අහස කඩන් වැටුණා වගේ… – තුවාල ලැබූ පුද්ගලයෙක් කියයි

565

ජීවිත 5ක් බිලිගත් කොල්ලුපිටියේ අනතුර

 නිට්ටඹුවේ හා කුලියාපිටියේ අනතුරු දෙකකින් 50ක් තුවාල ලබති

 15 දෙනෙක් පාසල් ළමයි

 කුලියාපිටියේ ලංගම රියැදුරු අත්අඩංගුවට

කොළඹ සිට මතුගම හරහා දෙණියාය බලා ධාවනය වන බස් රථය පිටකොටුවෙන් ගමන් ආරම්භ කර ඇත්තේ උදෑසන 5.45 ට පමණය. ඒ වනවිට බස් රථයේ මගීන් 15 දෙනකු පමණ ගමන් කරමින් සිට ඇති අතර ඩුප්ලිකේෂන් පාරේ බස් නැවතුම්පළේ මගීන් කීපදෙනෙකු ගොඩකර ගැනීම සඳහා බස් රථය එහි නතර කර ඇත.

බස් රථය නතර කර තත්ත්පර කීපයක් ගතවනවාත් සමඟම මාර්ගය අසල තිබූ විශාල රොබරෝසියා ගස එහි කඩා වැටී තිබේ. මෙම ගස වසර 40 ක් පමණ පැරණි එකක් වන අතර රොබරෝසියා ගස වඩා නුග ගසක් ද වැටී තිබී ඇත.

බස් රථය මතට කඩාවැටුණු ගසට යට වූ පුද්ගලයන් නවදෙනකු එහි සිර වූ අතර ඔවුන් පිටතට ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට ගලවා ගැනීමේ හමුදාවට සිදුවිය.

පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් මෙන්ම නගරවාසීන් එක්ව පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ කළ දැඩි පරිශ්‍රමයකින් පසු බස් රථය තුළ සිරවී සිටි තුවාලකරුවන් ඉවතට ගැනීමට හැකි විය.

තුවාලකරුවන් වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඉන් 05 දෙනෙකු් ඒ වන විටත් මියගොස් සිටියහ.

අනතුරින් මියගොස් ඇත්තේ කොටහේනේ පදිංචි 54 හැවිරිදි වී. එස්. ප්‍රියංජන, අහංගම පදිංචි 34 හැවිරිදි ජී. ඒ. ඒ. චතුරංග, මාතලේ පදිංචි 31 හැවිරිදි එච්. රත්නායක, පෑලියගොඩ පදිංචි 65 හැවිරිදි බාලක්‍රිෂ්ණන් සුබ්‍රමනියම් සහ රාගම පදිංචි අරුණ ප්‍රනාන්දු යන අය බව හඳුනාගෙන ඇත.

මේ අතර කුලියාපිටිය කරන්තිප්පල දී ඊයේ උදෑසන සිදු වූ අනතුරකින් පාසල් දරුවන් 15 දෙනෙකු ඇතුළු 26 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අධික වේගයෙන් පැමිණි ලංගම බස් රථයක් පාසල් සේවා බස් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

මොහොත්තවගොඩ ප්‍රදේශයේ සිට පාසල් සිසුන් පිරිසක් රැගත් පාසල් සේවා බස් රථයක් පිටුපස හෙට්ටිපොළ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් ගැටීමෙන් සිදුව තිබූ එම අනතුර හේතුවෙන් සිසිවෙකු නංවාගැනීටම නවතා තිබූ බව කියන පාසල් බස් රථය පෙරැළී ගොස් තිබිණ.

සිද්ධිය දුටුවන් පැවසූයේ ලංගම බස් රථය වේගයෙන් පැමිණ තිබූ බවයි. කෙසේ වෙතත් පැමිණි වේගයෙන් ම බස් රථය පාසල් බස් රථයේ ගැටී ඇති බව ද පැවසූ ඔවුහු පෙරැළී ගිය බස් රථයේ වාමුවාව බිඳ දමා සිසුන් බැහැරට ගෙන එසේ රෝහල්ගත කළ බව ද පැවසූ. සිසුන් බැහැරට ගැනීමට මුල් වූ තරුණයා පැවසූයේ එම පාසල් රියේ ද 30 ක් ඉක්ම වූ පිරිසක් සිටි බවයි.

කුලියාපිටිය පොලිසිය වහාම එම ස්ථානයට පැමිණ අවට පිරිස් හා එක්ව සිසුන් හා තුවාලකරුවන් වහාම රෝහල්ගත කිරීමට කටයුතු කළ අතර බස් රථ ඉවත් කර මාර්ගය නිදහස් කිරීමට කටයුතු කළහ. එමෙන්ම ලංගම රියැදුරු අත්අඩංගුවට ගත් බව ද පැවසීය. කුලියාපිටිය ශික්‍ෂණ රෝහල අසල දෙමාපියන් රැඳී සිටිනු ද දක්නට හැකි විය. වෛද්‍ය ප්‍රකාශකයකු පැවසුවේ එක්ස් කිරණ පරීක්‍ෂාවන් ඇතුළු පරීක්‍ෂණ මේ වනවිට යුහුසුළුව සිදුකර ඒවායේ ප්‍රතිඵල අනුව සිසුන්ගේ තත්ත්වය පිළිබඳව නිගමනයකට එළැඹිය හැකි බවයි.

අහස කඩන් වැටුණා වගේ… - තුවාල ලැබූ පුද්ගලයෙක් කියයි

කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජල අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරිවරුන් වන වසන්ත හේරත්, සුජීව විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් අනුව කුලියාපිටිය රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කුමාර දහනක මහතා ඇතුළු රථවාහන නිලධාරීහු පිරිසක් මේ පිළිබඳ වැඩිපුර පරීක්‍ෂණ මෙහෙයවති.

මේ අතර නිට්ටඹුව කජුගම ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ සිදු වූ අනෙක් අනතුරින් පුද්ගලයන් 20 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

බස් රථයක් කන්ටේනර් රථයක් සහ ඉන්ධන පිරවූ බවුසරයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

තුවාලකරුවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ. අධික වර්ෂාව පැවති අවස්ථාවේ අධික වේගයෙන් ධාවනය වී ඇති බස් රථය කන්ටේනර් රථයේ ගැටීමෙන් පසු මෙම අනතුර සිදු වී ඇත.

හේමන්ත රන්දුණු – උපේන්‍ද්‍ර සේරසිංහ සහ වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment