මේ කෲඩියා හැර තවත් කෲඩියා තිබේද…?

170

කෲඩියා ගහ ගැන නෙමෙයි ගහේ පිටුපස අපරාධය ගැන කියවන්න

මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමේදී එම මාර්ගයේ සීමාව තුළට සලකුණු කරන ලද ගම්පහ දාරළුවේ පිහිටි කෲඩියා සිලනිකා (Crudia Ceylanica) නොහොත් පඬු කරඳ (පණු කරඳ) නම්, වඳවී යෑමේ දැඩි තර්ජනයට ලක්වූ ශාකය (්‍යඔ) (හා එම වගුරු පරිසර පද්ධතිය) ඉකුත් 10 වැනිදා, සවස කිසියම් පිරිසක් විසින් ගලවා අතුරුදන් කිරීම මේ වනවිට දැඩිව කතාබහට ලක්ව ඇති සිද්ධියක් පමණක් නොව, මේ සිදුවීම දැන් අධිකරණය වෙතද ගොස් තිබේ. ඒ දැඩි තර්ජනයට ලක්ව, නීතියෙන් ආරක්ෂා කළ යුතු ශාකයක් මෙසේ හිතු මනාපයට ගලවා විනාශ කර දැමීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ දඬුවම් ලැබිය යුතු වරදක් වී ඇති නිසාය. මෙම ඉවත් කිරීම සිදු ලැබුවේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් අනුව බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන කියයි. වැඩිදුරටත් කරුණු කියන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටින්නේ ඉවත් කළ ගස වෙනුවට පඬු කරඳ පැළ 200 ක් සිටුවන බවයි. එසේ කියමින් ඔහු තෙත් කලාපයේ වැඩෙන කෲඩියා පැල රැගෙන ගොස් ඉකුත්දා උතුරු දුම්රිය මාර්ගය ආශ්‍රිතව කිලිනොච්චිය ප්‍රදේශයේ සිටුවීම තවත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් විය. කෙසේ වෙතත් කෲඩියා “සමරු ශාකය” දැන් ගලවා විනාශ කර දමා ඇත. ඒ ඇතැම් විට අපට ඇසී ඇති පරිදි යුවතියක අපයෝජනයට ලක්කර මරා වගුරු බිමක ඔබන තරමේම හිංසාවක් කෲඩියා නම් ඇයටද සිදුකරමිනි. එනිසාම “කෲඩියා ශාපය” අප අනාගතයේදී බලාපොරොත්තුව සිටිය යුත්තකි.

මේ අතර, කෲඩියා පැල සහ වැඩුණු ශාක තවත් රැසක් ඇති බව කියන උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ඇතුළු දේශපාලන අධිකාරිය, එසේ හෙයින් මෙම “සමරු ශාකය” ගලවා දැමීම සාධාරණය කිරීමට උත්සුක වනු පෙනේ. එනමුත්, මේ පඬි වදන් කියන සියල්ලෝම දැනගත යුතු කාරණයක් වන්නේ වඳවී ගිය ශාක ලයිස්තුවේ තිබුණු කෲඩියා සිලනිකා ශාකය නැවත ශ්‍රී ලංකාවේ ඇති බවට සොයාගනු ලබන්නේ මෙම දාරළුවේ (ගලවා විනාශ කර දැමූ) ශාකයෙන් බවයි. අද යම් තැනක පැළ ඇතිවී තිබෙන්නේ මෙම ශාකයද ඇතුළුව තවත් ශාක කිහිපයකින් ජනිත කරගන්නා ලද බීජවලිනි. ඒ සියලුම පැළ පැළකරගනු ලබන්නේ දාරළුවෙන් කෲඩියා ශාකය හඳුනාගැනීමෙන් පසුව බව සියල්ලෝම මතක තබාගත යුතුය.

මෙහිදී ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව අද කෲඩියා ගැන දේශපාලකයන්ට ඕනෑ ඕනෑ විදිහට කතා කළාට ඔවුන් වගඋත්තරකාරයන් බවට පත්කර නඩු ඇසිය යුතු කාරණයක්ද මෙම කතාව තුළ තිබෙන බව ලියුම්කරුගේ අදහසයි. එනම්, දාරළුවේ මෙම කෲඩියා ගස පමණක් නොව, තවත් ගස් අප හඳුනාගන්නා ලද බව හා ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තුළද ගසක් ඇති බව ඔවුන් කීවද, හිමේෂ් ජයසිංහ නමැති තරුණ ශාක පර්යේෂකයා 1911 න් පසුව නැවත ප්‍රථම වරට දාරළුවෙන් මෙම ගස හඳුනාගන්නා තෙක් උද්භිද උද්‍යානය මෙම ගස කොතැනින් හෝ හඳුනාගෙන තිබුණේ නැත. අඩුම තරමේ හෙනරත්ගොඩ උද්‍යානයේ තිබුණු ගස පවා ඔවුන් හඳුනාගෙන තිබුණේ නැත. හිමේෂ් ජයසිංහ මහතා ගස නැවත වාර්තා කළාට පසු එම ගසේ කොළ (පත්‍ර) හා මල් කඩාගෙන ගොස් හෙනරත්ගොඩ ඇතුළු කොළඹ තදාසන්නව තිබූ ගස් කිහිපයක් අඳුරගන්නා මෙම රාජ්‍ය ආයතනය සහ අනෙකුත් ශාක පර්යේෂකයෝ අද අවස්ථාවාදී දේශපාලකයන්ට කඩේ යමින් මාධ්‍යයට ප්‍රකාශ ලබාදෙන්නේ ඔවුන් මෙම ශාකය ගැන කළින් දැනගෙන පැළ රෝපණය කරගත් බවට මවා පැමිණි නොහොත්, හිමෙෂ්ගේ සොයාගැනීම නොවන්නට අද හෙනරත්ගොඩ උද්‍යානයේ ඇති ගස පවා කුමක්දැයි යන්න කවුරුනුත් නොදනිති. මේ සත්‍යය තේරුම් කරගත යුතු අතර උද්භිද උද්‍යාන නිලධාරීන්ගෙන් මේ පිළිබඳව කටඋත්තර ගත යුතු බව අපගේ අදහසයි.

කෲඩියා සිලනිකා නම් ශාකයේ මතකය මෙරට සංරක්ෂණවේදීන්ගෙන් ගිලිහෙන්නේ 1911 න් පසුවය. ඒ කළුතර දිස්ත්‍රික්කයේ “ගල්පාත” නම් කළුගඟ නිම්නයේ පිහිටි ප්‍රදේශයේ ස්ථානයකින් හඳුනාගෙන තිබුණු එම වර්ගයේ ගස කපා දැමීමත් සමගය. පළමුවරට මෙම කෲඩියා සිලනිකා නම් ශාකය මෙරටින් වාර්තා කරනු ලබන්නේ 1865 දී එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කළ ජී. එච්. කේ. ත්වෙට්ස් (ඨග ්‍යග ණග ඔයඅ්සඑි) මහතා විසිනි. කළුතර “ගල්පාත” ප්‍රදේශයේම පිහිටි එවන් වර්ගයේ ගසකින් ලබාගත් පත්‍ර, මල් ඇතුළු නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේත්, තවත් නිදර්ශකයක් බ්‍රිතාන්‍යයේ රාජකීය ශාකාගාරයේත් (කිව් ගාර්ඩ්න්) තැන්පත් කරමින් ඔහු විසින් මෙම ශාකය Crudia Ceylanica නමින් විද්‍යා ලොවට හඳුන්වා දී (Describe) ඇත.

අනතුරුව මෙම ශාකයේ තවත් නිදර්ශකයක් 1911 පෙබරවාරි මස 20 වැනිදා ජේ. එම්. සිල්වා මහතා විසින් එක්රැස් කර පේරාදෙණිය ශාකාගාරයේ තැන්පත්කර ඇත. ඒ බොහෝ විට කළුතර ගල්පාත පිහිටි ගසේම නිදර්ශකයක් විය හැකි බවට පර්යේෂකයෝ විශ්වාසය පළ කරති. ඉහත තොරතුරු අනුව පසු කලෙක ගල්පාත ගස නිරීක්ෂණයට ගිය අයකු එම ගස කපා දමා ඇති බවට වන සටහනක් පේරාදෙණියේ තැන්පත්ව පවතින නිදර්ශකය මත පැන්සලයකින් සටහනක් දමා තිබේ. ඒ අනුව කෲඩියා පිළිබඳ මතකය සමාජයෙන් ගිලිහී යනු ලබන අතර, 1999, 2007, 2012 යන ජාතික රතු දත්ත වාර්තාවන්හි මෙම ගස පිළිබඳව සටහන් වී ඇත්තේ මෙරටින් වඳවී ගිය ශාකයක් (EX) ලෙසිනි. ඒ වසර 50 ක් තුළ මෙම ශාකය වාර්තා නොවීමේ සිද්ධාන්තයට යටත්වය. ඒ අනුව යමින් පාසල් විෂය නිර්දේශයේ රජය මගින් ප්‍රකාශයට පත්කර ඇති විද්‍යාව 13 වසර පෙළ පොතටද Crudia Ceylanica යනු වඳවී ගිය (Extinct) ශාකයක් ලෙස ඇතුළත් කර තිබේ.

කෲඩියා සිලනිකා යළිත් ගම්පහ දාරළුවෙන් වාර්තාවන්නේ එවන් තත්ත්වයක ගස තිබියදීය. මහා සංවර්ධන ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා අවශ්‍ය බව සංරක්ෂණය සඳහා ස්ථාපිත කර ඇති රජයේ ආයතන කීවද, එවන් අවංක, සැබෑ පරිසර බලපෑම් තක්සේරු පරීක්ෂණ (EIA) මෙරට සිදුනොවන තරම්ය. එනම්, මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා වන පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාව දෙපාරක් සිදුකිරීමෙන් හා දෙතුන් වතාවක් පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුද, කෲඩියා ශාකය ඒ පරීක්ෂණ දෙකටම හමුනොවීම මහා පුදුමයකි. නොහොත්, මධ්‍යම අධිවේගය සඳහා කරනු ලැබූ සියලු පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තා ව්‍යාජ ඒවා බැවින් වහාම ඒ පිළිබඳව සොයා බලා ඒ සඳහා කරන ලද ගෙවීම් (මේවාට ගෙවන්නේ ව්‍යාපෘතියෙන් ප්‍රතිශතයකි.) වහාම ආපසු අයකරගත යුතු බව අපගේ ඉල්ලීමයි. කෙසේ හෝ 2019 නොවැම්බර් 17 දින දාරළුවේ අදාළ පරිසර පද්ධතිය ගවේෂණය කරනු ලබන පරිසරවේදී හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා විසින් කරන ලද පරීක්ෂණයකින් පසු මෙම ගස කෲඩියා සිලනිකා බවට තහවුරු කර හඳුනාගනු ලැබීය. ඒ කිසිදා නොදුටු මේ ගසේ පත්‍ර පමණක් නොව, මල් පිපෙනකම් බලා හිඳ, මල්ද රැගෙන “ත්වෙට්ස් ගේ” සහ “ජේ. එම්. සිල්වා ගේ” පැරණි වාර්තා හා සන්සන්ධනය කිරීමෙනි. ඉන් පසු ලැව්ගින්නක් සේ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය මේ අලුත් සොයාගැනීම පිළිබඳ ප්‍රවෘත්තිය මතු වූ දා සිටම පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු අතර, ගසේ නීත්‍යානුකූල අයිතිය හිමි වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමටද ඔහු පසුබට නොවෙයි. එහිදී (2019 දී) වහා ක්‍රියාත්මක වන බස්නාහිර පළාත භාර හිටපු වනජීවී සහකාර අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් මහතා ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු කරනු ලැබේ.
තම දෙපාර්තමේන්තු ප්‍රධානියා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කරන ඔහු මේ සඳහා වහා පියවරක් ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටින්නට කටයුතු කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා කඩවත සිට මීරිගම දක්වා එකම පස් පිඩැල්ලක්වත් කපා නැති මොහොතකය. එසේම, මීට ප්‍රතිචාර දක්වන මධ්‍යම පරිසර අධිකාරිය ද මීට පියවර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දන්වා සිටින්නේ මේ දුර්ලභ ශාකය සංරක්ෂණයට පියවර ගන්නා ලෙසයි. නමුත් හිතුවක්කාර (දේශපාලන) තීන්දුවක් ගන්නා මාර්ග සංවර්ධන අධිකාරිය මධ්‍යම අධිවේගයේ මාර්ග සැලසුම අඟලක්වත් වෙනස් කරන්නට එකඟ නොවී ගත් අත්තනෝමතික, උද්දච්ච නොසලකා හැරීම නිසා අද කෲඩියා ගස ගලවා, මරා, මඩේ ඔබා විනාශ කිරීම මහා අපරාධයක් නොවන්නේද..? එනම්, කෲඩියා මරා දැමීම තනිකරම අපරාධයකි. එහි ශාපය කෙතරම්ද යන්න අපි ඉදිරියේ බලා සිටිමු. හෙවත් වරක් රත්නපුරට මහා ගංවතුර ඛේදවාචකයකට මුහුණ දෙන්නට සිදු වුණේ සිරිපා අඩවියේ දිවි ගෙවූ දළ ඇතෙකු මරාදැමීමෙන් බව එකල සුලභව කියූ කතාවකි. නොහොත් අප ඉල්ලා සිටින්නේ කෲඩියා යට තිබුණු සත්‍ය කතාව නිවැරදිව තේරුම් ගන්නා ලෙසටය. නියපොත්තෙන් කරන්නට තිබුණු දෙය පොරොවෙන් නොව, බුල්ඩෝසරයෙන් ද කළ මහා අපරාධය හා එහි පිටුපස තිබූ අක්‍රමිකතාව සොයා බලන ලෙසය. මෙහි මූලික වගඋත්තරකරුවා මාර්ග සංවර්ධන අධිකාරියයි. ගම්පහ හිටපු දිස්ත්‍රික් වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය සැබැවින්ම මේ සඳහා මැදිහත් වන්නේ මීට වගකිව යුතු වනජීවී දෙපාර්තමේන්තුව නිද්‍රාශීලීව සිටින මොහොතක තම දෙපාර්තමේන්තුව වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගෞරවය රකින්නට මෙන්ම සහ තම බල ප්‍රදේශයේ සිදුවන අකටයුත්තක් බලාසිටින්නට නොහැකි තැනය. ඇත්තටම ඇයට මේ සඳහා තිබුණේ අයිතියකට වඩා කැක්කුමක් බව අද ඇයට අපහාස කරන වුන් දැනගත යුතුව ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගය කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේම දිගුවක් ලෙස සකස් කරන්නට තීන්දුකර තිබුණද, පසුව එය කොළඹ පිටත වටරවුම් (අධිවේගී) මාර්ගයේ දිගුවක් ලෙස කඩවත සිට දඹුල්ල දක්වා ලෙස වෙනස් කර ඇත. ඒ අනුව අවසන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සකස් වන්නේ කඩවත සිට දඹුල්ල දක්වාය. Skills International නම් සංවිධානයක් මගින් මෙහි කොටස් දෙකකට වශයෙන් වූ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සකසනු ලබන්නේය. ඒ එඬේරමුල්ලේ සිට මීරිගමටත් එතැන් සිට දඹුල්ලටත් වශයෙනි. මෙම වාර්තාවට අනුව මධ්‍යම අධිවේගී මාර්ගය ගම්පහ පසුකර දාරළුව (දුම්රිය ස්ථානයට යාබදව) ගම්මානය මැදින් ගමන් ගන්නා බව සඳහන් වුවද දාරළුවේදී කෲඩියා සිලනිකා නම් ගසක් හෝ හඳුනාගන්නට නොහැකි වෙනත් කුමන හෝ ගසක් එහි ඇති බවටවත් එම වාර්තාවෙන් හඳුනාගන්නේ නැත. ඒ නැතත්, ඊට පසු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පසුව සිදුකර හඳුනාගනු ලබන මැන්ඩෝර (Vatica paludosa) නම් ශ්‍රී ලංකාවට අවේණික, දුලභ, වඳවීයෑමේ තර්ජනයට ලක්වූ ශාකය හෝ එවැනිම තර්ජනයට ලක්වූ වැල් වර්ග තුනක් එනම් හීං හිඹුටු (Salacia chinensis), බූවසතැල් (Bonamia semidigyna) සහ Combretum acuminatum පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් හඳුනාගන්නේ නැත. එබැවින් Skills International නම් සංවිධානය මගින් මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධව කරන ලද පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සම්පූර්ණයෙන්ම පාහේ සාවද්‍ය, දෝස සහිත වාර්තාවක් බව අපගේ පිළිගැනීමයි. මේ සඳහා කොපමණ මුදලක් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වාද යන්න හෙළිකළ යුතුවන අතර, ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නේ කෙලෙසද යන්න බලධාරීන් වහා හෙළිදරව් කළ යුතුව ඇත.

කෙසේ හෝ කොටස් දෙකකට සිදුකර ඇති ඉහත පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව මධ්‍යම පරිසර අධිකාරියේ ඉල්ලීම පරිදි තනි වාර්තාවක් බවට නැවත සකස් කරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අංශයේ ක්‍ැබඑරු දෙර Sustainability ආයතනය මගිනි. ඒ කෙසේ හෝ කෲඩියා සිලනිකා නම් වඳවී ගිය බවට සංරක්ෂණ ලේඛනවල සඳහන් ශාකය නැවත දාරළුවෙන් හඳුනාගන්නා ලද්දේ එම පරසර බලපෑම තක්සේරු වාර්තා දෙකෙන් එකකින්වත් නොව, පෙර අප සඳහන් කළ හිමේෂ් දිල්රුවන් ජයසිංහ නම් ශාක පිළිබඳ විශේෂාංග දැනුමක් ඇති පරිසරවේදියා විසින් නිසා ඔහුට ජාතියේ ගෞරවය හිමිවිය යුතුය. ඔහු විසින් හඳුනාගන්නා ලද්දේ මෙසේ ගලවා දමන ලද දාරළුවේ ශාකයයි. නොහොත්, මෙම දාරළුවේ Crudia Ceylanica ශාකය යනු වසර 50 කටත් වඩා කාලයක් ලංකාවෙන් වාර්තා නොවී තිබී යළිත් එම ශාකය මේ බවට වාර්තා කරන ලද “සමරු ශාකය” යි. මෙසේ ගලවා විනාශකර දමන්නේ එම ශාකයයි. තවත් පඬු කරඳ ශාක කිහිපයක් අනතුරුව හඳුනාගන්නා ලද්දේ මේ ශාකයේ කොළ, මල් යනාදිය රැගෙන ගොස්

හඳුනාගැනීමෙන් පසුවය. අපගේ අදහස නම්, මෙවන් සමරු වෘක්ෂයක් භාවිතයට ගෙන එම ශාකය “ස්ථානයේ තිබියදීම” සංරක්ෂණය කර, (Exsitu Conservation) අදාළ ස්ථානය සංචාරක ආකර්ශනීය ස්ථානයක් බවට පත්කළ හැකිව තිබුණු බවයි. එසේ කරන්නට හැකියාව තිබිණි නම්, එතැන තිරසර සංවර්ධනය යනුවෙන් රටේ පාලකයන්ම නිතර දෙවේලේ මතුරන මන්ත්‍රණය යථාර්ථයක් කරන්නට අවස්ථාවද හොඳටෝම තිබිණි. ශාකයත් එතැනම තියාගෙන, මාර්ගයත් නිම කරන්නට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. එවන් දක්ෂ ඉංජිනේරුවන් අපට නැති වීම ගැන එක අතකින් අප ලජ්ජා විය යුතු අතර, ගස උදුරා දැමීමෙන් ගිලිහී ගියේ ලෝකයට කියන්නට තිබූ එම “තිරසර සංවර්ධන” කතාව පමණක් නොව, රටට ඩොලර් ගෙනෙන්නට තිබුණු අනගි අවස්ථාවක් බවද සිහිපත් කරනු කැමැත්තෙමි. ගම්පහ හෝ දාරළුව සංචාරක පුරවරයක් කරන්නට අවස්ථාව හොඳටම තිබුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංගට ය. තමන්ගේ බලප්‍රදේශයේ තිබූ මෙම සම්පත රටට ඩොලර් හොයන සංචාරක ව්‍යාපෘතියකට යොදාගන්නට ඔහුට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. ධනාත්මකව කල්පනා කරන්නට මොළයක් තිබිණි. අඩුම තරමින් මෙවන් වැඩවලට දක්ෂ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙවන් විශ්මිත එහෙත් ධනාත්මක වැඩක් කරන්නට 2019 සිට අවස්ථාව තිබිණි. නමුත් වත්මන් ප්‍රවාහන බලධාරීන් මැදිහත්වී ගම්පහෙන් මෙම වටිනා ගස අතුරුදන් කරන තුරු ගමේ දේශපාලන චණ්ඩි කිසිවක් කළේ නැත.

දේව හාස්කමෙන් ගස් මණ්ඩියක්ම බේරා ලංකාවේ තවත් පාරක් හදපු කතාව ලබන සතියේ කියවමු

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment