ලාංකීය කලා ක්ෂේත්‍රයේ වසර 35කට අධික කාලයක් තිස්සේ වේදිකා නාට්‍ය,ටෙලිනාට්‍ය හා චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙමින් ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනා ගන්නට වාසනාවන්ත වූ නිහතමානී, සුන්දර, අතිදක්ෂ චරිතයක් තමයි රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු. ඔහු ප්‍රථම වරට අධ්‍යක්ෂණය කරන ලද “ලොක්කා ලෙඩ වෙලා” නමැති වේදිකා නාට්‍ය අප්‍රේල් මස 05, 06 සහ 07 යන දිනයන් හිදී මංගල දර්ශන වාර පෙන්වීමට මේ දිනවල සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ගිහාන්ගේ “ලොක්කා ලෙඩ වෙලා” වේදිකා නාට්‍ය පිළිබඳව දිවයින සිනමා කලා සංග්‍රහය සුහද කතාබහක යෙදුණා.

● “ලොක්කා ලෙඩ වෙලා” ඔබේ ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය. අපි ඒ ගැන කතා කරමු ?

මම මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් අරන් දැන් අවුරුදු තිස්පහක් විතර වෙනවා. පාසලෙන් ඉවත් වෙන ගමන්ම මම නාට්‍යකරණය හදාරන්න පටන් ගත්තා. ඊට පස්සෙ ඉඳලා යෞවන නාට්‍ය උළලේ, රාජ්‍ය නාට්‍ය උළෙලවල්වල තවමත් වැඩ කරමින් යනවා. ඉතින් නාට්‍ය පනහකට අධික ප්‍රමාණයක මම රඟපාලා තියෙනවා. ඔය අතරතුර මට හැමදාම ආසාව තිබුණා නාට්‍යයක් කරන්න. මට හිතුණා මගේ අත්දැකීම් එක්ක තරමක් වෙනස් විධියේ නාට්‍යයක් කරන්න. ඒ වගේ ම අපේ නාට්‍ය බලන ප්‍රේක්ෂකයෝ තාමත් රට වටේ ම ඉන්නවා. ඒ අයත් ආසයි වෙනත් රහක් විඳින්න. ඉතින් මම උත්සාහ කරනවා “ලොක්කා ලෙඩ වෙලා” වේදිකා නාට්‍ය හරහා මම කතා කරන දේශපාලන මතය සහ රසිකත්වයට යම් රසාස්වාදයක් ලබා දෙන්න පුළුවන් විධියේ ප්‍රහසනාත්මක නිර්මාණයක් කරන්න.

● එතකොට ලොක්කා ඇත්තට ම ලෙඩ වෙලා ද?

ගිහාන් ගේ ලොක්කා ලෙඩ වෙලා

අපි මේ නාට්‍යයෙන් කතා කරන ලොක්කා පුද්ගලයෙක් නෙවෙයි. හැබැයි මම හිතන්නේ මිනිහෙක් ලොක්කෙක් වෙනවා කියන්නෙ ම ලෙඩ වෙනවා කියලයි. ලෙඩ වෙන ලොක්කෙකුට වඩා හොඳ නායකයෙක් තමයි මේ මොහොතේ අපිට ඕනෑ වෙන්නේ. අපේ වගේ රටවල හදාගෙන තියෙන ලොකු ම වැරැද්ද තමයි පටන් ගත්ත ගමන් ලොක්කට සර් කියන්න පටන් ගන්න එක. නම කියලා කතා කරන්නේ නැහැ. හැබැයි ලෝකයේ රටවල සහ අපේ රටෙත් පෞද්ගලික අංශයේ පුරුදු කරවන්නේ නම කියලා කතා කරන්න. ඒක තමයි හොඳම විධිය. අපි ම ඒ පුද්ගලයාව ලොක්කා කරනවා, පස්සෙ ඒ ලොක්කා ලෙඩ වෙනවා. මගේ මේ නාට්‍යයෙන් මම කියන්න අදහස් කරන්නෙ ඒක. දේශපාලනික වශයෙනුත් කෙනෙකුට ඒක ගන්න පුළුවන්. හැබැයි දේශපාලනයේ දී විතරක් නෙවෙයි සමස්ත සමාජයේ ම ඉන්න ලොක්කන්ට බලය ලැබුණ ම ලෙඩ වෙන්නෙ එහෙමයි. ඉතින් හරියට ම බැලුවොත් මිනිස්සු ලෙඩ වෙන්නෙ මනසින්.

● කලා ක්ෂේත්‍රය තුළ ඔබට බොහෝ යහළුවන් ඉන්නවනේ. ඒ අය අතරින් නාට්‍යයට නළු නිළියන් තෝරාගැනීම සිදු කළේ කොහොම ද?

ඇත්තට ම මම මේ වෙලාවේ හිතපු කාරණා දෙක තුනක් තියෙනවා. එකක් තමයි තවත් නාට්‍ය සමග කාර්යබහුල නොවන අයව තෝර ගැනීම. ඊළඟට මම හිතුවෙ නාට්‍ය තමන්ගේ මුළු ජීවිතය ම කරගත්තු අයව සම්බන්ධ කර ගන්න ඕනෙ කියලයි. ඒ හැම දෙයක්ම බලලා මම තෝරගත්තෙ චමිලා පීරිස්, සරත් කරුණාරත්න, අජිත් ලොකුගේ, ආලෝක සම්පත්, සමන්ත පරණලියනගේ, මධුශානි වික්‍රමසිංහ, ඉසුරු ගුණවර්ධන, කසුන් සමීර සහ රවිඳු සම්පත්වයි.

● නාට්‍ය සාර්ථක කර ගන්නට සහාය වන අනෙක් පිරිසවත් අපි මතක් කරමු?

මේ නාට්‍ය රචනා කළේ ජෝර්ජ් සැමුවෙල්. නිෂ්පාදනය සහ සංවිධානය සිදු කළේ ජූඩ් ශ්‍රීමාල්. පසුතල හා නිෂ්පාදන නිර්මාණය කරන්නේ ප්‍රදීප් චන්ද්‍රසිරි. වෙස් මුහුණු නිර්මාණය සහ අංග රචනය කරන්නේ ප්‍රේම් ජයන්ත, සංගීතය ලහිරු මාලින්ද, විදුලි ආලෝකය ශිරාන් නාලක, ශබ්ද පරිපාලනය උදම් ජයංග සහ ධනුෂ්ක නයනකුමාර වගේම පසුතල සැලසුම්කරණය කරන්නේ සමන් සිල්වා.

● අද වනවිට වේදිකා නාට්‍ය කලාවේ යළි පිබිදීමක් දකින්නට ලැබෙනවානේ. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඔව්. ඇත්තට ම මම හිතන්නේ, ඒකට හොඳම උදාහරණය තමයි ඉස්සර වගේ තනි පුද්ගලයෙක් නෙවෙයි අද ලංකාවේ නාට්‍යයක් සංවිධානය කරන්නේ, පිරිසක් එකට එකතුවෙලා. අනෙක් කාරණය තමයි ගොඩාක් මිනිස්සු අද රූපවාහිනිය නරඹන එකෙන් අයින්වෙලා ඉන්නවා. එහෙම ඉන්න අයට සජීවීව රංගනයක් දකින්න හම්බවෙන එක ඒගොල්ලන්ගේ ජීවිතේට ලොකු වෙනසක් වගේ ම ඒකට ඇබ්බැහි වුණාට පස්සේ වේදිකා නාට්‍ය කලාවට තියෙන ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. අද ප්‍රේක්ෂකයෝ ගොඩක් වේදිකා නාට්‍යයක් එනකම් බලන් ඉන්නවා. ඒක අපිට සතුටට කාරණාවක්.

පාරමී කෞෂිකා

ගිහාන් ගේ ලොක්කා ලෙඩ වෙලා
advertistmentadvertistment
advertistmentadvertistment