දිනවන්න හදනවා බැරිනම් යනවා – අර්ජුන රණතුංග කියයි

531

අපි ඉල්ලුවේ ක්‍රිකට් ලැබුණේ විකට්
ක්‍රිකට් ආයතනයට පැමිණි විට ක්‍රීඩාලෝලීහු අර්ජුනට කියති
ෂම්මිගේ පාලක මණ්ඩලය අත්හිටුවා ඇමැති ක්‍රිකට්
අතුරු කමිටුවක් පත්කරයි
සභාපති අර්ජුන : සාමාජිකයෝ 7 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට ඇද දමමින් විවිධ වංචා අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති ශම්මි ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනු ලැබූ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා, අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කළේය.

ඒ අනුව ෂම්මි ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (6 දා) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත්තේය.

ක්‍රිකට් පරිපාලනය නිවැරදි මගට ගැනීම සහ විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යෑමටත්, අගාධයට වැටී ඇති ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීමටත්, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් අන්තර්වාර පාලක මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු කළේය.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ ඇමැතිවරයා සතු බලතලවලට අනුව වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා මෙසේ අන්තර්වාර පාලක මණ්ඩලයක් පත්කිරීමට රොෂාන් රණසිංහ ඇමැතිවරයා පියවර ගත්තේය.

අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් අන්තර්වාර පාලක මණ්ඩලය සාමාජිකයන් 07 දෙනකුගෙන් සමන්විත වෙයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්‍ෂ, නිෂාම් ජමාල්ඩීන් යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වෙති.

ෂම්මි ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවීමෙන් පසු එහි සියලු සාමාජිකයන් තමන්ට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබාදී තිබූ සියලුම වාහන ඇතුළු අනෙකුත් උපකරණ ඊයේ දහවල් පාලක මණ්ඩලය වෙත භාරදීමට කටයුතු කර තිබිණි.

ඇමැතිවරයා විසින් පත්කරන ලද අන්තර්වාර පාලක මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය වෙනත් කරුණු ඇතුළු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ද බලතල පවරා තිබේ.

  1. විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2023/09/11 දිනැති විශේෂ විගණන වාර්තාවෙහි සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විමර්ශන කටයුතු සිදුකර සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.
  2. අදාළ ක්‍රියාමාර්ග ගැනීම ස්වාධීන

විනිවිදභාවයකින් යුතු විශ්වසනීය ලෙස සිදු කරනු ලැබිය යුතු බැවින් ඒ සඳහා අවශ්‍යතාව ලබාදෙනු වස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීමට ක්‍රියාත්මක කරන කාල පරිච්ඡේදය තුළ සහ අන්තර්වාර පාලක මණ්ඩලය විසින් සිදු කරන විමර්ශන කටයුතු අවසන් කොට ප්‍රතිකර්ම සලසන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යෑමට කටයුතු කිරීම.

  1. ක්‍රිකට් ආයතනය තුළ විගණන වාර්තාවේ සඳහන් දූෂණ විෂමාචාර සහ අක්‍රමිකතා නැවත සිදුවීම වැළැක්වීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ක්‍රියාමර්ග සැකසීම

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ දූෂණ, වංචා, අක්‍රමිකතා සිදුවන බවට එල්ල වූ බරපතළ චෝදනාවලින් පසු එම පාලක මණ්ඩලයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් ගොඩනැඟී තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලැබූ අමිහිරි පරාජයන්ගෙන් පසුව දැඩි කලකිරීමට පත් වූ ක්‍රීඩා ලෝලීහු දින 3 ක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපිට සාමකාමීව රැස්වී එහි නිලධාරීන්ට ඉවත්ව යන ලෙස බලපෑම් එල්ල කළහ.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳව පාලක මණ්ඩලය ඉදිරිපිට ඊයේ (06 දා) රැස්ව සිටි ක්‍රිකට් ලෝලීහු දැඩි ප්‍රසාදය පළකර සිටියහ.

මේ අතර ක්‍රිකට් අන්තර්වාර පාලක මණ්ඩලය පත්කිරීමෙන් පසු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ, වංචා සොයා බලනවාත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතකට යොමු කිරීමට නව සභාපතිවරයා ඇතුළු කණ්ඩායම කටයුතු කළ යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රාහී මාවතට ගෙනයෑමට සුදුස්සාට සුදුසු තැන ලබාදීමට කටයුතු කිරීම ගැන මහජනතාව එකඟ වෙනවා ඇති

මේ භාරදූර කාර්යය භාරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කරන්න කියලා මම අර්ජුන රණතුංගට ආරාධනා කළා. ඒ මහතා ඒ ආරාධනය පිළිගෙන ඒ කටයුත්ත භාර ගත්තා. ඒ වගේම පසුගිය

කාලසීමාවේ හිටපු ක්‍රිකට් පාලකයන් මාධ්‍යට වාරණ දැම්මා. මාධ්‍යට වාරණ දාල හරියන්නෙ නැහැ. මාධ්‍ය අහන දේවල්වලට උත්තර දෙන්න ඕනෙ. මහජනයා දැනුවත් කිරීම මාධ්‍යයේ වගකීමක්.

උපලි ධර්මදාස කියන්නේ විවේචනයට ලක් නොවෙච්ච සභාපතිවරයෙක්. ඒ මහතා සභාපති කාලෙ විදේශ සංචාර සඳහා සහභාගි වුණේ තමන්ගේ අතේ වියදමෙන් ගුවන් ටිකට්පත් ලබාගෙන. එහෙම අය තමයි අපට ඕනෙ කරන්නේ.

අතේ ඇඟිලි පහ වෙනස්. පළපුරුද්ද, අත්දැකීම් තියෙන අය ඕනේ. චෝදනා නැති අය ඕනෙ නිසයි අපි උපාලි ධර්මදාස මේ කමිටුවට පත්කරන්න තීරණය කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්වාර පාලක මණ්ඩලයේ නව සභාපති අර්ජුන රණතුංග මහතා ඊයේ පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණ සිය නව තනතුරේ වැඩ භාර ගත්තේය.

එහිදී නව පාලක මණ්ඩලයේ සාමාජිකයන් හත්දෙනා ද පැමිණ සිටි අතර, ඔවූහු ක්‍රීඩා ඇමැතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූහ.

මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා කියා සිටියේ, හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලය ලංකාවේ දූෂිතම ආයතනය විදිහට චෝදනාවට ලක්වන අතර තමන් පැමිණියේ ක්‍රිකට් ආයතනය ප්‍රේක්‍ෂකයන් ආදරය කරන තැනක් බවට පත්කිරීමටත්, රටම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් හදාගැනීමේ අරමුණෙන් යුතුවත් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා මෙසේ ද කියා සිටියේය.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් අපට වැඩක් භාර දුන්නා. අපි ඒ වැඩේ හරියට කරන්න උත්සාහ කරනවා. එහෙම බැරි වුණොත් අපිට යන්න කිව්වොත් අපි යනවා. අපි බලෙන් ඉල්ලගෙන මෙතැනට ආවේ නැහැ.

මේ රටේ දූෂණය, වංචාව නැති කරන්න ඕනෙ කියන ජනාධිපති කෙනෙක් ඉන්නේ. එතුමාට හොඳම දේ තමයි මේ වගේ වංචා, දූෂණ බහුලවම තිබෙන ආයතන ශුද්ධ කරන්න හදන ඇමැතිතුමෙක් එක්ක එකට වැඩ කරන එක සහයෝගය දෙන එක.

ඒකට අපි දායකත්වය දෙනවා. මේ කමිටුවේ එහෙම ඇඟිල්ලක් දික්කරන්න කෙනෙක් නැහැ. අපිට දැන් අවශ්‍ය මීළඟ ශූරයන්ගේ කුසලානයට යන්නේ කොහොමද කියලා. ඊළඟ අභියෝගය ඒකයි. මුල් කණ්ඩායම් 8 න් පහළට ගියොත් අපට ඒ කුසලානයට යන්න බැරි වෙනවා.

අපි මුලින්ම ජාතික කණ්ඩායම හදන්න ඕනේ. පාසල් ක්‍රිකට් හදන්න ඕනේ. ක්‍රීඩා සමාජවල ක්‍රිකට් හදන්න ඕනේ. මාධ්‍යයෙන් පෙන්නුවා ක්‍රිකට්වල දූෂණ ගැන. ඒකට මධ්‍යට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අපි වරදක් කළත් ඒකත් පෙන්නලා දෙන්න ඕනෙ.

කමිටුව පත් කළේ ඇමැතිතුමා. ඒකෙ හොරු, දූෂිතයො නැහැ. ක්‍රිකට් හදන්න ඕනෙ නම් කැබිනට් මණ්ඩලයත් ඒකට අනුමැතිය දීලා ක්‍රිකට් හදන්න උදව් කරන්න ඕනෙ.

අයි. සී. සී. එකට අපට වාරණ දාන්න බැහැ. පාකිස්තානයේ වගේම දකුණු අප්‍රිකාවෙත් තියෙන්නේ අන්තර්වාර පාලක මණ්ඩලයක්. ඒවායේ කිසි ප්‍රශ්නයක් නැහැ. පාලක මණ්ඩලයේ හිටපු අය කළේ යකෙක් මවාපාන එක. යකා මවාපාන්නේ යක්කු වැරදි කරපු අය අයි.සී.සී. එක්කෙනෙක් දෙන්නෙක් අල්ලගෙන රට පාවලා දෙනවා.ක්‍රිකට් ලෝලීන්ට ආදරේ කරන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමක් මං හදල දෙනවා යැයි නව සභාපති අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු
පින්තූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment