යාපනේ රෝහලේදී දැරියගේ අත කපා දැමීමේ සිද්ධිය: දැරිය වාට්ටුවට ඇතුළත් කරන විට හෙදිය වීඩියෝ ඇමතුමක

407

ප්‍රධාන සැකකරුවෝ වහා අල්ලන්න – නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලති

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ගිය අට හැවිරිදි දැරියගේ අතක් කපා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කරන ලෙස දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ඉකුත් 11 දා යාපනය අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පත්කොට ඇති කමිටු දෙක විසින්ම ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කොට නොමැත්තේ සිද්ධියට සම්බන්ධ සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට බවට විශාල සැකයක් පවතින නිසා පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියහ.

යාපනය රෝහලේ පාලනාධිකාරිය මෙන්ම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් මෙම සිද්ධිය යටපත් කොට සිද්ධියට සම්බන්ධ පිරිස බේරා ගැනීමට කටයුතු කරගෙන යන බවට සාක්කි විශාල ප්‍රමාණයක් ඇති බවද නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.

දැරිය වාට්ටුවට ඇතුළත් කළ අවස්ථාවේදී ප්‍රධාන හෙදිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ඇමතුමක් ලබා ගෙන ඊට පිළිතුරු ලබා දෙමින් සිටි බවට ඇසින් දුටු සාක්කි කමිටුව වෙත ලැබී ඇති නිසා යාපනය ශික්ෂණ රෝහලේ හෙදියන් ඇතුළු පිරිසට ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කළත් දැරියට වූ අසාධාරණය සම්බන්ධයෙන් මෙතෙක් පියවර ගෙන නොමැති බවද අධිකරණය හමුවේ ප්‍රකාශ විණි.

මේ නිසා එම වාට්ටුව භාරව සිටි වෛද්‍යවරිය, හෙදිය හා පිරිමි හෙද නිලධාරියා වහාම අත්අඩංගුවට ගත යුතු බවද නීතිඥවරු පෙන්වා දුන්හ.

යාපනය මහෙස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා මහතා නොවැම්බර් මස 7 වෙනිදාට පෙර කමිටු වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර එදිනට මෙම නඩුව විභාගයට ගෙන අවශ්‍ය වුවහොත් අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කරන බවද ප්‍රකාශ කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment