කැනඩාව පෙන්වා මුදල් ගැරූ හෝටල් කළමනාකරුට අත්හිටුවූ සිර දඬුවම්

44

කැනඩාවේ අවන්හලක රැකියාවක් ලබාදෙන බවට පවසා තවත් පුද්ගලයකු හා එක්ව තමන් යටතේ සේවය කළ සේවකයකුගෙන් ඇමරිකානු ඩොලර් 5000ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ආපනශාලා අංශයේ කළමනාකරුවකු යැයි කියන ස්ටුවර්ඩ් පෙරේරා නමැත්තාට වසර 15කට අත්හිටවූ වසර දෙකක සිරදඬුවම් හා රුපියල් 10,000ක දඩයක් ගෙවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (12දා) නියෝග කළේය.

එම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබූ ආනන්ද රාජා නමැත්තාට ද වසර 15කට අත්හිටවූ වසරක සිරදඬුවම් හා රුපියල් 5000ක දඩයක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා අගතියටපත් පැමිණිල්ලේ දෙවන සාක්‍ෂිකරුට රුපියල් ලක්‍ෂ හතරක වන්දියක් ගෙවන ලෙසට ද නියම කළේය. එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී චෝදනා පත්‍රය විත්තිකරුවන්ට කියවා දීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන රන්මුතුගේ මහතා සිය සේවාදායකයන් එකී චෝදනාවලට වරද පිළිගෙන පැමිණිල්ලේ දෙවන සාක්‍ෂිකරුට සුදුසු වන්දියක් ගෙවීමට එකඟවන බවත් පෙර වැරදි නොමැති ඔවුන් දෙදෙනා වයෝවෘද්ධ පුද්ගලයන් වන බැවින් ලිහිල් දඬුවම් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එකී රැකියාව සඳහා යවන බවට පොරොන්දුවී පැමිණිලිකරුව මැලේසියාවට රැගෙන ගොස් ඇති බවත් ඔහු එම රටේ අතරමන් කර සිටියදී පැමිණිලිකරුගේ දෙමාපිය වැඩිහිටියන් මුදල් වියදම් කර ඔහු නැවත සිය රටට ගෙන්වා ගෙන ඇති බවත් අධිකරණයට පැවසූ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා වංචාව හොරකම ඉහවහා ගොස් ඇති වර්තමාන යුගයේ එවැනි වංචා සිදුකරන විත්තිකරුවන් වැනි පිරිසට පාඩමක් ඉගෙන ගතහැකි පරිදි උපරිම දඬුවම් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment