කොතලාවල මැරෙන්න ඇරපු හැටි නෑනා කියයි

3102

අවුරුදු 30 – 40 ක් විශ්වාසය දිනාගත් සේවකයන් පහකර කණ්ඩායම් 2 ක් කොතලාවල ප්‍රාණ ඇපයට ගත්තා
දේපළ අත්පත් කරගත් පසු ස්වභාවික මරණයක් කරා ගෙනයන්න ඇති

සිය සොහොයුරියගේ සැමියා වන ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවිකව සිදු වූ මරණයක් නොව ඔහුගේ දේපළ හිමිකර ගැනීමේ අරමුණින් ඔහු වටා රොක් වූ කණ්ඩායම් දෙකකට අයත් සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදු වූ මරණයක් බවට තමා විශ්වාස කරන්නේ යැයි සෙරින් පේෂන් ඉග්මඩැන් ප්‍රනාන්දු විජේරත්න මහත්මිය ඊයේ (06දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් පැවසුවාය.

වසර 30 – 40 ක් තිස්සේ ඔහුට හිතවත්ව සේවය කර ඔහුගේ විශ්වාසය දිනාගෙන සිටි සේවකයන් සේවයෙන් පහකර ලලිත් කොතලාවල මහතාව ප්‍රාණ ඇපයට ගෙන රඳවාගෙන සිටි කණ්ඩායම් දෙකක සාමාජිකයන් ඔහුගේ දේපළ අත්පත්කර ගැනීමෙන් පසුව ලලිත් කොතලාවල මහතා තවදුරටත් ජීවත්වීම අනවශ්‍ය යැයි සිතා ඔහුව ස්වභාවික මරණයක් කරා ගෙන යන්නට ඇති බවත් මහෙස්ත්‍රාත් මරණ පරික්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් 84 හැවිරිදි සෙරින් විජේරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

පදිංචිව සිටි නිවසින් ඉවත් කර කාර්යාල භූමියේ රඳවාගෙන සිටි සිය මස්සිනා වන ලලිත් කොතලාවල මහතා සමග නිදහසේ කතාබහ කිරීමට හෝ තමන් ඇතුළු කිසිදු ඥාතියෙකුට ඉඩ නොදුන් බවත් සිය ඥාතියාව බැලීමට පිටස්තර කාන්තාවක වන නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තියගෙන් අවසර ගැනීමට පවුලේ සමීප ඥාතීන්ට පවා සිදුවූයේ යැයි ඉංග්‍රීසි – සිංහල භාෂණ පරිවර්තකවරයකුගේ සහාය ඇතිව සාක්‍ෂි දෙමින් ඇය පැවසුවාය.

එලෙස එම කාන්තාවගෙන් අවසර ලබාගෙන හෝ ඔහු සමග කතා කිරීමට අවසර ලැබුණේ විනාඩි කිහිපයක් පමණක් බවත් එවැනි අවස්ථාවලදී පවා නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තිය හෝ ආරක්‍ෂක නිලධාරීන් ඔහු සමග ඥාතීන් සිදුකරන කතාබහ ජංගම දුරකථන මගින් පටිගත කරන බව දක්නට ලැබුණු බවත් සාක්‍ෂිකාරිය පැවසුවාය.

ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කිරීමට අදාළ නඩු කටයුතු ආරම්භ වීමෙන් පසු ලලිත් කොතලාවල මහතා රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත් වූ බවත් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ කාර්යාලයේදී ඉදිරි නඩු කටයුතු ගැන සාකච්ඡා කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ලලිත් අමරසිංහ සහ ප්‍රියදර්ශන වන්නිආරච්චි නමැති දෙදෙනා නඩු කටයුතුවලට අවශ්‍ය පහසුකම් සපයාදීම සඳහා රුපියල් 10,000 බැගින් ඉල්ලා සිටි බවත් සාක්‍ෂිකාරිය පැවසුවාය. ලලිත් කොතලාවල මහතා ඇප ලබා පැමිණි පසු නිරතුරුවම ඔහුගේ නිවසට පැමිණ විටෙක අධිකරණය හමුවේදී ඇපකරුවන් ලෙසට ද ඉදිරිපත් වූ එම පුද්ගලයන් දෙදෙනා ලලිත් කොතලාවල මහතාගේ හිත දිනාගෙන ඔහුගේ නිල කාර්යාලයේ කටයුතුවලට සම්බන්ධ වූ බවත් පැවසූ සාක්‍ෂිකාරිය ඔවුන් දෙදෙනා සිය මස්සිනාගේ මනස විකෘති කිරීමට පටන් ගෙන තිබූ බව ද පැවසුවාය. ලලිත් කොතලාවල මහතා අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම් පවත්වන අවස්ථාවලදී අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම් ශාලාව තුළ පවා රැඳී සිටි එම පුද්ගලයන් දෙදෙනා පසු කාලීනව ලලිත් කොතලාවල මහතාට අයත් සමාගම් කිහිපයක අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කළේ යැයි ද පැවසුවාය.

ඉන් වසර දෙකකට පමණ පසු නවක නීතිඥවරුන් වන සමන් ලියනගේ, රිෂ්මි ගොඩැල්ලවත්ත හා දිනේෂ් ජයවීර යන තිදෙනා ලලිත් කොතලාවල මහතාගේ කාර්යාලයට පැමිණ ඔහුගේ කටයුතුවලට සම්බන්ධ වූ බවත්, සමන් ලියනගේ නමැත්තාගේ සහෝදරියක වන නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තිය ද පසුව එම කණ්ඩායමට එක් වූ බවත් සාක්‍ෂිකාරිය පැවසුවාය. ලලිත් කොතලාවල පවුලේ අයට අයත් සමාගම්වල සමාගම් ලේකම්වරියක ලෙස රිෂ්මි ගොඩැල්ලවත්ත පසුකාලීනව එක් වූ බවත් මෙකී කණ්ඩායම් දෙකම ලලිත් කොතලාවලට අයත් දේපළ අත්පත් කර ගැනීමේ පෙර සැලසුමක් ඇතිව ඔහුට සමීප වූ අය වන්නේ යැයි ද පැවසූ සාක්‍ෂිකාරිය ලලිත් කොතලාවල මහතා රඳවා සිටි කාමරය සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වීම් පැවැත්වූ ශාලාව සූර්යාලෝකය පවා නොලැබෙන පරිදි කළුපාට ආලේපවලින් ආවරණය කර තිබූ ස්ථාන බව ද පැවසුවාය. මෙකී පරිසරයම සිය මස්සිනාගේ මනසට පීඩාකාරී වන අයුරින් සකසා තිබූ බවත් පැවසූ සාක්‍ෂිකාරිය පෙර සමීපව සිටි අය නොව තමන් ඔහුට හිතවත් අය බව ලලිත් කොතලාවල මහතාට පෙන්වීමට ඔවුන් උත්සාහ දැරූ බවත් පසුකාලීනව දේපළ බෙදාගැනීම සම්බන්ධයෙන් එම කණ්ඩායම් දෙක අතර ද ගැටුම් ඇති වූ බවත් පැවසුවාය.

අසනීප වූයේ යැයි කියන ලලිත් කොතලාවල මහතාව එම කාර්යාලය අසල පිහිටි ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් නොකොට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි රෝහලකට දුර බැහැර ගෙවා රැගෙන ඒම මෙන්ම ඒ පිළිබඳ ලැබුණු තොරතුරු අනුව තමා සහ සිය දියණිය රෝහලට යන විට එහි සිටි නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තිය තමන්ට මුහුණ නොදී සැඟවුණු බව ද සාක්‍ෂිකාරිය පැවසුවාය. ඇය ලලිත් කොතලාවල මහතාගේ ඇසුරට පැමිණි සමයේ ලලිත් කොතලාවල මහතා ඇයට මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසක් පවා මිලදී ලබාගෙන තිබූ බව ද කොතලාවල මහතාගේ ඥාති දියණියන් දෙදෙනකු ඔහු රෝහල්ගත කිරීමට දින දෙකකට පෙර ඔහුව දැකීමට යන විටත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව දැන ගන්නට ලැබුණු බව ද පැවසුවාය. මෙම මරණය නිව්මෝනියා රෝග තත්ත්වය උත්සන්නවීමෙන් සිදු වී ඇති බවට බම්බලපිටිය පොලිසිය මාධ්‍යයට ප්‍රකාශ කර ඇති බව පැවසූ සාක්‍ෂිකාරිය අධිකරණ වෛi නිලධාරීන් විසින් මරණයට හේතුව ප්‍රකාශයට පත් කර නොතිබියදීත් පොලිසිය එලෙස මාධ්‍යයට පැවසීම සහ අනෙකුත් කරුණු අනුව එම මරණය සිය වාසියට හරවා ගැනීමට නිරතුරුවම උත්සාහ දරන පෙර කී කණ්ඩායම් දෙක හා පොලිසිය එකී මරණය සිදු වූ ආකාරය යටපත් කිරීමට උත්සාහ දරන බවක් තමන්ට හැඟී ගියේ යැයි ද පැවසුවාය. වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය අද (07දා) දක්වා කල් තැබිණි.

ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදීමට ඔහු යටතේ කලක් සේවය කළ එම්. ඒ. සමරකෝන්, රම්‍යා උක්වත්ත, මහින්ද වඩුගේ සහ ආර්. ඩී. සුනේත්‍රා කුමාරි යන සිව්දෙනා ද අධිකරණයට පැමිණ සිටියහ. ජ්‍යෙෂ්ඨ නීතිඥ හපීල් පාරිස් මහතා සාක්‍ෂිකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment