දොම්පේ හොර අරක්කු ගබඩාව වටලයි – බෝතල් 6000 ක් සමග 12 ක් දැලේ

940

දේශපාලනඥයකුගේ සමාගමකට සමාන ලේබල් ගහලා

දොම්පේ කලුකොඳයාව ප්‍රදේශයේ ගබඩාවක් තුළ කිසිදු බලපත්‍රයකින් තොරව පවත්වාගෙන ගිය මහා පරිමාණ අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් 12 ක් සමග පුරවන ලද අරක්කු බෝතල් 6000 ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දොම්පේ හොර අරක්කු ගබඩාව වටලයි - බෝතල් 6000 ක් සමග 12 ක් දැලේ

මීට අමතරව කාලේ බෝතල් විශාල ප්‍රමාණයක් හා ලොරි රථ දෙකක්, පිරවුම් යන්ත්‍ර, ලේබල්, ස්ටිකර් සහ හිස් බෝතල් ද මෙහි තිබී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අරක්කුවලට යොදා තිබූ ලේබලය ප්‍රසිද්ධ දේශපාලනඥයකුට අයත් මත්පැන් නිෂ්පාදන සමාගමක නිෂ්පාදනය වන අරක්කු බෝතල්වලට යොදන ලේබල්වලට සමාන බව හෙළිවී ඇති අතර එම ලේබල්වලට සමානව කිසිවකු ව්‍යාජ ලෙස මුද්‍රණය කර යොදවන ලද්දක් ද එසේ නැතිනම් එම දේශපාලනඥයාට මෙහි සම්බන්ධයක් තිබේ ද යන්න ගැන ද පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මෙම සිද්ධියේ වරදකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් සුරාබදු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.

දොම්පේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පො.ප. ශ්‍රියාන් නිස්සංක මහතා සමග උ.පො.ප. එදිරිසිංහ, උ.පො.ප. රෝහණ, පො.කො. (19334) අබේරත්න, පො.කො. (55089) ශාන්ත, පො.කො. (103995) කපිලරත්න, පො.කො. (28885) සරත්, පො.කො. (95380) අධිකාරි, පො.කො.රි. (76746) වජිර යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරන ලදි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත, සෝමපාල නැලිගම-කිරිඳිවැල

advertistmentadvertistment
advertistmentadvertistment