බැරිදේ පුළුවන්ද දත් මිටි කෑවාට !

675

මේ වූකලී ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුද එහි හිණිපෙතට නැග තිබෙන්නාවූද එහි දුෂ්ට විපාක වසයෙන් ජන ජීවිතයම ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබෙන්නා වූද නිමේෂයකි. ඒවායේ අනතුරු සංඥා නිකුත් කෙරෙන පිපිරීම්, දෙදරීම් හා කැලඹීම්ද සමග ඇදී ගිය අන්ධකාර සතියකි. බෙලහීන, අසංවේදී පාලනයක දුෂ්ට විපාක ලෙස රටම නතරවී තිබේ. රාජ්‍ය ආයතන, පාසල් විද්‍යාල බහුතරයක්ම වසා දමනු ලැබ ඇත. ඉන්ධන අර්බුදය ගමනාගමන, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී ක්‍ෂෙත්‍රවලටත් පෞද්ගලික අංශයටත් විහිදී ගොස් තිබේ. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරන්නේ ඉතිහාසයේ කිසි දිනක නොදුටු අසාර්ථක, අසමත්, ආණ්ඩුවක ශාපයට තමන් වහන්සේලාටද දායකවීමට සිදුවූ බවය. මෙවන් පෝලිම් යුගයක් මින් පෙර මෙරටේ නොවූ විරූ බවද අවධාරණය කරන උන්වහන්සේගේ ප්‍රකාශයෙහි හරය වී ඇත්තේද මේ ආණ්ඩුව ගෙදර යා යුතු බවය. මොවුන්ට මේ රට යථා තත්ත්වයට පත් කළ නොහැකි බවය.

අද අප අබියස තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය විසින් අටවා ගන්නා ලද විකෘති ආණ්ඩුවකි. එහි මතුපිටින් දිස්වන්නේ ආර්ථික හා සමාජ කැලඹීම්, ගැටීම් වුවත් එය නිසැකයෙන්ම දේශපාලනය කේන්ද්‍රීය වූ අර්බුදයක බිහිසුණු ප්‍රකාශනයක් නැතහොත් දුෂ්ට ඵලයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය. මක්නිසාද යත් රටක් දේශපාලන වසයෙන් අර්බුදයට හා අස්ථාවරත්වයට පත්වන හැම මොහොතකම එහි සමාජ – ආර්ථිකය ව්‍යාකූලත්වයට පත්වීම අනිවාර්ය වේ. සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්‍ෂේත්‍ර සුපෝෂණය කරනු ලබන උල්පත නැතහොත් පදනම දේශපාලන ස්ථාවරත්වයයි.

අද මුළු රටම අක්‍රීය වී තිබේ. ඉහත දැක්වු පරිදිම රාජ්‍ය ආයතන සියල්ලටම පාහේ සතියකට නිවාඩු ලබාදී තිබේ. පාසල්වලට ද නිවාඩුය. විශ්වවිද්‍යාල වැසී තිබේ. ගමනාගමන කටයුතු ඇනහිට ඇත. පොදු ප්‍රවාහනය මෙන්ම පෞද්ගලික ගමන් බිමන් සියල්ලම සීමා කිරීමට හෝ අත්හැර දැමීමට සිදු වී තිබේ. රෝහල්, පද්ධතියම අර්බුදයක හිරව ඇත. ඇතැම් රෝහලක් දෙකක් සාමාන්‍ය සේවා සිදු කළත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රවාහන ප්‍රශ්න නිසා සේවයට වාර්තා කිරීම අඩු වී තිබේ. රෝහල්වල සැත්කම් සිදු කිරීමද සීමා කර ඇත.

රාජ්‍ය අංශයට අමතරව පෞද්ගලික ක්‍ෂේත්‍රයද බරපතළ කඩා වැටීමකට ලක්ව තිබේ. ඇතැම් ආයතන වැසී ගොසින්ය. සුළු හා මධ්‍ය ප්‍රමාණයේ සියලු ක්‍රියාකාරකම් නතර කිරීමටද සිදුව ඇත. ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන් හා වත්පොහොසත්කම් සහිත කොටස් හැර පොදුවේ සාමාන්‍ය ජන ජීවිතවල ඉරණම බෙහෙවින් දුක්මුසුය. ඒ පීඩනය ගම, නගර වෙනසක් නැතිව දැකගත හැකිය.

බැරිදේ පුළුවන්ද දත් මිටි කෑවාට !

ජනාධිපති ගෝඨාභයට විශාල මහජන වරමක් (69 ලක්‍ෂයක) සමග ඔහු වෙනුවෙන්ම සම්මත කරන ලද 20 වැනි සංශෝධනයෙහි බලයද, පාර්ලිමේන්තුවේ බහුතරයක් 2/3 ක බහුතරයක්ද හිමිව තිබුණත් ඔහුගේ රාජ්‍ය පාලනය මෙහෙයවීමේ යාන්ත්‍රණය බෙහෙවින් අසාර්ථක විය. මූල්‍ය පාලනය හා දේශපාලන කළමනාකරණය බිඳ වැටීම ඔහුගේ අසාර්ථකත්වයේ ප්‍රමුඛ හේතුව විය. ඉතා සැකෙවින් කිවහොත් ආණ්ඩුවේ බිඳ වැටීමට තුඩු දුන් ආන්දෝලනාත්මක තීන්දු ලෙස හුවා දක්වන ආදායම් බදු කපා හැරීම, රසායනික පොහොර භාවිතය එක රැයෙන් තහනම් කිරීම හා මහ බැංකුව අනුගමනය කළ වැරදි හා මුග්ධ ආර්ථික ප්‍රතිපත්ති බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයටද ලක්ව ඇත. ජනාධිපති ගෝඨාභයගේ මුදල් ඇමැතිවරුන් ලෙස සිටි අගමැති මහින්ද හා බැසිල් මෙන්ම මහ බැංකු අධිපතිව සිටි කබ්රාල් කිසි විටෙක ආර්ථික විශේෂඥ උපදෙස් අනුගමනය නොකළ බවද රහසක් නොවේ. රටේ ආර්ථිකය සමග පෙම් කෙළීම ඒ සියල්ලන්ටම විනෝදයක් වුවත් අද එයට වන්දි ගෙවීමට ඉතා අහිංසක ලක්‍ෂ දෙසිය විස්සක ජනතාවට සිදුව තිබේ. ඩොලර් අර්බුදයට රට ඇද දමන ලද්දේ ඒ මුග්ධ තීරණ ගත් ස්වල්ප දෙනා විසිනි. ජනාධිපතිවරයා එම ඩොලර් අර්බුදය හා බැඳුණු ආර්ථිකය යළි සවිබල ගැන්වීම භාර කළේ අගමැති රනිල්ටය. ඔහු ඒ කාර්යයට අත ගසා මසකුත් ඉක්ම ගොසින්ය. එහෙත් ඒ අර්බුදය අද ජීවිත පවා බිලි ගන්නා තත්ත්වයට වර්ධනය වී තිබේ. අද සමස්ත ජන ජීවිතයම මහා ප්‍රපාතයකට ඇදගෙන යන බවද රහසක් නොවේ. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් හා ගෑස් නැතිව දින ගණන් පෝලිම්වල විඳවන ජනතාව පිළිබඳ මේ ආණ්ඩුවට වගේ වගක් නැති බවද පෙනේ. ජාත්‍යන්තරය සමග කළමනාකරණය කළ හැකි හපනෙකැයි වැඩි දෙනෙක් විශ්වාස කළ අගමැති රනිල් පසුගිය මාසයකට නොඅඩු කාලය මුළුල්ලේම වැඩි වසයෙන් කර තිබුණේ රටේ ආර්ථිකය හා ආහාර හිඟය පිළිබඳ වාර්තා කිරීම් හා අනතුරු හැඟවීම් පමණි. ඇත්ත වසයෙන්ම ඉන්දියාවෙන් ලැබුණු ආධාර උපකාර නොවන්නට පොදු ජනතාවගේ ඉරණම කුමක් විය හැකිව තිබුණිද යන්න සිතීම පවා බිය දනවන්නකි. ඒ ජරමර අස්සේ අගමැති හා ඇමැතිවරුන් කීප දෙනෙක් නිදහස් චතුරස්‍රයේ ජාත්‍යන්තර යෝගා දිනයට එක්ව දැහැන්ගතවී සිටි ආකාරයද දැකගත හැකි විය. එහෙත් ප්‍රශ්නය වූයේ යෝගා වලින් අගමැති හා මැති ඇමැතිවරුන් නිවෙද්දී මුළු රටේම බොහෝ තැන්වල ජනයා ආවේගයෙන් ගිනියම්වී සිටීමය.

ඇත්ත වසයෙන්ම ආණ්ඩුවට රටට වුවමනා ඉන්ධන සැපයීමට නොහැකිවූ අතරම රටට ගෙන්වූ ඉන්ධන ප්‍රමාණය පවා ක්‍රමවත්ව ජනතාවටත් අත්‍යවශ්‍ය සේවාවලටත් ලබා දීමට තරම් වැඩපිළිවෙළක්ද නොවීය. මහජනයා ඉන්ධන පිරවුම්හල් අසල දින ගණන් දිවා රෑ ගෙවූහ. ඒ හැම පෝලිමක්ම කිලෝ මීටර් කීපයක් දිගට ඇදී තිබුණි. ඇතැම් විටෙක ඉන්ධන ලැබුණේ මැරයන්ට, දේශපාලන බලධාරීන්ට පමණි. පොහොට්ටුවේ මැරයෝ පෝලිම්වල සිටි අයට පහර දෙන දර්ශන දකුණු ඉන්දියානු කසිකබල් චිත්‍රපට සිහිපත් කරන්නක් වුවද එහි දේශපාලන ඇඟවීම බරපතළය. කුප්‍රකට මැයි 9 වැනිදා මැර ප්‍රහාරයේ චූදිතයකු ලෙස සිටි පොහොට්ටු රාජ්‍ය ඇමැතියකුගේ සහෝදරයකුගේ දේශපාලන හැසිරීම් ඒ වර්ගයේම බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඒ නීච ප්‍රහාරය වළක්වාලීමට නොහැකි පොලිසියේ අසරණකම කැපී පෙනුණි. ඒ අතර පෝලිම්වලට ජීවිත දිය කිරීමට සිදු වූ සාමාන්‍ය ජනතාවට පොලිස්පාට් දමන කාකිකෝට් චණ්ඩීහුද සිටිති. කුරුණෑගල මාස්පොතදී පිස්තෝලයක් ලෙළවමින් ධර්මචක්‍රයටද නිගරු කළ පොලිස් නිලධාරියා ගැන ආඩම්බර විය යුත්තේ පොලිස්පතිද නැතහොත් ආරක්‍ෂක ලේකම්ද යන්න අපි නොදනිමු. ඉන්ධන පෝලිම්වලදී පොලිසියට සිදුවන පීඩනයද අපට පැහැදිලිය. මේ වනවිටත් ශාරීරික හිංසා ලැබූ අයද සිටිති. එහෙත් මෙයින් තහවුරු වන්නේ රටේ ආරාජික බව නොවේද? අද නාඳුනන තුවක්කුකරුවෝද වැඩ පටන් ගෙන සිටිති. සීසර්ලා ලෙස හැසිරෙන පාදඩයන් පිරිසක්ද ජීවිත බිලිගනිමින් සිටිති. නීතිය හා යුක්තිය ඉටු කිරීමට බැරි පතෝල ආණ්ඩුවක නිරුවත නොවේද මේවායින් රටට හෙළිවන්නේ?

ජනාධිපති ගෝඨාභය මෙන්ම අගමැති, කැබිනට්ටුව හා ඔවුන් සමග සිටින රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුටද මේ ඉන්ධන, ගෑස් අර්බුදවලට විසඳුමක් දිය නොහැකි බව දවසින් දවස තහවුරු වෙමින් තිබේ. ඉන්ධන අර්බුදයේ විපාක හැම ක්‍ෂේත්‍රයක්ම නිෂ්ක්‍රීය කරමින් තිබේ. ප්‍රවාහන, අධ්‍යාපන, කෘෂිකර්ම, සෞඛ්‍ය ආදී ප්‍රධාන මහජන සේවාවල තත්ත්වය ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැත. හිටපු ඇමැතිවරයකු වූ විමල් අසන ආකාරයටම ඒ ඒ විෂය ක්‍ෂේත්‍ර භාර ඇමැතිවරු බම්බු ගසත්දැයි අපටද ඇසීමට සිදුව තිබේ. මේ වනවිට පොහොට්ටුවේ පෝලිම් සංස්කෘතියෙන් ජීවිත අහිමි වූවෝ දස දෙනකුට වැඩිය. එහි අතුරුඵල ලෙස දරුවන් ගංගාවලට වීසි කරන අම්මලා ගැනද වාර්තා වේ. එදා ජයවර්ධන යුගයේදී ප්‍රකාශ වූ තමන්ගේ ආරක්‍ෂාව තමන් විසින්ම සලසා ගත යුතුය යන්න මේ ආණ්ඩුවේද පිළිවෙත බවට පත්ව තිබේද? නීතිය සදාචාරය වල්වැදී තිබේ. පොහොට්ටු මැරයෝ හිස ඔසවමින් සිටිති.

අගමැති රනිල්ට තවමත් විදේශ විනිමය අර්බුදය විසඳීමට ජාත්‍යන්තර අනුග්‍රහය ලබා ගැනීමටද නොහැකිවී තිබේ. ණය ගෙවීමට ණය ගැනීම ආර්ථික උපායක් ලෙස පවත්වා ගෙන පැමිණි ලංකාව මේ වන විට ඒ ණය උගුලෙහිම කරවටක් ගිලී සිටියි. අද අපට හිමිව ඇත්තේ ජාත්‍යන්තර ණය හා පොලී වාරික ගෙවීමට අසමත් ආසියානු කලාපයේ පළමු රට යන කුප්‍රකට වාර්තාව පමණි. එහෙත් අප අදත් බලාසිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙසය. එහි විසඳුම් පිළිගැනීම හැර වෙනත් මගක් ආණ්ඩුවේ මුදල් ඇමැති හා අගමැති රනිල්ට නොමැත. ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේ ජාත්‍යන්තරය අප විශ්වාස නොකරන බවය. අපට අත්පිට මුදලටවත් ඉන්ධන ලබාදීමට ඒ රටවල් අකමැති බවද ඔහු කීවේය. ඉන්දියාවට වුවත් අපට උදව් කළ හැකි සීමාවක් තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ මූල්‍ය ආයතන උපදෙස් අනුව නුදුරු අනාගතයේදී ඉන්ධන, විදුලිය, ජලය ආදී බොහෝ දේවල්වල මිල වෙනස් වන බවද ඔහු දක්වා තිබේ. බදු හා වැට් ඉහළ දැමීමේ වරද අවසානයේදී පැටවෙන්නේ ජනතාවගේ හිස මතය. ඩොලර් නැතුව මේ ආර්ථික අවුල ලිහා ගැනීමට මගක් නැති බවත් දැනට නිෂ්පාදන හා ආපනයන ක්‍ෂේත්‍ර වර්ධනය කිරීම අනිවාර්ය පියවරක් බවද අගමැතිවරයා පෙන්වා දී ඇත. පාර්ලිමේන්තුව වර්ජනය කර සිටින ස.ජ.බ. හා ජ. වි. පයටද ඔහු ආරාධනා කළේ මේ අසීරු අවස්ථාවේ සම්මුතියකට පැමිණ රට වෙනුවෙන් සාමූහික ප්‍රයත්නයක් දැරීමට එක්වන ලෙසටය. කෙසේ හෝ මේ සතියේ පාර්ලිමේන්තුවේදීත් ප්‍රධාන මාතෘකාව වූයේ රට මුහුණ දී තිබෙන ඉන්ධන අර්බුදය නොව අගමැති ධුරයට රනිල් පත්වූයේ කෙසේද යන්නයි. එසේම ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩ නගා ගත යුතු බවද සමහරු යළි යළිත් යෝජනා කරති. රනිල්ගෙන් ඩොලර් අර්බුදයට විසඳුමක් නැති වුවත් ඔහුගෙන් රාජපක්‍ෂවරුන්ට රැකවරණයක් ලැබෙන බවද සමහරු කියති. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් පොහොට්ටු ආණ්ඩුවේ අගමැතිවීම විවිධ ආකාරයෙන් විග්‍රහ වී තිබේ. අපට ඒ විවාදයට එක්වීමට අවශ්‍යතාවක්ද නැත. එහෙත් අප මේ ලිපියේ මුළින්ම සඳහන් කළ දේශපාලන අර්බුදය තුළ මෙම බලය පිළිබඳ ප්‍රශ්නයද ප්‍රමුඛ හා අමතක කළ නොහැකි තේමාවකි. ගාලුමුවදොර විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධයට ලක්වූ රාජපක්‍ෂ පාලනය දෙදරා ගියත්, රනිල් අගමැති කිරීම දේශපාලනික උපායක් ලෙස යම් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. මේ ආණ්ඩුව බැලූ බැල්මට රාජපක්‍ෂවරුන් නැති එකක් ලෙස පෙනී ගියත් එහි ප්‍රබලම භූමිකාව තවමත් හිමිව ඇත්තේ ජනාධිපති ගෝඨාභයට බව නිසැකය. ජනාධිපති බලතල අඩුකර ගැනීමේ දේශපාලන යෝජනාව අත්හැරීමට නොහැකි බව අගමැති රනිල් ද දන්නා කරුණකි. ස.ජ.බය තවම පවසන්නේ තිරය පසු පස රාජපක්‍ෂලා සිටින බවය. බැසිල් පසුගිය දිනක සඳහන් කර තිබුණේත් පොහොට්ටුව බල ගැන්විය යුතු බවය. එහෙත් මහ පොළොවේ දේශපාලනය එය නොවන බව තවමත් පොහොට්ටුවට නොවැටහේ යැයි කල්පනා කළ නොහැකිය. රාජපක්‍ෂ පාලනය විසින් ප්‍රපාතයට හෙලන ලද රටත්, ඒ රටට වුවමනා දේශපාලන ස්ථාවරත්වයත් ගොඩනගා ගැනීම අද තිබෙන යථාර්ථය බව අපගේ අදහසය. එහෙත් ඒ පිළිබඳ ප්‍රබුද්ධ සංවාදයක් හෝ තවම නැත.

ජානාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව අද ඒ දේශපාලන සංවාදයේ ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව තිබුණත් රට වෙළාගත් සමාජ, ආර්ථික, පරිපාලන හා නීතියේ ආධිපත්‍යයද ඇතුළත් විනාශකාරී ගමනකට පිළිතුරු සොයා ගැනීම අප්‍රමාදව කළ යුතුය. ඒ ගමනට රට ගැට ගසා තිබෙන ගෝඨාභය – රනිල් පාලනයට දීර්ඝ ආයුෂ නැති බව දේශපාලන අංශවලම අදහස වී තිබේ. මහජන විශ්වාසයක්ද නැති ආණ්ඩුවක් පලවා හැරීම විනා වෙනත් දේශපාලන විසඳුමක් අද නැත. ලංකාවට ජාත්‍යන්තර ආධාර ලබා දීමේ මූලික කොන්දේසිය වී ඇත්තේද ජනතා විශ්වාසය සහිත පාලනයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවය. සුජාත ආණ්ඩුවක් අවශ්‍ය බවය.

2020 දී ඇතිවු කොවිඩ් අර්බුදය සමග කඩා වැටීම ඇරඹුණු සාමාජ ආර්ථික දේශපාලනය අද උග්‍ර අර්බුද රැසකට හේතු වී තිබේ. ඒ බොහෝ අර්බුද රාජපක්‍ෂ පාලනයේ හිතුවක්කාර හා උද්ධච්ඡ තීරණවල ප්‍රතිඵල වේ. අද සාගතයක් අරාජිකත්වයක් දක්වා ඒ අර්බුදය ව්‍යාප්ත වෙමින් තිබේ. සාගතයක හා අරාජිකත්වයක විවිධ ප්‍රතිචාර අද සමාජයෙහි අපට දැක ගත හැකිය. පෝලිම්වල පුපුරා යන පීඩනයට අමතරව දරිද්‍රතාව වසංගතයක් ලෙස පැතිර යෑමද බරපතළ තත්ත්වයකි. දේශපාලනඥයන්ගේ දූෂණ, මංකොල්ල කෑම්, (ජාතික දේපොළ හා උරුමයන්) බලයට තිබෙන කෑදරකම, බල මහන්තත්වය, ඒ බලය ප්‍රාදේශීය වසයෙන්ද ජනතාව පෙළන ආකාරය ආදිය ගැන අද හැම පුරවැසියකුටම මනා අවබෝධයක්ද ඇත. ජනාධිපතිවරයා අසමත්, අයෙක් ලෙස නොව සමත් කෙනෙක් ලෙස සිය ධුරය හැර යෑම පිළිබඳව කළ කතාව බොහෝ පුරවැසියන්ගේ හාස්‍යයට ලක් වූයේද ඒ පසුබිම තුළය. අද තමන් ඉදිරියේ සිටින්නේ අසමත් ජනාධිපතිවරයකු පමණක් නොව පොදුවේ දූෂිත දේශපාලන තක්කඩියන් රැළක්ය යන හැඟීම ජන මනසටම කා වැදී තිබේ. ගාලුමුවදොර විරෝධතාවෙහි උණුසුම ගම් දනව් කරා ඇදී ගොස් ඇත්තේද එනිසාය. එහෙත් තවමත් බලයටම පොරකන දේශපාලන අවභාවිතය විසින් ඒ ජනතා පැතුම් නොපෙනෙන අන්තයකට තල්ලු කරනු ලැබ තිබේ. පක්‍ෂභේද, කල්ලිවාද බහුල දේශපාලන භූමියක බොරු කරණම් සුලබ වුවත් හෙට දවස පිරී ඇත්තේ අපේක්‍ෂාභංගත්වයකින් පමණි.

දේශපාලන ප්‍රතිසංස්කරණයක ප්‍රථම පියවර ලෙස ඉදිරිපත් වූ 21 වැනි සංශෝධනය අවුල් ජාලයක් වී තිබෙන ආකාරයද ඒ සම්බන්ධයෙන් සිදුවන වාද, විවාද හා සංවාදවලින් ගම්‍ය වේ. ජනාධිපති හා අගමැති යන දෙදෙනා පමණක් නොව කැබිනට් ඇමැතිවරුද ජනතාවගේ අප්‍රසාදයට ලක්ව සිටිති. අද කිසිවෙක් ඔවුන්ගේ ප්‍රකාශ බැරෑරුම් ලෙස නොසලකති. මේ වන විට ආණ්ඩුව වෙනුවෙන් විකට්ටුවේ රැඳී සිටින රනිල්ගේ අනෙක් අන්තයට කැඳවා සිටින්නේ ප්‍රකට ව්‍යාපාරිකයකුද වන ධම්මික පෙරේරාය. ඔහු රනිල් මෙන් තට්ටු අල්ලන්නෙකද නැතහොත් පන්දුව හැඳින පහර එල්ල කරන්නෙකුද යන්න හෙට දවසේදී රටටම දැක බලා ගත හැකිය. තුන්වැනි විනිසකරු ලෙස සිටින ලෝක බැංකුවට කලින් මෙරටේ පුරවැසි ප්‍රේක්ෂකයෝ ඔහු ගැන විනිශ්චයකට එළඹෙති.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment