පොලිස්පති නැතිවම පොලිසිය දුවයි -ඊයේට දින 11යි

76

පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ (06 වැනිදා) වන විට 11 වන දිනටත් පොලිස්පතිවරයකු නොමැතිව අරාජික වෙමින් පවතින බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් පසු ඉකුත් 25 වැනිදා සිට මේ වනතුරුත් එම තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතුරින් කිසිවකුත් පත්කර නැත.

නව පොලිස්පති තනතුර සඳහා නිලධාරියකු පත් නොකිරීම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ මත අදහස් පල වෙමින් පවතී.

ඇතැමකු පවසන්නේ හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට නැවත මාස 3 ක සේවා දිගුවක් ලබාදීමට නියමිත බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් බලධාරීන් පවසන්නේ අවුරුදු 60 ඉක්මවූ පොලිස් නිලධාරියකු වෙනුවෙන් සේවා දීර්ඝ කිරීමක් ලබාදීම නීති විරෝධී බවයි.

36 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන ලලිත් පතිනායක දේශබන්ධු තෙන්නකෝන් මහත්වරුන් සුදුසුකම් ලබා සිටිති.

එහෙත් ඇතැම් පාර්ශ්වයන් පවසන්නේ මෙම නිලධාරීන් තිදෙනාටම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බැවින් ජ්‍යෙෂ්ඨත්වයෙන් සිව් වැනි සහ පස්වැනි ස්ථානවල සිටින ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න යන මහත්වරුන් අතුරින් එක් නිලධාරියකු පොලිස්පති තනතුර සඳහා පත්කරනු ඇති බවයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment