ඡන්දෙකින් ආසන 113ක් නොලැබුණොත් අනෙක් මන්ත්‍රීවරුන්ගේ එකඟතාවකින් ආණ්ඩුවක් පිහිටුවනවා

9638

නඩුවලින් නිදහස් කළ සියලු‍ දේශපාලකයින්ට යළි නඩු පවරනවා
ජාජබ නායක අනුර කුමාර දිසානායක නිව්යෝර්ක් ජනහමු මාලාවේ අවසන් රැස්වීමේදී කියයි

මැතිවරණයකදී ආණ්ඩුවක් සෑදීමට ජාතික ජනබල වේගයට මන්ත්‍රීධූුර ලබාදීමට ජනතාව උත්සාහ කළද මන්ත්‍රීධූුර 113ක් ලැබී නොමැති නම් තේරී පත්වන අනෙක් මන්ත්‍රීවරුන් සමග එකඟතාවයක් ඇති කරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පෙරේදා (05දා) නිව්යෝර්ක් නුවරදී පැවැසුවේය.

ජාතික ජන බලවේගයට ආණ්ඩුවක් ලබාදීමට ජනතාව උත්සාහ කර ඇත්නම් එය පසෙක දැමීමට තමන්ට අයිතියක් නැතැයිද හෙතෙම කීවේය.

ඇමරිකාවේ නගර කීපයකදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැවැති ජනහමු මාලාවේ අවසන් රැස්වීම නිව්යෝර්ක් ස්ටැටන්අයිලන්ඩ්හි හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

තම පාලනයක් යටතේ හම්බන්තොට වරාය නාවික සේවා පවත්වාගෙන යන වරායක් බවට පත් කරන බව කී අනුර කුමාර දිසානායක මහතා පැමිණිලි පාර්ශ්වයේ දුර්වලතා මත

පසුගිය කාලයේ මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් සහ අල්ලස් නඩුවලින් නිදහස් කළ සියලු‍ දේශපාලකයින්ට අදාළ එම නඩු යළි පවරන බවද පැවැසුවේය.

ජාතික ජන බලවේග⁣යේ නිව්යෝර්ක් ශාඛාව විසින් සංවිධානය කළ මෙම ජනහමුවේදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

අද ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායකයින් බිහිවීම සඳහා දත්ත නැහැ. තවම අපේ ව්‍යවසායකයා ගමන් කරන්නේ ඉවට. අද ලෝකය ගමන් කරන්නේ ඩේටා සමග. දත්ත මත පුරෝකථනය කර ආයෝජකයන් කැඳවිය යුතුයි. රාජ්‍ය, පෞද්ගලික සහ සමූපකාර අංශය සමග ඇති කරගත් සාමුහික ආර්ථිකය තමයි ඉදිරියට යන්නේ. අප අකුරැස්ස සමූපකාරය කරනවා. එමගින් ලබන වසරේ අප රෝහලක් ආරම්භ කරන්න සූදානම් වෙනවා.

රනිල් වික්‍රමසිංහ කැමැතියි ඡන්ද නොතියා ඉන්න. නැවත ජන⁣ාධිපති වෙන්න ඔහුට උත්සාහයක් තියෙනවා නම් ජනාධිපතිවරණයකට කලින් කිසිම මැතිවරණයක් තියන්නේ නැහැ. හේතුව පවත්වන ඕනෑම මැතිවරණයක ප්‍රතිඵලය විසින් ඔහුට ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙන්නත් බැරි වෙනවා. ඒ ලබාගන්නා ඡන්ද ප්‍රතිශතයෙන් ඔහුගේ ඇත්ත තරම පෙනෙනවා. පාර්ලිමේන්තු ඡන්දෙ පැවැත්වූවත් රනිල් වික්‍රමසිංහට ඔහුගේ තරම පෙනෙනවා. එනිසා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් හෝ වෙනත් ඡන්දයක් පැවැත්වීමේ ඉඩකඩ අඩුයි. නමුත් පොහොට්ටුවට වුවමනා වී තිබෙනවා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක්. ජනාධිපතිවරණයට වෙනම ඉල්ලු‍වොත් පොහොට්ටුව පරාද වෙනවා. රනිල්ට සහාය දුන්නොත් පොහොට්ටුවේ දේශපාලනය අවසන් වෙනවා.

අද ආගම පවත්වාගෙන යෑම දේශපාලකයින්ගේ වගකීමක් බවට පත්වෙලා. ආගම දේශපාලනයෙන් මුදාගත යුතුයි. අද ආගම දේශපාලනයට ඇතුලු‍ කර තිබීම තමයි විශාලම විනාශය.මම පෞද්ගලිකව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත, රුවන්වැලි සෑය වෙත යනවා. ඒත් මම දේශපාලනයට සම්බන්ධ කරගන්නෙ නැහැ. මා මහ නායක හාමුදුරුවන් හමුවෙන්න යනවා. උන්වහන්සේලාගේ උපදෙස් ලබා ගන්නවා. අපේ අදහස් පවසනවා. ඒත් ආගමික වතාවන් පැවැත්වීම දේශපාලනයෙන් ⁣තොරව පෞද්ගලිකව සිදු කරනවා.

ජනතාව මෙතෙක් කල් අපට හොරු අල්ලන්න වොචර්ගේ පාට් එක දුන්නා. අපව ස්ථානගත කර තිබුනේ ⁣එහෙමයි. අපිත් ඉස්සර ආණ්ඩුව ඉල්ලු‍වේ නැහැ. රිමෝට් බලය තමයි ඉල්ලු‍වේ. ඒත් අද අපට ආණ්ඩුවක් ලබාදීමේ අවශ්‍යතාවයකින් ජනතාව පසු වෙනවා. ඉස්සර ජනතාව දේශපාලකයාට බයයි. ඒත් අද දේශපාලකයා ජනතාවට බයයි. ඒ නිසා තමයි පහුගිය දවසක නාමල් රාජපක්ෂ උසාවියට ටොයෝටා වෑන් එකකින් ගියේ. මේ අය ජනතාවට ආර්ථිකය ගැන සිහින මැව්වා. අද ඒ ආර්ථිකය කඩා වැටිලා.

සමාජ මාධ්‍ය නිසා සෑම පුරවැසියෙකුටම අද තමන්ගේ ප්‍රතිචාර දක්වන්න අවස්ථාව ලැබී තිබෙනවා. ජනතාව අතරට අද තොරතුරු ගලාගෙන යනවා.අම්මා තාත්තාගේ දේශපාලන තීන්දු නිසා තම අනාගතය අඳුරුවූ බව තරුණ පරපුරට අද වැටහීමක් ඇති වෙලා.

ලංකාවේ බලය අත්පත් කරගත හැකිද නැද්ද යන ප්‍රශ්නය තියෙන්නේ අපි ළඟ. ඇතිවී තිබෙන තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කර සමාජ පරිවර්තනයට නායකත්වය ලබාදෙන්න ජාතික ජන බලවේගය සමත්ද? මේ පරිවර්තනය සඳහා බාධා ඇති කිරීමට පාලකයන් සතුව ධනය, රාජ්‍ය බලය සහ විශාල මාධ්‍ය බලයක් තියෙනවා.

ඔවුන් සතුව පාතාලය, නීති විරෝධී අවි තියෙනවා. ඔවුන් සමග දූෂිත කලු‍ ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා. නමුත් අපට මේ කිසිම බලයක් නැහැ. අප සතු එකම බලය ජනතා බලය පමණයි. පරිවර්තනය සඳහා අප සතු විශාල බලය මේ මහජන පවුරයි. ලබන වසරේ නොවැම්බර් මාසය වෙද්දී ලංකාවේ තියෙන්නේ අලු‍ත් ආණ්ඩුවක්. අලු‍ත් පාලනයක්. එය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවට පරිවර්තනය කරගැනීම අප හමුවේ ඇති අභියෝගයයි.

පළාත් සභා මැතිවරණය නොතිබ්බත් ආණ්ඩුකාරවරුන්ට ඒ සභා පාලනය කළ හැකියි. පළාත් පාලන ඡන්දය නොපැවැත්වූවත් කොමසාරිස්වරුන්ට ඒ ආයතන පාලනය

කළ හැකියි.නමුත්ජනාධිපතිවරණය නොපැවැත්වූවොත්? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිවම දැක්වෙනවා ජනතාවගේ විධායක බලය ජනතාව විසින් පත්කර ගන්නා ජනාධිපතිවරයා සතු වන බවට. එනිසා ලබන ඔක්තෝබර් 17 දාට පෙර සෙනසුරාදා දිනයක ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඡන්දෙ තියන්නෙ නැහැ කියල තීරණය කළොත් ඊට කලින් එයාට යන්න සිද්ධ වෙනවා. ජනතාව හැමදාම උද්ඝෝෂණ, අරගල කරන්නෙ නැහැ. එක්තරා නිශ්චිත නිමේෂයකදී ජනතාව ඉදිරියට එනවා. ලබන වසරේ ඔක්තෝබර් මැතිවරණය පවත්වන්නේ නැහැ කියල සංඥාව ආවොත් ජනතාව පාරට බහිනවා.

බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමිකයන්ට වෙන වෙනම ආගමික උත්සව තිබුනත් අඩුම ගානේ මේ සියලු‍ දෙනාට එකට එකතු වෙලා සමරන්න සංස්කෘතික උත්සවයක් නැහැ.

දේශපාලන ජාතිවාදය වපුරනවා ඡන්දය වෙනුවෙන්. රට ඉදිරියට යන්න නම් සියලු‍ ජාතීන් අතර ජාතික සමගියක් අවශ්‍යයි. මේ පාලකයන්ට යුද්ධෙ නැතුව පාඩුයි වගේම පාලු‍යි.

අද තියෙන්නේ සිහින මැරුණු, අපේක්ෂා කඩා වැටුණු රටක්. අපි අපේ රට සිහින දකින රටක් බවට පත්කරමු.
අජිත් අලහකෝන් (ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිට)

advertistmentadvertistment
advertistmentadvertistment