තොග මිල අඩු වුණත් සිල්ලර මිල වැඩිවෙන අමුතු සූත්තරේ

400

බිත්තර, මස්, පලතුරු දිහා බලාගෙන මිනිස්සු හූල්ලති

ඉන්දියන් බිත්තර කෝටි නවයක් ළඟදීම ලංකාවට…

මේ මාසෙ අන්තිම වෙනකොට අඩුම හාල් කිලෝවක තොග මිල 200 ට වැඩි වෙනවා…
පොළොන්නරුවේ හාල් මෝල් අයිතිකරුවෙක්…

එළවළු මිල ගොඩක් අඩුයි ඉදිරියට තව අඩු වෙනවා…
මැනිං වෙළෙඳ සංගමයේ නිලධාරියෙක්…

මාළු මිලත් ගොඩක්ම අඩුයි ඉදිරියට තව අඩු වෙයි…
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සභාපති

තොග මිල අඩු වුණත් සිල්ලර මිල වැඩිවෙන අමුතු සූත්තරේ

බඩු මිල නිතර කතාබහට බඳුන් වන මාතෘකාවකි. එමෙන්ම කොපමණ කතා කළ ද මිනිසුන්ට එපා නොවන මාතෘකාවකි. ඒ මෙරට වෙළෙඳපොළේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් රටේ ජනතාව අවදියෙන් සිටින නිසාය. මේ දිනවල වෙළෙඳපොළේදී නිතර කනවැකෙන කතාව හාල් මිල වැඩිවීමය. රුපියල් 180 ට තිබුණු නාඩු හාල් කිලෝව 190 සිට 220 දක්වා වැඩි වී තිබේ. රුපියල් 200 ට තිබුණු සම්බා හාල් කිලෝව මේ වෙනකොට රුපියල් 230 සිට 240 දක්වා වැඩි වී තිබේ. 160 – 170 ට තිබුණු සුදු කැකුළු කිලෝව මේ වනවිට 200 – 210 ට දක්වා ඉහළ ගොස් ඇත. 130 – 140 ට තිබුණු රතු කැකුළු කිලෝව 160 සිට 180 දක්වා වැඩි වී තිබේ. වෙළෙඳපොළ තුළ කීරි සම්බා සොයාගැනීමට නොහැකි තරම්ය. රට හාල් ඇත්තේම නැත. සිල්ලර වෙළෙඳපොළේ හාල් මිල වැඩිවීමත් සමඟ සහල් තොග මිල විමසා බැලීමට පිටකොටුව හතරවෙනි හරස්වීදියේ තොග වෙළෙඳ සංගමයේ සභාපතිවරයාට දුරකථනය ඔස්සේ අපි කතා කළෙමු. ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරනවා වෙනුවට අපව කඩේ යැව්වේය. අනතුරුව අපි පොළොන්නරුවේ හාල් මෝල් හිමිකරුවෙක්ට කතා කළෙමු. මේ ඔහු අපට පැවසූ කතාවය.

‘මේ කන්නයේ හාල් කෙටීම සම්පූර්ණයෙන්ම නතර කළා. මේ වෙනකොට පොළොන්නරුවේ විතරක් අපේ මට්ටමේ හාල් මෝල් 35 ක් විතර වැහිලා තියෙනවා. පවතින වී මිලට අරගෙන වෙළෙඳාමක් කරන්න බෑ. වී කිලෝ 30,000 ක් ගන්න රුපියල් ලක්‍ෂ තිහක් විතර ඕන. අමු වී කිලෝව රුපියල් 100 ට ගිහින් තියෙනවා. නාඩු වී කිලෝව 110 යි. මේ මාසෙ අන්තිම වෙනකොට අඩුම හාල් කිලෝවක තොග මිල රුපියල් 200 ට යනවා…’ පොළොන්නරුවේ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමිකරුවෙක් වූ සුරාජ් එසේ කියනවිට මට බියක් දැනිණි. ඉන්දියාව සහල් ආනයනය නොකරන, මේ වන විට රට හාල් මෙරටට නොයෙන පසුබිමක දේශීය සහල් කිලෝවක අවම තොග මිල රුපියල් 200 ට ඉහළ ගිය විට පවතින වෙළෙඳ මාෆියාව හරහා එම හාල් කිලෝව පාරිභෝගිකයින් අතට පත් වන විට කීයක් වේද? ග්‍රාමීය, නාගරික දරිද්‍රතාව තෙගුණ නොව, සිව් ගුණ, පස් ගුණ තත්ත්වයට පත්ව වේලක්, දෙකක් බත් කන මිනිසුන්ට ඒ බත්පතත් නැති වේ දෝ යන බියෙන් මගේ සිත සලිත විය. එහෙත් පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳ සංගමයේ හිටපු ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් එළවළු මිල සම්බන්ධයෙන් පැවසූ කතාවත් සමඟ බියෙන් තැතිගත් සිතට පුංචි අස්වැසිල්ලක් ලැබිණි.

‘මේ දිනවල එළවළු මිල හොඳටම අඩුයි.

තොග මිල විදිහට ලීස් කිලෝව රුපියල් 80-100 යි. බීට් කිලෝව 100 යි. ගෝවා කිලෝව 100-120 යි. බණ්ඩක්කා කිලෝව රුපියල් 60-70 යි. බතල කිලෝව රුපියල් 60-70 යි. පිපික්‍ද්ක්‍දා කිලෝව 60-80 යි. වැටකොලු රුපියල් 100 යි. වම්බොටු කිලෝව 200- 250 යි. මාලු මිරිස් රුපියල් 200-250 යි. බෝංචි, කැරට්, ලංකා අල, අමු මිරිස් මිල ටිකක් වැඩියි. බෝංචි කිලෝව රුපියල් 300-350 යි. කැරට් කිලෝව 250-300 යි. ලංකා අල කිලෝව රුපියල් 300-320 යි. රට අල 220 යි. අමු මිරිස් කිලෝව 500-600 දක්වා වැඩි වෙලා තිබුණා. දෙහි කිලෝවත් රුපියල් 700-800 යි. මේ දිනවල ලැබෙන එළවළු අස්වැන්නත් වැඩියි. ඉදිරි කාලයේදී එළවළු මිල තව අඩු වෙයි…’ නුවරඑළිය, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානවල තොග ව්‍යාපාරිකයන්ගේ අදහස වූයේ ද ඉදිරියේදී එළවළු මිල තව පහළ යන බවය. එහෙත් නගරයේ සහ ගමේ සිල්ලර එළවළු වෙළෙඳපොළේ සියලු එළවළු ග්‍රෑම් 500 ක මිල රුපියල් 100 හෝ ඊට වැඩිය. සුපර් මාර්කට්වල එළවළු මිල දුටුවිට දෑස් විසල් විය. ඒ තරමට වැඩිය. එම මිල ගණන් දකිනවිට සැමදා මතුරන මන්තරය නැවත මතකයට නැඟිණි. මේ රටේ හාල්, එළවළු, පලතුරු ආදී දේශීය නිෂ්පාදන පමණක් නොව පිටරටින් ආනයනය කරන සියලු භාණ්ඩවල මිල පාරිභෝගිකයන්ට දරාගැනීමට නොහැකි තත්ත්වයට වැඩි කර ඇත්තේ අතරමැදි කළු කඩ ව්‍යාපාරිකයන්ය.

වෙළෙඳපොළ තුළ ඒකාධිකාරිය ගොඩනාගෙන සිටින තොග ව්‍යාපාරිකයන් ආනයනය කරන භාණ්ඩ ගබඩා තුළ රඳවාගෙන ඉල්ලුම, සැපයුම සහ ඩොලරයේ උස්, පහත්වීම මත දවසින්, දවස මිල වෙනස් කරමින් වෙළෙඳපොළට නිකුත් කරන බව සැබෑය.

ගබඩාවල තැම්බෙන අල, ලූනු මිල අදට වඩා හෙට වැඩිය. මාස ගණන් පරණ හාල්වල මිල හිතු හැටියේ වැඩි කරන්නේය. අල, ලූනු, හාල් පමණක් නොව ආනයනික සියලුම භාණ්ඩවල මිල වෙනස් කිරීමේ න්‍යාය පොදුය. ආනයනික භාණ්ඩවලට පමණක් නොව දේශීය භාණ්ඩවලට ද එම න්‍යාය පොදුය. මේ වන විට තම අස්වැන්නට නිසියාකාර මිලක් නොමැතිව වගා බිම් බේරාගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව ගොවීහු මැසිවිලි නගති. එහෙත් පරිභෝගිකයන්ට දරාගැනීමට නොහැකි තත්ත්වයකට එළවළු මිල වැඩි වී තිබේ. මේ දෙපාර්ශ්වයම අසරණ කර ඇත්තේ අතරමැදි තොග වෙළෙඳුන්ය.

එළවළු මිල තීරණය කරනුයේ වගා කරන ගොවීන් නොවේ. වගාවට කිසිදු සම්බන්ධයක් නැති කට්ට, කෛරාටික තොග වෙළෙඳුන්ය. මේ කපටි වෙළෙඳුන් පාලනය කර, මේ රටේ අසරණ ගොවීන් ආරක්‍ෂා කරගෙන පරිභෝගික ජනතාවට සාධාරණ මුදලකට එළවළු ලබාදීමට අදාළ පාලකයන්ට සහ නිලධාරීන්ට තවම වැඩපිළිවෙළක් නොමැතිවීම රටේ කරුමයකි. එමෙන්ම පසුගිය කාලයට සාපේක්‍ෂව ආනයනික මෙන්ම දේශීය පලතුරු මිල අඩු වී තිබේ. පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ පලතුරු වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රියන්ත විජේසුන්දර පවසා සිටින ආකාරයට කෙසෙල් ඇතුළු දේශීය පලතුරු මිල විශාල වශයෙන් පහළ බැස තිබිණි. එහෙත් පලතුරු මිලදී ගැනීමට සල්ලි නැති මිනිස්සු හූල්ලමින් යන අයුරු දකිනවිට නම් හදවත දැවෙන බව හේ අපට කීවේය. එමෙන් වියළි කලාපයේ ගම්වල ගස් යට වැටී කුණු කොල්ලයට යන දිවුල් කිලෝව නගරයේ, ගමේ පලතුරු තට්ටුවල රුපියල් තුන් හාරසීයට විකුණන බව ද ප්‍රදේශ කිහිපයක පලතුරු වෙළෙඳසල්වලදී අපට දැකගැනීමට ලැබිණි. සිල්ලර වෙළෙඳපොළේ අසාමාන්‍ය මිල වැඩි කිරීමත් සමඟ පරිභෝගික ජනතාව පලතුරු මිලදී ගැනීමෙන් විශාල වශයෙන් වැළකී සිටින බව පිටකොටුව බෝගහා යට පලතුරු තට්ටු සමීපයේදී අහම්බෙන් අපට මුණගැසුණු ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් ද පැවසීය. ඔහු පලතුරුවලටත් වඩා හාල්, මස්, බිත්තර වෙළෙඳාම ගැන ලස්සන කතාවක් කීවේය.

‘පරිසර ඇමැතිවරයා කියනවා රටට සෑහෙන්න හාල් තියෙනවලු. කෙහෙල් මල… කිව්වොත් කියන්නෙ බොරුමයි. හාල් හිඟයක් එනවා නම් පෙර සිට සහල් තොග ගබඩා කරගන්න වැඩපිළිවෙළකට රජය යන්න ඕන. සත්ව ගොවිපළවලට හාල් දෙන එක නතර කළා. බියර් නිෂ්පාදනයට හාල් දෙන එක නතර කළා. එහෙම කරලා ඉතුරු කරගත්ත හාල් තොග කෝ… රටේ බොහෝ ප්‍රදේශවල කුඹුරු කරලා නෑ. දැන් ගොවීන්ට දෙන පොහොරවලත් වැලි කියනවා. මෑත කාලේ බලයට පත් වෙච්ච එකම ආණ්ඩුවකටවත් මේ රටේ හාල් මිල පාලනය කරන්න බැරි වුණා. පොළොන්නරුවේ මහ පරිමාණ හාල් මෝල්කාරයන්ව පාලනය කරන්න පුළුවන් ජගතෙක් නොයෙන්න සක්කරයාගෙ පුතා වයිමටවත් මේ රටේ හාල් මිල අඩු කරන්න බෑ. ඒ වගේම පහුගිය දවස්වල කුකුළු මස් කිලෝවක් රුපියල් 100 න් අඩු කරන්න කියලා සමස්ත ලංකා කුකුළු ෆාම් හිමිකරුවන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා. මොන මස් වෙළෙන්දාද අඩු කළේ. බොයිලර් කුකුළු මස් කිලෝව 1300 යි, 1350 යි. අනිත් ඒවා ඊට වැඩියි. ඒ අල්ලපනල්ලෙ අදාළ ඇමැතිවරයා වලිකනවා කුකුළු මසුත් ඉන්දියාවෙන් ගෙනත් අටසීය ගානට වෙළෙඳපොළට දාන්න. තවත් බිත්තර කෝටි නවයක් ඉන්දියාවෙන් ආනයන කරන්න යනවා කියනවා. අදාළ අමාත්‍යාංශවල මැති, ඇමැතිවරුන්ගේ මුවින් පිට වෙන්නෙ ම ආනයනික හඬ. අපේ රටේ ඉන්නෙ දේශපාලනඥයො නෙමෙයි, ජනතාවගේ මනාපයෙන් බිහි වෙච්ච ව්‍යාපාරිකයො. දැන් වෙළෙඳපොළේ තියෙන බිත්තර හූනු බිත්තර වගෙයි. ඒත් බිත්තරයක මිල රුපියල් 45-50යි. මේවා කතා කරලා ඵලක් නෑ. වචන අපරාදේ…’ හේ නිහඬ විය. අපි කුකුළු මස් හැර වෙළෙඳපොළේ විකිණීමට තබා ඇති සෙසු මස් වර්ගවල මිල ගැන සෝදිසි කළෙමු. ඌරු මස් කිලෝව රුපියල් 1500 ට ආසන්නය. හරක් මස් කිලෝව රුපියල් 2300 කි. එළු මස් කිලෝව රුපියල් 3500 දක්වා මිල වැඩි වී තිබේ. වාර්තා වන ආකාරයට හරකුන්, එළුවන්, ඌරන් මාරාන්තික රෝගයකින් මිය යෑමේ තර්ජනයකට මුහුණ දී සිටිති. කුකුළු ගොවිපළවල ද මාරාන්තික රෝගයක් පැතිරෙමින් සතුන් මිය යමින් තිබෙන බව වාර්තා වේ. මේ සියලු සතුන්ට එක විට රෝග වැළඳී මිය යෑමේ පසුබිමක ඉදිරි කාලයේදී මෙරට මාංස හිඟය මීටත් වඩා බරපතළ තත්ත්වයකට පත්වන බවට ද සැක පහළ වෙමින් තිබේ. එවැනි තත්ත්වයක් තුළ ප්‍රෝටීන් ඌණතාව වැඩිවීම, වයස අවුරුදු පහට අඩු දරුවන් මන්දපෝෂණ තත්ත්වයට පත්වීම සීග්‍රයෙන් ඉහළ යනු ඇත. එමෙන්ම වර්තමානයේ ඇති වන පෝෂණ ඌණතා සහ මන්දපෝෂණ තත්ත්වයන්වල භයානක ප්‍රතිඵල දැකබලා ගැනීමට පුළුවන් වෙන්නෙ අද නොවේ, තව වසර පහ, හයකින් බව ද මතක් කර තැබිය යුතුය. එහෙත් මේ වනවිට මාළු මිල සීග්‍රයෙන් අඩු වෙමින් තිබෙන බව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි මහතා අපව දැනුවත් කළේය.

‘ලොකු කෙලවල්ලා කිලෝව 1500යි. පොඩි එක 1200 යි. ලොකු බලයා කිලෝව රුපියල් 700 -800 යි. බල පැටව් කිලෝව 350 යි. ලින්නා කිලෝව රුපියල් 400-450 යි. අලගුඩුවො කිලෝව 300-400 යි. තලපත් ටිකක් මිල වැඩියි. කිලෝව රුපියල් 2500 යි. කොප්පරත් ඒ වගේ මිලක් වෙනවා. පරව්, තෝර මාළු මිලත් පහළ බැස්සා. දැල්ලො කුණු කොල්ලයට ගියා. වෙනදට වඩා දැන් වෙළෙඳාමත් වැඩියි. දැන් මාළු අහු වෙන්න පටන් ගත්තා විතරයි. ඉදිරියේදී මාළු මිල තව අඩු වෙනවා…’ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ තොග මිලට සාපේක්‍ෂව සිල්ලර වෙළෙඳපොළේ මාළු මිල වැඩි වුවද පරිභෝගිකයින්ට සැලකිය යුතු සහනයක් ලැබී ඇති බව ප්‍රදේශ කිහිපයක මාළු ලෑලිවලට ගිය අපට දැකගැනීමට ලැබිණි. එහෙත් මාළු මිල අඩුවීමට සාපේක්‍ෂව කරවල මිල අඩු වී නොමැත. තලපත් කරවල කිලෝව තොග මිල 2500 ට ආසන්නය. හාල් මැස්සො, කීරමින් වගේ පොඩි කරවල මිල අඩු වී තිබෙන බව පැහැදිලිය. එහෙත් ආනයනික කරවලවල කොලිටිය මත මිල වෙනස් වේ. මෙරටට කරවල ආනයන කරන රටවල් අතර ගුණත්වයෙන් ඉහළ ම කරවල ලබාදෙනුයේ මාලදිවයිනෙනි. එහෙයින් මාලදිවයිනේ කරවලවල මිල වැඩිය. සෙසු රටවල මෙන්ම මෙරට කරවල මිල අඩුය. එහෙත් පසුගිය දිනවල පැවැති දැඩි නියං තත්ත්වය හේතුවෙන් නගරයෙන් බැහැර බොහෝ ගම්බද ප්‍රදේශවල තේ දලු අස්වැන්න අඩුවීමත් සමඟ වෙළෙඳපොළට පැමිණෙන පරිභෝගිකයන් විශාල වශයෙන් අඩු වී ඇති බව රත්නපුර කලවාන සති පොළේ කරවල වෙළෙඳාම් කරන වෙළෙන්දෙක් අපට කීවේය.

‘මේ මාසෙ නන්නත්තාරයි. පහුගිය දවස්වල පෑවිල්ල නිසා දලු අස්වැන්න විශාල වශයෙන් අඩු වුණා. දලු කිලෝ 300 කඩපු මිනිස්සු දැන් කඩන්නෙ කිලෝ 30 යි 40 යි. ඒ නිසා ගම්වල මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. මේ මාසෙ කලවාන පොළට ආපු පිරිස බාගෙට, බාගයක් අඩු වුණා. ආපු අයත් අත්‍යවශ්‍ය බඩු විතරයි අරගෙන ගියේ. මිල අහලා හාල් මැස්සො, කීරමින් පොඩි කරවල ටිකක් ගත්තත් ලොකු කරවල දිහා බැලුවේ නෑ. යන්තම් බිස්නස් එක හැදිලා එනකොට පෑවිල්ලක් හරි ඇවිත් ඒක නැති වෙනවා. මේක මහ කරුමයක්…’ හේ කතා කළේ දැඩි කලකිරීමෙනි. එහෙත් සොබාදහම මේ රටට සාපයක් නොවේ. නියං සායෙන් ඉරි තැලී ගිය පොළව බත් වෙන්න බොහෝ ප්‍රදේශවලට දැන් වැසි වැටෙති. හෙට, අනිද්දා, සතියක් යනකොට ඉතිරි ප්‍රදේශවලට ද ධාරනිපාත වර්ෂාව ඇද හැලේ.

එහෙත් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දෙන ආකාරයට රට තුළ ආර්ථික අර්බුදය නැවත උත්සන්න වීමට ඉඩ තිබේ. පැවැති උද්දමනයේ යම් අඩුවීමක් ඇති බව සැබෑය. එහෙත් මිල මට්ටම් වැඩිවීමේ වේගය අවම වුවද මිල මට්ටම් අඩු වී නොමැත. පසුගිය කාලයේ මාසයක් තුළ මිල මට්ටම් වැඩිවීමේ වේගය 70% ක් ලෙස පැවැතිණි. මේ වන විට එය 20% ට වඩා පහළ මට්ටමක පැවැතීම යහපත් තත්ත්වයකි. රජය වාර්තා කරන ආකාරයට මේ වසරේ දෙසැම්බර් මාසය වන විට එම තත්ත්වය 10 ට අඩු කළ ද සෑම මාසයකම මිල මට්ටම් වැඩිවීම නතර නොවේ. එමෙන්ම ආනයනික තහනම් ලිහිල් කිරීමත් සමඟ මේ වසරේ දෙසැම්බර් වන විට ඩොලරයේ අගය තව ඉහළ යෑමට තිබෙන ඉඩ වැඩි බව ද මූල්‍ය අරමුදල පවා අනතුරු ඇඟවීම් සිදු කර තිබේ. එවැනි තත්ත්වයක් තුළ මෙරටට ආනයනය කරන සියලුම භාණ්ඩවල මිල ඉහළ යනු ඇත. ඉන්ධන මිල වැඩි වූ විට තේ කඩේ විකුණන ආප්පයේ සිට සියලු භාණ්ඩවල මිල වැඩි වේ.

එමෙන්ම රජයේ බදු ප්‍රතිපත්තිය රටේ ජනතාවට දරාගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. එහෙත් ජනතාවගේ ආදායම වැඩි වී නොමැත. මේ වන විට ඇඟලුම් ක්‍ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක්ම වසා දමා තිබේ. ඇඟලුම් ක්‍ෂේත්‍රයේ මෙන්ම වෙනත් ක්‍ෂේත්‍රවල ආයතන මෙරටින් ගලවාගෙන පිටරටවලට රැගෙන යෑමේ ප්‍රවණතාවක් ද පෙන්නුම් කෙරේ. එම තත්ත්වය මත රට තුළ රැකියා අහිමි වෙන පිරිස වැඩි වේ. ඒ සියලු කරුණු කාරණා බුද්ධියෙන් විමසූ විට රට තුළ පවතින දරිද්‍රතාව තව, තවත් වැඩි වී මේ රටේ අනාගතය දැඩි අන්ධකාරයකට තල්ලු වෙමින් තිබෙන බව මන්දබුද්ධික නොවන නිලධාරීන්ට සහ පාලකයන්ට තේරුම් යනු ඇත. එහෙත් රට තුළ පවතින දාරිද්‍රතාව, පාරිභෝගික ගැටලු සහ ඉහළ, පහළ යන බඩු මිල ගැන මාධ්‍ය තුළින් කෙසේ දැනුවත් කළ ද පාර්ලිමේන්තුවේ සිටින එකදු මන්ත්‍රීවරයෙක් හෝ එම ගැටලු සම්බන්ධයෙන් කතා කරන බවක් නොපනේ. මැති සබය තුළ හඬක් නොනැගෙන පසුබිමක වෙළෙඳ මාෆියාව විසින් හිතු මතේ භාණ්ඩ මිල වැඩි කරයි.

ඉහළ යන බඩු මිල දකින රටේ බහුතරය හූල්ලමින් කල් මරති. ජීවත් වීම උදෙසා මොනවා හෝ බඩමාළුවකින් කුස පුරවා ගන්නාහ. එවැනි මිනිසුන්ට අනාගත සුබ සිහින නැත.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment