කාන්තාවකට පණපිටින් ගිනි තැබූ සැකකරු අද උසාවියට

253

කොළඹ ආදුරුප්පු වීදිය, ඕලන්ද පල්ලිය අසල දී පෙට්‍රල් දමා කාන්තාවකට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරු ඊයේ (12දා) උදේ අසල්වැසි නිවසක සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් බව ආදුරුප්පු වීදිය පොලිසිය පවසයි.

මෙම සිද්ධිය පසුගිය 10 වැනිදා පෙරවරු 9.30ට පමණ සිදුවූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වූ අයකු බවද පොලිසිය පවසයි.

ආදුරුප්පු වීදිය, ඕලන්ද පල්ලිය අසල දී අදාළ පුද්ගලයා එම කාන්තාව සමග පොරබැඳ අනතුරුව ඇය ත්‍රිරෝද රථයට ඇද දමන ආකාරයත්, පසුව ඔහු පෙට්‍රල් දමා ගිනි තබන ආකාරයත්, අනතුරුව සැකකරු දිවයන ආකාරයත්, ගිනි ජාලා මැද එම කාන්තාව ත්‍රිරෝද රථයෙන් බැස මාර්ගය හරහා දිවයන ආකාරයත් ඒ අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇතැයි පොලිසිය පවසයි.

බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ 38 හැවිරිදි කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාව මීට පෙර විවාහ වී සිට ඇති අතර පසුව ඇයගේ සැමියා ඇයගෙන් දික්කසාද වී ඇතැයි පොලිසිය පවසයි.

පසුව ඇය මෙම සැකකරු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. එලෙස අනියම් සම්බන්ධය පවත්වාගෙන යන අතරේ ඇය තවත් පුද්ගලයකු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බවට සැකකරුට ආරංචි වී තිබේ. මේ ගැන කෝපයෙන් පසුවූ ඔහු මෙලෙස ඇයට පෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු අද (13දා) අලුත්කඩේ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අජිත් මෙත්තානන්ද මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කමල් මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් සැරයන් විජේසිංහ (7615), පොලිස් කොස්තාපල්වරුන් වන විජේන්ද්‍ර (71956), පොලිස් කුමාර (32745), විදුරංග (26851) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment