උෂාන් තිවංකගේ වීසා ප්‍රශ්නය – වරදක් කළත් ඉදිරියට බාධාවක් නොවේ

455

ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා වීසා ප්‍රශ්නයක් යැයි කියමින් එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගි නොවීම වරදක් වුවත් ඔහු යළි සුපුරුදු දස්කම් දැක්වුවහොත් රට වෙනුවෙන් ඉදිරි ජාත්‍යන්තර තරගවලට සහභාගි වීමට ඔහුට එය බාධාවක් නොවන බව මලල ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමෙරිකාවේ වෙසෙමින් පුහුණුවීම් සිදු කරන උෂාන් තිවංක පෙරේරා තමාගේ ඇමෙරිකානු වීසා කාල සීමාව අවසන් වී ඇති බවත් ඒ නිසා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන එංගලන්තයට ඇතුළු වීම සඳහා වීසා ලබා ගැනීමට තමාට නොහැකි බවත් උෂාන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට දැනුම් දී ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආසන්නව තිබියදී ඔහු විසින් මෙසේ වීසා ප්‍රශ්නයක් මතු කළද ඔහුගේ ඇමෙරිකා වීසා කාල සීමාව නිමා වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ බවත් එතෙක් මේ දක්වා ඔහු තම වීසා ගැටලුව විසඳා නොගැනීම හාස්‍යයට කරුණක් බවත් මලල ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

උෂාන්ට සිය ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා අවශ්‍ය මුදල් වියදම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්ව ලබාදීමට කටයුතු කර තිබුණේ ද එම තරගවලදී තමන් දක්වන දක්ෂතා ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස හේතුවන බවට උෂාන් විසින් දැනුම් දීම නිසා බවද වාර්තා වේ.

මීට පෙර මීටර් 2.7 ක දක්ෂතාවක් දක්වමින් උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට උෂාන් සමත්ව තිබුණ ද පසුගිය මාසයේ දී ඔහුගේ දක්ෂතා මීටර් 2.22 දෙක දක්වා පහත වැටී තිබෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබන මස 28 වෙනිදා සිට අගෝස්තු මස 08 වෙනිදා දක්වා පැවැත්වෙයි.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment