුවඳ එනවා ආන්න අර ගම මෑන්ස්ගේ වත්තේ’

‘හෙහ්… හෙහ්… තෝ අපිට නිකං පාණියක් දානවනේහ්! මෙතනින් මාරු වෙලා යන්න !! කොහෙද බොල වැල ගෙඩියක් හම්බවුණ වවුලෙක් ඒක වෙන කාටවත් පංගාර්තු කරන්නේ ! බදාගෙන තනියම ගිලිනවා මිසක් !!!’

‘ආන්න…’ ආන්න …රාළහාමි කාරණාව හරියට තේරුම් ගන්නේ නැතුව නිකාාාං මට දෝස්මුරේ දානවා …වැල මට වහ ! ඕන්න වරකා නම් … ඒ ගැන මං ටිකක් උනන්දුයි !!

‘කියාපිය හරියටම තැන !’

‘ආන්න අර ගම මෑන්ස්ගේ බංගලෝ එකට උඩින් තියෙන ගහේ’

‘හරි හරි ඒක අපි බලාගන්නං ෂේප් එකේ මෙතනින් මාරු වෙලා පල’ වවුලා එතැනිනුත් හෙමිහිට මාරුවුණා !’ අමාරුවෙන් බඩගාගෙන කැලෑව ඇතුළට රිංගාගත් වවුලා මෙහෙම හිතුවා ‘හෙහ් … හෙහ් ….හෙහ්… තව ටිකකින් තමයි කපුටු කෙළිය පටන් ගන්නේ එක වැල ගෙඩියකට මුං ඔක්කොම වහ වැටිලා ඒක බෙදා ගන්න බැරුව මරා ගන්නවා !! හෙහ් ….හෙහ් ….හෙහ් …මුං දන්නේ නෑ බැට් මෑන්ස්ගෙ ගේම්ස් !’ ඔය විදිහට හත් අට පොළකදීම වවුලාව බදර් කරගන්න ආපු කපුටන්ට වැල ගෙඩිය විකුණලා ෂේප් එකේ වනාන්තරයට ඇවිදින් මහ හයියෙන් හිනාවුණා.

‘මොකද උඹ තනිවම හිනාවෙන්නේ’

ළඟ හිටිය වවුල් ගැන්සියේ එකෙක් ඇහුවා.

‘හෙහ්…ගහෙහ් …හෙහ් …කපුටො හිතන්න ඇති මාව තම්බන්න …දුන්නා මං උන් ඔක්කොටම බෙලි කාගෙන මැරෙන්න නියම පෝරියල් එකක් !!

‘ඒ කිව්වේ’

‘ඒ කිව්වේ දැන් ඔය මට බැරියර් දාලා අයියා පාට් පෙන්නපු එවුන් ඔක්කොම වැල ගෙඩියට බැල්ම දානවා … ඊට පස්සේ මොකද වෙන්නේ එක එකා ඒක බෙදා ගන්න බැරුව … උන් ඔක්කොම ටික එතැන කුළල් කා ගන්නවා හෙහ් …හෙහ් …හෙහ් …නන්නත්තාරව පැමිණි වවුලා වෙනත් අත්තක එල්ලී ගමන් මහන්සිය යන්නත් එක්ක නින්දට වැටුනා !

ආදර්ශය : වවුලන්ගේ ගැටවලට අහුවෙන කපුටෝ කුළල් කා ගනිති !

සරතිචන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment