මගේ අයවැය!

ජනාධිපතිතුමා ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන් සමජීවිකතා අයවැය ඉදිරිපත් කරනවා ටීවී එකේ බලා ඉද්දි මට හිතුණා ඇයි මගේ අයවැයත් ඒ විධියට ඉදිරිපත් කරන්න බැරි කියල. මගේ අයවැය මටම දරාගන්න බැරි හින්දා මං හිතනවා මගේ අයවැය ඉදිරිපත් කළොත් අඩු ගානෙ මගෙ හිතවත් මට නිදහස් කරගන්න පුළුවන් වෙයි කියල. ඉතිං දැන් මං තමුන්නාන්සේලාට මගේ අයවැය කතාව ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් අයවැයේ කියන රාජ්‍ය මූල්‍ය විනය, සමාජ ජාල ආරක්ෂණය, අයවැය මූල්‍යකරණය, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර යන ඔය කතා ගැන මෙලෝ අන්දෝසංසාරයක් මං දන්නෙ නෑ. ඒ හින්දා මගේ අයවැය කතාව අයවැය කතාවක් නොවෙන්නත් පුළුවන්. නැත්නම් අයවැයකට වඩා වෙන බහුබූතයක් වෙන්නත් පුළුවන්. ඒකට මට සමාවෙන්න. මගේ නොදැනුමට මට කමා කරන්න. මගේ කතාව මං කියන්න ඕන හින්දා මං ඒක දැන් ඉදිරිපත් කරනවා. ඉතිං මෙන්න මගේ අයවැය කතාව. 2023 විකල්ප අයවැය කතාව:

මිත්‍රවරුනි,

මාත් ඔබ තමුන්නාන්සේලාත් මේ ජීවත් වෙන්නෙ 2023 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ. ඒ කිව්වෙ 2023 ත් මේ වෙද්දි ඉවරයි. පුදුමයි නේද අපි මෙච්චර කාලයක් පණ ගැටගහගත්තු එක? මොනවා වුණත් අපි ජීවත් වෙනවා තවම. අපේ හුස්ම වැටෙනවා තවම. නිකන් බලන්න අහස. ඉර පායනවා උදේට නැඟෙනහිර අහසෙන් ලස්සනට. එහෙම නේද? ඒ වගේම ඉර බහිනවා බටහිර දොර්ණගොඩ කන්දෙන් ගින්දර වගේ. බටහිර ඉමේ අපේ තියෙන්නෙ දොර්ණගොඩ කන්ද. තමුන්නාන්සේලා ඉස්සරහත් කන්දක් පේනවා ඇති. කන්දක් නොතිබුණා නම් කොච්චර හොඳද! ඒක එහෙම තමයි. දෙයියො අපිව නිකන්ම එවලා නෑ. තරණය කරන්න ගිරිදුර්ගයකුත් එවලා තියෙනවා. කමක් නෑ. ඒත් මොකක්ද අපි ඉර නඟිද්දි බහිද්දි කළේ? අපි උදේට පිම්මේ වැඩට දුවලා හැන්දෑවට කළුවර වැටෙන ජාමේ ගෙදර එනවා ඒ පිම්මෙම. මේ ජීවිතයද? අපි ජීවත් වෙනවාද මේ? මං හිතන්නෙ මේ අපි පණ අදිනවා. ජීවත් වෙනවා නම් අපට සැලැස්මක් තියෙන්න ඕන. හෙට මං අසවල් දේ කරනවා, හෙට අසවල් තැනට යනවා මං, අසවල් දේ මගෙ ඉවරයි හෙට. එහෙම සැලැස්මක් අපට නෑ. අපට කවදාවත් සැලැස්මක් තිබුණෙ නෑ. අදත් නෑ. හෙටත් නෑ. ඇත්ත වශයෙන් මං දැන් බලන්නෙ හෙට කන්න මට මගේ බත් පංගුව ලැබෙයිද කියල විතරයි. මට බත් පංගුව ගැන එච්චරවත් විශ්වාසයක් නෑ. මේ අවිශ්වාසය අද ඊයේ ආවක් නෙවෙයි. ඒත් එදා ඉඳන් ඒ අවිශ්වාසය දුරු කරන්න සමතෙක් මේ දියතේ පහළ වෙලා නෑ. පහළ වෙන්න පුළුවන් අයවැයක් එන්නෙත් නෑ.

ඉස්සර මං හැමදාම වගේ හන්දියේ කඩේ පැත්තෙ ගියා. ගියේ ණයට බඩු ගන්න නෙවෙයි. කාගෙන් හරි ණයට දුම් උගුරක් බිව්ව එක හැබැයි. ඒත් මං හුඟක්ම ගියේ මිනිස්සු බරට බරේ බඩු මළු පුරෝගෙන පාර මාරු වෙනවා බලන්න. මිනිස්සුන්ගේ උද්යෝගිමත් කතාබස් අහන්න. ඒත් දැන් මං හන්දියට එහෙම යන්නෙ නෑ. මොකද දැන් මං එතන දකින්නෙ බඩසයෙන් පෙලෙන මිනිස්සු, බඩුවක් මූට්ටුවක් නැති හිස් කඩ සාප්පු. කොටින්ම දැන් ණයට දුම් උගුරක් බොන්නවත් විධියක් නෑ. මිනිස්සු දැන් දුම් බොන්නෙ නැති හින්දා නෙවෙයි, දුමක් ගහන්න මිනිස්සු කන කටු දිහා බැලුවාම ණයට දුමක්වත් අදින්න හිතෙන්නෙ නෑ.

ඉස්සරත් මගෙ අතේ සතේ තිබුණෙ නෑ. ඒත් ඉස්සර සතේ නැතත් සතයක් දෙකක් ඉල්ලගන්න පුළුවන් මිනිහෙක් දෙන්නෙක් කොහෙ හරි හිටියා. බිරින්දෑගේ පවා ඉස්සර මෙච්චර ලෝස් නෑ. ඒත් දැන් එක සතයක් ඉල්ලන්න පුළුවන් ජගතෙක් මේ තුන් ලෝකෙ නෑ. ඉස්සර නම් ලොක්කා කිව්වෙ සාක්කුවේ සල්ලි තියෙන ආර්ථිකයක්, ඔරලෝසුවක්, බ්‍රේස්ලට් එකක්, ෆෝන් එකක් ගන්න පුළුවන් ආර්ථිකයක් ඇති කරනවා කියල. ඒත් ඒක දැන් එතුමාට මතක නෑ. මතක නැති කරලාත් නෑ. දැන් එතුමා රුපියල් දහදාහක් අතට දෙන්න යනවා. ඒක හොඳයි. ඒත් ගොයියො, දහදාහෙන් බ්‍රේස්ලට් නම් ගන්න බෑ. උන්නාන්සේ කියපු ස්මාර්ට් ෆෝන් එකක්වත් ගන්න බෑ. ගන්න පුළුවන් වුණත් අද ගන්න පුළුවන් තත්ත්වයක් නෑ. ෆෝන් එකට කථා කරන්නත් බඩගින්දර නිවාගන්න ඕන හින්දා. මාසයක් බඩගිනි නිවාගන්න එක රුපියල් දහදාහෙන් කරන්න බෑ! ඇරත් පවුලක රාජ්‍ය සේවයේ ඉන්නෙ කීයෙන් කීයද! රාජ්‍යත් නොවන පුද්ගලිකත් නොවන කුලී වැඩකාරයන්ගේ පඩිය වැඩි වෙන විධියක් තියෙනවාද!

පහුගිය වැස්සට මගේ ගේ ගියා. ගියා කිව්වෙ වැස්සට ගේ වහල කඩාගෙන වැටුණා. මං දුක් වුණේ නෑ. ජීවිතේම කඩා වැටිච්ච මිනිහෙකුට ගේ කඩාගෙන වැටුණා කියල අමුතුවෙන් නැති වෙන්න දෙයක් නෑ. ඒත් මිනිහෙකුට හැමදාම අගුපිලේ ඉන්න බෑ. ඒත් මං ගේ වැටිච්ච දවසෙ ඉඳලා ඉන්නෙ අගුපිලේ. අගුපිලේ බල්ලො හිටියාට කමක් නෑ. ඒත් අගුපිලේ පොත් තියන්න බෑ. අගුපිලේ පොත් ලියන්න බෑ. ලයිට් කණුව යට පොත් ලියන්න පුළුවන්. අගුපිලේ බෑ. අගුපිලට හිරිකඩ ගහනවා. අගුපිල වැස්සට තෙමෙනවා. අගුපිල ගංවතුරට යට වෙනවා. ගංවතුරට යට නොවෙන තැනක් දැන් නෑ. ඔක්කොම යට වෙන විධියට පසුබිම හදලා තියෙන්නෙ. අපි සංචාරක ව්‍යාපාරයට වෙරළ කලාපයම දීලා. දීලා නැත්නම් දීලා මට කථා කරනවා! මොකටද ඔය නුවරඑළියට මහ තැපැල් කන්තෝරුවක්! ඔච්චර ලස්සන ගොඩනැඟිල්ලක් තැපෑලේ තියන් ඉඳලා වැඩක් තියෙනවාද! සුද්දන්ට දුන්නොත් අපට ඩොලර්වත් එනවා. ඔය දළදා මාලිගාව, රුවන්වැලි සෑය, සීගිරිය, කලාවැව … ඔය ඔක්කොම මං කැමතියි සුද්දන්ට දෙනවා නම්. ඩොලර් නැතුව මොන මළ දානයක් තිබුණත් වැඩක් තියෙනවාද අයිසෙ! කමක් නෑ. ඒත් තවම මං අගුපිලේ. අගුපිලෙන් ගොඩ එන දවසක් මං දැන් හිතන්නෙ නෑ. හිතන ආර්ථිකයක් හදන්න මං දන්නෙත් නෑ. ඒ හින්දා මං මගේ අයවැයෙන් අගුපිල මකලා දානවා. අගුපිලේ උන්ට ප්ලැට් දුන්නාට වැඩක් නෑ. ප්ලැට් දුන්නාට වඩා හොඳයි ලැට් දුන්නා නම් උන්ට.

ඊයේ මැරෙන්නම අසනීප වුණා මං. මට මුත්‍රා ගියේ නෑ. දැන් යන්නෙත් නෑ. මට වකුගඩු ගල් කියල දැනුම් දීලා හුඟක් කල් දොස්තර. දොස්තරතුමා රුපියල් පන්දාහක චැනල් ගාස්තුවක් අය කරලා මට කිව්වෙ ඉස්සෙල්ලා ස්කෑන් පරීක්ෂණයකුයි, මුත්‍රා වේග පරීක්ෂණයකුයි, තව පී.එස්.ඒ. ද මොකක්දෝ පරීක්ෂණයකුයි කරලා ඊට පස්සෙ මුත්‍රා ගල්වල සයිස් එක බලලා ඔපරේෂන් එක කරන්න ඕන කියල. ඔක්කොටම යන වියදම බැලුවාම මං වැඩේ අතහැරියා. මුත්‍රා නොගිහින් මළත් කමක් නෑ කියල හිතුවා. එහෙම තමයි අපේ සෞඛ්‍යය. ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවය. ඒත් මං මගේ අයවැයෙන් යෝජනා කරනවා ලංකාවේ අර හිටංලා පටන්ගත්තු ආසියාවේ ලොකුම වකුගඩු මධ්‍යස්ථානයේ වැඩ මේ අවුරුද්දේවත් ඉවර කරලා ජනගත කරන්න. එහෙම කළොත් අඩු තරමින් මට නෙවෙයි, මගේ දරුවන්ටවත් හෑල්ලුවෙන් එළිබහින්න පුළුවන් වෙයි.

ක්‍රීඩාවේ අභිවෘද්ධිය ගැන නම් මං මගේ අයවැයෙන් කථා කරන්න යන්නෙ නෑ. ඒත් මං එකක් යෝජනා කරනවා. නෑ, ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි ඉක්මනින් අපේ ක්‍රිකට් තහනම ඉවත් වෙලා අපට ලබන අවුරුද්දේ ඉඳලාවත් ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ගේවත් ක්‍රිකට් දේශපාලකයන්ගේවත් ක්‍රිකට් බිරින්දෑවරුන්ගේවත් ක්‍රිකට් නළු නිළියන්ගේවත් නැතිව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් මැච් බලන්න ලැබේවා කියල. මොකද අපට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කිසි අඩුවක් පේන්නෙ නැති හින්දා. ඔය ඉංගිරිසි වචනයක් දෙකක් බැරි වීමේ සහ හෙල්මට් එකේ පටිය තද කර ගැනීමේ ප්‍රශ්නයක් අරුණාම අපට වෙන කිසි අවුලක් නැති හින්දා.

ඒත් මං මගේ අයවැයෙන් රටේ අනාගත අභිවෘද්ධිය පතා ලබන අවුරුද්දේ සිටවත් ක්‍රියාත්මක වෙන්න එක් වටිනා යෝජනාවක් කරනවා. ඒ තමයි අපේ පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225 ඉඳලා 550 දක්වා වැඩි කරන්න කියල. මොකද දැනට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පුදුමාකාර සේවයක් ඉටු කරනවා. ඒ ධුර සංඛ්‍යාව වැඩි කළොත් අපට ඔවුන්ගෙන් රටට ගත හැකි සේවය දෙගුණ කරගත හැකියි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සංඛ්‍යාව වැඩි කරගත්තොත් එහි මිල තක්සේරු කළ නොහැකියි. ඒක විශේෂයෙන් මතක් වුණේ අපේ ඩයනා මැඩම්ගෙයි ප්‍රේමචන්ද්‍ර මන්තිරි දේවීගෙයි ක්‍රියාකලාප දැකලා. හැබැයි කාන්තා නියෝජනය වැඩි කරද්දී තව දෙයක් අමතරව යෝජනා කරනවා. ඒ තමයි කිසිම මන්ත්‍රී මහත්තයෙකුට ස්මාර්ට් දුරකථන අරගෙන පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල් වීම තහනම් කරන එක. ජංගම දුරකථනවලට ඉඩකඩ දෙනවා නම් අඩු ගානෙ මන්ත්‍රීවරුන්ට අමතර කලිසමක් ෂොපිං මල්ලක දාගෙන යන විධියේ වැඩපිළිවෙළක් ඉල්ලා සිටිනවා.

ඉතිං මිත්‍රවරුනි, මෙච්චරයි මගේ අයවැය කතාව. මේ කතාවට ඇතුල් කරන්න තව හුඟක් යෝජනා තිබුණත් මං ඒවා ඔක්කොම ඇතුල් කළේ නෑ. මොකද දැනටමත් අපි එක අයවැයකට සවන් දීලා ඔළුව කුරුවල් වෙලා ඉන්නෙ. ඒත් කතාව අන්තිමට මං කියන්න කැමතියි මගේ මේ අයවැය කතාව හදාගෙන යද්දි මට බඩේ කැක්කුමක් ආ බවත් ඒක හොඳ වුණේ පහුගිය දවසක අරගෙන ගේ මුල්ලේ දාලා තිබුණු ධම්මික පැණියෙන් බවත්. ඒ හින්දා ධම්මික පැණිය වගේ හෝ පිරිත් පැන් කළා වගේ හෝ මේ රටේම වූ නිෂ්පාදන වැඩි වැඩියෙන් නිපදවන්න හැකි වැඩපිළිවෙළක් දැන් කතාවක් බහක් නැති අපේ පී. වන්නිආරච්චි මැතිනියට ඉදිරිපත් කළ හැකි නම් වැදගත් බවත් කියන්න කැමතියි. සමාවෙන්න, ඒක අයවැය යෝජනාවක් නෙවෙයි, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment