මේ දේශපාලන අපාය ජනතාවට උරුම කළේ කවුද?

295

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් ඇමැතිවරයා ලෙස 2024 අය – වැය ඉදිරිපත් කරන ලද්දේ රටේ සමාජ දේශපාලන හා ආර්ථික වශයෙන් දැඩි කැළඹීම් මෙන්ම සංකීර්ණ ගැටුම් ද වැඩෙමින් තිබුණු පසුබිමකය. ආණ්ඩුව තුළත්, ඉන් පිටත සමාජ දේශපාලන අංශවලත් විවාදයකට තුඩු දී තිබෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම සම්බන්ධ සමස්ත සිදුවීම් මාලාව යටපත් කරමින් 2024 අය – වැය අපේක්‍ෂා සහ ආණ්ඩුවේ ආර්ථික සැලසුම් ද ඉදිරිපත් වී තිබේ. එසේ වුවද ආණ්ඩුවේ ක්‍රීඩා ඇමැතිවරයා පමණක් නොව රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට ද නොමැති බලයක් මෙ රටේ ක්‍රිකට් බලධාරීන් සතුව තිබේද යන බැරෑරුම් කරුණ ද අමතක කළ නොහැක. ආණ්ඩුවේ හා විපක්‍ෂවල ප්‍රමුඛ අවධානයක් යොමු වූ ක්‍රිකට් බලධාරීන්ගේ දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා බරපතළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. පාර්ලිමේන්තු විවාදයේදී සියල්ලන්ගේම එකඟතාවෙන් සම්මත වූ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්විය යුතුය යන යෝජනාව නිෂ්ක්‍රීය වූ ආකාරයත් ඉනික්බිතිව ලංකාවට පැන වූ ක්‍රිකට් තහනමත් පාර්ලිමේන්තුව ලැබූ ඛේදනීය පරාජයක් බඳු විය. නිසැකයෙන් ම ඒ ක්‍රිකට් තහනම පසුපස දූෂිත මෙහෙයුමක් තිබිය හැකිය. කුමක් වුවත් මෙ රටේ බහුතර ජනතාව ආදරය කළ ඔවුන්ගේ විනෝදාස්වාදයට හේතු වු ක්‍රිකට්වලට ගිය කල ගැන කිසිවෙකුට සතුටු විය නොහැකිය. ක්‍රිකට් වැනසූ මුදල් හා දේශපාලනය ද මෙරටේ සමාජ ආර්ථික දේහයම වසාගත් පිළිල නොවේද? එනිසා අපට කිව හැක්කේත් සිංහල ජන වහරේ එන බුලත් මඩිස්සලයට හෙණ වැදුණ පසු හුණු කිල්ලෝටය ගැන කවර කතා ද යන්න පමණි.

කොහොමටත් ක්‍රිකට් රැකගැනීමට පළමු රටත්, රටේ ආර්ථික, සමාජ දේශපාලනයත් සුරැකිය යුතු බව අවිවාදිතය. ඒ සඳහා ඉදිරිපත් කර තිබෙන ප්‍රබල හා ප්‍රමුඛ සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන යෝජනාවලිය ලෙස 2024 අය වැය අතිශය වැදගත් වේ. ඉහත සඳහන් කළ පරිදිම 2024 අය වැය ඉදිරිපත්ව තිබෙන්නේ කැළඹිලි, පීඩා ආදියෙන් හෙම්බත්ව සිටින පසුබිමක් තුළය. එබඳු සංකීර්ණ වාතාවරණයක ඉදිරිපත් කෙරෙන අය – වැය තුළ ඒ සමාජ ආර්ථික ගැටලුවලට සහනයක්, අස්වැසුමක් බලාපොරොත්තු වීම ද ඉතා සාධාරණය.

ජනාධිපති රනිල්ගේ අය – වැය සම්බන්ධයෙන් කෙරෙන ආර්ථික විමර්ශනයකදී ඔහුට හිමිවිය හැකි ප්‍රශංසා බොහෝ විය හැකිය. එහෙත් ඔහුගේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා සැලසුම් පිළිබඳව දේශපාලන හා සමාජ දෘෂ්ටිකෝණයෙන් බලන කෙනෙක් එහි නොයෙක් දුබලතා හා අඩුලුහුඬුකම් ද දකිති. හෝරා දෙකකට නොඅඩු කාලයක් මුළුල්ලේ සිදුකරන ලද අය – වැය කතාවෙන් යෝජනා කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීමට නම් නිසැකයෙන් ම දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ද බලාත්මක කළ යුතුය. ජනාධිපති රනිල් මෙහිදී අවධාරණය කළ කරුණක් වූයේ තමන් විසින් භාරගන්නා ලද්දේ ආර්ථික වශයෙන් පීලි පැන තිබුණු අපායක් හා සමාන රටක් බව ය. එසේම ඒ රටේ දූෂණ, වංචා හා ධනය හොරකම් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා තිබුණු බවය.

මේ රට ඉදිරියට යෑමට නම් අලුත් දේශපාලනයක් හා නූතන ගෝලීය තත්ත්වයන් සමඟ ගැලපෙන ආර්ථික ප්‍රතිසංස්කරණයක් ද වුවමනා බවට ජනාධිපති රනිල් විසින් කරන ලද අවධාරණය ද ඉතා වැදගත් ය. එහෙත් එබඳු දේශපාලන සම්මුතියක් අද ඇතිකර ගත හැකි වී තිබේද? ඇත්ත වශයෙන් ම අපට රටක් ලෙස ඉදිරියට යා නොහැකි වී ඇත්තේ ද මේ මුග්ධ දේශපාලනය නිසාම ය. ජනාධිපතිවරයා නම් අය – වැය කතාවේදී සඳහන් කළේ තමන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය දෙස බලාගෙනම මෙම 2024 අය – වැය සම්පාදනය නොකළ බවය. එහෙත් මහපොළවේ යථාර්ථය කුමක්ද? විපක්‍ෂවල අවධානය හා දේශපාලන ඉලක්කය වී ඇත්තේ ලබන වසරේ එළැඹෙන මැතිවරණ බව ඉතා පැහැදිලිය. ජනාධිපතිවරයාට සහාය ලබාදෙන පොදුජන පෙරමුණ පවා කියන්නේ අද ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බවත් ඔවුන්ට කවර හෝ සහනයක් මේ අය – වැයෙන් ලැබිය යුතු බවත් ය.

ඇත්ත වශයෙන් ම මේ අය – වැය ඉදිරිපත් වූයේ භාණ්ඩ හා සේවා මිල අධිකව තිබෙන පසුබිමක ය. විදුලිය, ඉන්ධන, ගෑස් වැඩි වී තිබුණු අතර ඒවායේ බලපෑම එදිනෙදා ආහාර ද්‍රව්‍යවලට මෙන්ම දෛනිකව අවහන්හලකින් ලබාගත හැකි බොහෝ කෑමවලට ද අදාළ විය. ඉන්ධන හා විදුලිය සඳහා අය – වැයෙන් සියයට දහයක බද්දක් පැනවීමේ අදහසක් ද ඇත. රජයේ සේවකයන් සඳහා රු. 10,000 ක දීමනාවක් ලබා දීමට යෝජිතය. එහෙත් මෙරටේ බහුතර ජනතාවට එබඳු මුදල් වැඩිකර ගැනීමේ මගක් ද නැත. කොටින්ම ඔවුන්ගේ ආදායම වැඩි නොවේ. එය ඔවුන්ගේ පීඩනය තවත් උග්‍ර කරන්නකි. මේ සම්බන්ධයෙන් ජනතාව ප්‍රකාශ කළේ ද වැටුප් වැඩිවීමකට වඩා භාණ්ඩවල මිල අඩු කිරීම ප්‍රායෝගික බව ය. රාජ්‍ය සේවයේ ලක්‍ෂ 14 ක් පමණ සේවකයන්ට මෙන්ම විශ්‍රාමිකයන්ට ද වැඩිවන වැටුප සමඟ වැට් බදුවලට ද මුහුණදීමට සිදු වේ. වැට් බද්ද ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ වැටුප් වැඩිවීම අතට ලැබීමටත් පෙර ය.

මේ හැර ආණ්ඩුව තවත් බදු කීපයක් අලුතින් පැනවීමට ද සූදානමින් සිටියි. මේ අනුව වෛiවරුන්, ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වෘත්තිකයන් පවා තවත් අසරණ වනු ඇත. මේ ආණ්ඩුවේ එකම අරමුණ බදු ආදායම වැඩිකර ගැනීම විනා බදු නොගෙවා සැඟව සිටින විවිධ කොටස් බදු දැලට හසුකර ගැනීම නොවේ. පවතින බදු විෂමතාවලට එරෙහිව උද්ඝෝෂණය කරන සියල්ලෝම බදු ගෙවීමට එකඟ වන්නෝ ය. එහෙත් ඒ බදු සාධාරණ විය යුතු බව ඔව්හු පවසති. බදු බර හොඳ දෙයක් නොවේ යැයි අපට ද කිව හැකිය. එහෙත් බදු ආදායම යනු මහජන සේවාවන් පවත්වා ගෙන යෑමට අත්‍යාවශ්‍ය වේ. දේශපාලන ගජ මිතුරන්ට බදු සහන දීමත් ඇතැම් ව්‍යාපාරික මිතුරන්ගේ මිලියන ගණන් වූ බැංකු ණය කපා හැරීමත් සම්බන්ධයෙන් තිබෙන චෝදනා සුළුපටු නොවේ. බොහෝ සමාජ දේශපාලන ක්‍රියාකාරීන් පවසන්නේ ද මහජන බදු මුදල් දූෂිත රාජ්‍ය ආයතන නඩත්තුවට නොයෙදිය යුතු බව ය.

මේ ආණ්ඩුවේ ආර්ථික සැලසුම්වලදී පාඩු ලබන රාජ්‍ය ආයතන පමණක් නොව ලාභ ලබන ඒවාද විකුණා දමන බවට චෝදනාවක් තිබේ. ජනාධිපතිවරයා අය – වැය කතාවේදීත් මෙබඳු සංවර්ධන යෝජනාවලට එරෙහි වන අය හෙළා දුටුවේය. ඔහුට අනුව එබඳු සංවර්ධන සැලසුම්වලට එරෙහි වන්නෝ රටේ අනාගතය සොරකම් කරන්නෝ ය. මෙය දැඩි විවේචනයකි. මෙරටේ අනාගතය සොරකම් කළ අය බහුලව සිටින්නේ දේශපාලනයේ ය. රාජ්‍ය නිලධාරීන් ලෙස ක්‍රියා කළ අය අතර ද එබඳු සොරු සිටිති. එහෙත් ජනතාව අතර නම් එබඳු සොරු නොවෙති. අප වටහා ගත් ආකාරයට නම් අනාගතය සොරකම් කළ දේශපාලන චෞරයන්ගේ අධම ක්‍රියාකාරකම්වලට මේ රටේ අහිංසක ජනතාව තවම වන්දි ගෙවමින් සිටිති.

පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගේ දායකත්වය ද සහිතව පැවැත්වෙන කෝප්, රාජ්‍ය ගිණුම් කාරක සභාවලදී හෙළිදරව් වී තිබෙන දූෂණ, වංචා, අක්‍රමිකතාවලින් පැහැදිලි වන්නේ මෙරටේ දූෂණ, වංචා, හොර මගඩි ගැන ය. ඒවාට සම්බන්ධ බහුතරය දේශපාලන හිතවත්කම් සහිත අය බව ද පෙනේ. රාජ්‍ය ආයතන විනාශ කළ පක්‍ෂ දේශපාලනයත්, ඇමැතිවරුන්ගේ සමීපතමයන් හා ඇතැම් ඥාතීහු ද අදත් ඉසුරුමත් ජීවිත ගෙවමින් සිටිති. අල්ලස් – දූෂණ දැල්වලට අසු වූ ස්වල්ප දෙනෙක් ද සිටිති. මේ මොහොත වන විටත් පරිසර අධිකාරියේ සභාපති ඇතුළු කීපදෙනෙක් කෝටියක අල්ලස් චෝදනා ලැබ අධිකරණය ඉදිරියේ සිටිති. ඒ අය අතර හිටපු මන්ත්‍රීවරයෙක් ද ඇතැයි පළවිය. කුමක් වුවත් එබඳු දූෂණ හෙළිකිරීමට මාධ්‍යවලට තිබෙන ධෛර්යය ද අගය කළ යුතුය. නීතිය කොතරම් ශක්තිමත් වුවද, මේ වර්ගයේ හොරුන් සුරැකීමට දේශපාලන බලය යොදා ගන්නා බව ද රහසක් නොවේ. පසුගිය කාලයේ වැඩිපුරම වාර්තා වූයේ අල්ලස් – දූෂණ වංචා නඩු වැඩි ප්‍රමාණයක් නිෂ්ප්‍රභ වූ බව ය. නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන ද සමහරු සැක කරති. ක්‍රීඩා ඇමැති රොෂාන් ද ඔවුන්ට චෝදනා කළ අයුරු අපට මතකය. අපේ විනිසුරුවරුන් කෙතරම් ගාම්භීර වුවත් සෘජු පිළිවෙත් ගරු කරන්නෝ වුවත් නීතිය ඉදිරියට රැගෙන යන නඩුකරය දුර්වල හා තාක්‍ෂණ දුබලතා සහිත එක්ක නම් එහිදී සිදුවන්නේ හොරාට දඬුවම් නොලැබීමය.

මෙවර ඉදිරිපත් වූ අය – වැය යෝජනා අතර ඒ දේශාපාලන චෞරයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට අදාළ කවර හෝ විධි විධානයක් යොදා නැත. එහෙත් ආණ්ඩුවේ බදු සංශෝධනයේදී යළිත් වෘත්තිකයන් පමණක් නොව සාමාන්‍ය ජනතාව ද කොටුකර ගැනීමට ආණ්ඩුව සැරසි සිටීම අප තේරුම් ගන්නේ කෙසේද? එය අය – වැයේ පිළිගත් සමජීවකතා සංකල්පය සමඟ සැසඳේ ද?

ජනාධිපතිවරයා අය – වැය රසවත් කිරීමට වඩා එයට අර්ථවත් ගැඹුරක් කැවීම සඳහා සුගතපාල ද සිල්වාගේ මරාසාද් මෙන්ම හෙන්රි ජයසේනගේ හුණුවටය ද සිහිපත් කර තිබුණි. සූරාකෑමට එරෙහිව පොදු ජන විඥානය ඇමතූ ජගත් නාට්‍යකරුවන්ගේ ප්‍රබල නිර්මාණ එලෙස ඉදිරිපත් වූයේ ද සමාජ දේශපාලන දෘෂ්ටියකිනි. එහෙත් මේ සුළු ධනේශ්වර දේශපාලනයක කොටුවී සිටින බොහෝ දෙනෙක් ඒ හරවත් නිර්මාණ ගැන දැන සිටිත් ද යන්නත් සැක සහිතය.

මේ දේශපාලන අපාය ජනතාවට උරුම කළේ කවුද?

මෙයට අමතරව ජනාධිපතිවරයා බෞද්ධ ආර්ථිකයේ හරය ද සිය ආර්ථික දැක්ම සමඟ මුසුකිරීමට වෑයම් කළ ආකාරය ද පැහැදිලි විය. බුදුන් වහන්සේ වැනි උත්තරීතර විශ්ව ව්‍යාප්ත දහමක් දේශනා කළ කිසිවෙක් ද මෙතෙක් පහළ වී නැත. බෞද්ධ ආර්ථික දර්ශනය පසුකාලීන ආර්ථික දාර්ශනිකයන් විසින් ද තහවුරු කරනු ලැබ ඇත. ධනය බෙදී නොයෑම හෙවත් සමාජ සහජීවනයට වුවමනා සම්පත් තනිවම පරිභෝජනය කිරීම විපතක් මෙන්ම සමාජ උද්ඝෝෂණවලට ද හේතුවක් වූ බව බුදුහු වදාළහ. අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ දැක්වෙන ඉණ සූත්‍රය සනාතන ආර්ථික පරිභෝජන මූලධර්මවලින් සමන්විත වූවකි. ණය ගැනීම, ණයෙන් සාටෝප ජීවිත ගෙවීම දිළිඳුකම වර්ධනය වීමට විනා ඉන් මිදීමට මාර්ගයක් නොවන බව බුද්ධ වචනය විය. ආර්ථික සමජීවනය සමාජ පැවැත්මට අනිවාර්ය බව බුදුන් වහන්සේ විවිධ සූත්‍රවල පෙන්වා දී තිබේ. කෝසම්බිය සූත්‍රයේ දී දක්වන්නේ ආහාර වේල හෝ තනිව වැළඳීම නොකළ යුතු බවය. එහෙත් අද මේ ආර්ථික විෂමතාව අනුව ඇති අය කති බොති, නැති අයට ඉඳුලක්වත් නැත.

බුදුන් වහන්සේගේ කූටදත්ත වැනි සූත්‍රවල හරය වන්නේ ආර්ථික අසාධාරණය හා අසන්තුෂ්ටිය ඉවත් කිරීම යහපත් ජනතාවාදී පාලනයක මූලික ලක්‍ෂණය බව ය. එහෙත් අද සුපිරි ජීවිතවලට අමතරව නොපිරි ජීවිත ඒ සියලු විෂමතා ඉවසා දරා ගත යුතුමය.

ජනාධිපති රනිල් සිය අය – වැය කතාවේදී සඳහන් කළ ආර්ථික අපාය තුළ දුක් විඳින ජනතාව ඉන් මුදා ගත හැක්කේ දූෂණ, වංචා, හොර, මගඩි නැති දේශපාලන වාතාවරණයක් තුළ පමණි. විපක්‍ෂ නායක සජිත් මෙම අය – වැය හැඳින්වූයේ සටකපට හා සිල්ලර අය වැයක් ලෙස ය. ජා.ජ.බ. අනුර කුමාරට අනුව මේ අය වැයට විකිණීම හා ණය ගැනීම විනා අලුත් හෙටක් සඳහා මඟ පෙන්වීමට නොහැකි වී තිබේ. එසේ වුවද ස.ජ.බයේම සමහරු මෙය සාධනීය යෝජනා අඩංගු අය වැයක් ලෙස ද දකිති. එසේම මෙහි ඇත්තේ යෝජනාවලියක් විනා ඒ සඳහා මූල්‍යමය ශක්තියක් නැති බව ද තවත් විවේචනයකි. මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ රට මුහුණ දී තිබෙන අර්බුදවලට මේ අය වැයෙන් විසඳුමක් යෝජනා කර නැති බව ය. එසේම අලුත් බදු ආදිය පැනවීම නිසා උද්ධමනය ඉහළ යා හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගෙන් ද අය – වැය සම්බන්ධයෙන් විශේෂ ප්‍රශංසාවක් නොලැබීම ද කැපී පෙනුණි. හිටපු අගමැති මහින්ද මෙන්ම ඔහුගේ පුත් නාමල් ද අය යෝජනාවල තම පක්‍ෂයේ ප්‍රතිපත්ති කෙතරම් දුරට ගැබ්ව තිබේ ද යන්න විමසා බැලිය යුතු බව ද පැවසූහ. එහි තේරුම මේ ආණ්ඩුව දැන් රනිල්ගේ මිස ඔවුන්ගේ (පොහොට්ටුවේ) එකක් නොවීම ද? කුමක් වුවත් ජනාධිපති රනිල්ට මෙහි ඇතුළත් සාධනීය යෝජනා වුවද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් තිබිය යුතුය. ආර්ථික ක්‍ෂේත්‍රයේම ඇතැම් අයෙක් පවසන්නේ ගියවර ඉදිරිපත් කළ අය – වැයේ යෝජනා බොහොමයක් ඉටු නොවූ බවකි. එසේ නම් එළැඹෙන මැතිවරණවලදී ජනාධිපති රනිල්ට පමණක් නොව මහින්දගේ පොහොට්ටුවට ද ජනතාව ඉදිරියට ගොස් කිව හැක්කේ කුමක්ද? ජනාධිපතිවරයා මෙහිදීත් සිය සුපුරුදු යෝජනාව වන දේශපාලන භේද පසෙක දමා “අපි එක්ව මේ ගමන යමු” යන්න ද ඉදිරිපත් කළේය. එහෙත් ප්‍රශ්නය වන්නේ පවතින වැඩවසම් දේශපාලන නිරයෙන් මිදිය යුතු යැයි කල්පනා කරන ප්‍රබුද්ධ දේශපාලන හා සමාජ විඥානයක් සහිත ජනතාවක් ද අද මේ සමාජය තුළ සිටීමය. නිසැකයෙන් ම ඔවුහු මේ දුගඳ හමන දේශපාලනය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට එක් නොවන්නාහුය. එමතු නොව මේ ජරපත් දේශපාලනය තුළින් අනිසි ලෙස ගොඩනගාගත් දේශපාලන ස්වර්ගයේ පැවැත්මට ද ජනතාව අභියෝග කරති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment