ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණයට මහ බැංකුවෙන් නව දත්ත පද්ධතියක්

138

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය නමින් නව දත්ත රැස් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත.බැංකු පද්ධතිය හරහා සිදුවන ජාත්‍යන්තර ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින්, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල සහභාගිත්වය සහිතව මෙය මහ බැංකුව විසින් හඳුන්වා දී ඇත.

ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය යනු දේශසීමාවන් අතර සිදුවන ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක දත්ත රැස් කිරීමේ පද්ධතියක් වන අතර, මෙමගින් දැනට පවතින දත්තයන්හි අඩුපාඩු රාශියක් පිරවීමට හැකිවනු ඇති බව මහ බැංකුව කියයි. එමෙන්ම එය සංඛ්‍යානමය සහ නියාමන අරමුණු සඳහා විවිධ පැතිකඩ රැසක දත්ත සැපයීමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට උපකාර වනු ඇති බවත් අපනයන ඉපැයීම්, ආනයන, තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම වැනි සේවා ගිණුමේ ගනුදෙනු, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, මූල්‍ය ගිණුම් ගනුදෙනු ඇතුළු ගෙවුම් තුලන සංඛ්‍යාන වැඩි දියුණු කිරීම සහ තවත් බොහෝ සංඛ්‍යාන දත්ත ආදාන ඇතුළුව අරමුණු ගණනාවක් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය මඟින් ඉටු කරනු ඇති බවත් මහ බැංකුව කියයි.

නියාමන අවශ්‍යතා සඳහා බැංකු විසින් දත්ත වාර්තා කිරීමේ අරමුණ ද ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය මඟින් ඉටුකර ගත හැකි බවත් අනාගත ප්‍රතිපත්ති තීරණ සඳහා උපකාරී වන අධ්‍යාපනය, වෛද්‍ය, සංචාරක සහ වෙනත් අරමුණු සඳහා රටින් ගලායන විදේශ විනිමය ප්‍රවාහයන්හි ප්‍රභවයන් සම්බන්ධිත තොරතුරු ලබා ගැනීමට ද ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ දත්ත දායක වන බවත් මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment