ඇමැතිගේ ගැසට් එක එක පැත්තක ක්‍රීඩාව තවත් පැත්තක – හිටපු පාපන්දු ලේකම් සුනිල් සෙනවීර

99

ක්‍රීඩා ඇමැතිවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා විසින් මෙරට ක්‍රීඩාව සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් කරන ලද ගැසට් නිවේදනය පසෙක දමා ක්‍රීඩාවේ ඇතැම් කටයුතු සිදු වෙමින් පවතින බවද එම තත්ත්වය වටහා ගෙන ගැසට් එකට අදාළ දේ ක්‍රියාත්මක කිරීමට ඔහු ඉදිරියේ දී කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වන සුනිල් සෙනවීර මහතා සඳහන් කළේය.

ක්‍රීඩා ඇමැතිවරයා ලෙස ඔහු තම රාජකාරිය ඉටු කරනු ඇති බවට තමන්ට විශ්වාසයක් ඇති නමුත් තමන් ඉදිරිපත් කළ ගැසට් නිවේදනය අමු අමුවේ උල්ලංඝනය වන තත්ත්වයක් දැන් මෙරට ක්‍රීඩා පරිපාලනයේ දක්නට ලැබෙන බව ද ඒ මහතා පැවසීය. හිටපු අන්තර්ජාතික පාපන්දු විනිසුරුවරයකු මෙන්ම ගම්පොල පාපන්දු ලීගයේ ලේකම්වරයා ද වන වන සුනිල් සෙනවීර මහතා කොළඹ දී ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ බව සඳහන් කළේය.

පාපන්දු පරිපාලනයේ නරකම සහ දූෂිතම වසර 2022 වසර බවත් එම කාලය තුළදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් තමන් බොහෝ අවස්ථාවල ලිඛිතව ක්‍රීඩා අමාත්‍යාංශයට, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ට සහ අදාළ බලධාරීන්ට පැමිණිලි කළද ඒවාට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව ද ඒ පැමිණිලි විභාග කරනවා වෙනුවට ඒවා යට යන තත්ත්වයක් පැවති බව ද සෙනවීර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර තහනමක් පැනවුවහොත් ඊට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ අදාළ කාලය තුළදී ව්‍යවස්ථාව සංශෝධනය නොකර නිලවරණය නොපවත්වා කටයුතු කළ හිටපු පාපන්දු සභාපති ප්‍රමුඛ විධායක කමිටුව බව ද ඒ මහතා පැවසීය.

තව දින 3කින් පාපන්දු නිලවරණය පැවැත්වීමට නියමිතය. එහෙත් එම නිලවරණය සඳහා තරග කරන තමන්ගේ නියෝජිතයින් කවුරුන්ද යන්නවත් පාපන්දු ලීග නියෝජිතයන් මෙතෙක් නොදන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම නිලවරණය පැවැත්වීම සඳහා පත් කර ඇති නිලවරණ කමිටුව පිළිබඳව තමන්ට කිසි විශ්වාසයක් නොමැති බවද ක්‍රීඩා ඇමැතිවරයාගේ නව ගැසට්ටුවට පිටුපාමින් නිලවරණ කමිටුව කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.

උසාවි නියෝගයට අනුව ලබන 14 වැනිදා නිලවරණය පැවැත්විය යුතු බව ද නොඑසේ නම් එය අධිකරණ නියෝගයට පිටුපෑමක් බවද කෙසේ වෙතත් අමාත්‍යාංශය මැදිහත්ව පාපන්දු නිලවරණය පැවැත්වීමට සිදුවීම පිළිබඳව හිටපු පාපන්දු පරිපාලනය ලැජ්ජා විය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය. පසුගිය නිලවරණයෙන් පාපන්දු විධායක කමිටුවට පත් වූ හිටපු සභාපති ජස්වර් උමර් මහතා ප්‍රමුඛ පිරිස එහිදී සිදු කළේ තවත් නිලවරණයකට සූදානම් වීම මිස පාපන්දුව දියුණු කිරීමට අදාළ දේවල් නොවන බව ද ඒ මහතා සඳහන් කළේය.

ක්‍රීඩාවට දේශපාලනය ගෑවීම ක්‍රීඩාවේ පරිහානියට ප්‍රධාන හේතුව බවත් පැවැති පාපන්දු පරිපාලනයේ විනිවිදභාවය සහ පාරදෘශ්‍යභාවය නොමැතිවීම මෙරට පාපන්දු පරිපාලනයේ දූෂිතම කාලය එය බවට පත්වීමට හේතු වූ බව ද සුනිල් සෙනවීර මහතා කීය. පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රවේශපත්‍ර ද හිටපු සභාපතිවරයා තමන්ට හිතවත් ලීග වෙත ලබාදුන් බවද මේ සියල්ල ඔහු සිදු කළේ තමාට ලබා දුන් ඡන්දයට කලගුණ සැලකීමක් ලෙස මෙන්ම ඉදිරියේ එන නිලවරණයේ ඡන්ද අල්ලසක් ලෙස බවත් ඒ මහතා පැවසීය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment