ඡන්ද අඩුවෙනවාට බය නෑ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීමට පොරොන්දු වෙනවා

144

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමින් කියයි

රජය බදු අය කළ යුතු පුද්ගලයන්ගෙන් හරියාකාරව බදු අය නොකර ගෙන අනීතික ලෙස තුන්වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් මෙම නිහීන පහත් ක්‍රියාව නිසා මේ රටේ විදුලි පාරිභෝගිකයන් අසරණ වී ඇති බවත් අරක්කු කොම්පැනි කරුවන් සිගරට් කොම්පැනි කරුවන් රජයේ නිලධාරීන් සුළු පිරිසකට සන්තෝසම් ලබාදී අයවිය යුතු බදු පැහැර හැර සන්තෝසමින් ගෙදර යන විට රටේ අසරණ ජනතාව විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව දුකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඡන්ද අඩුවෙනවාට බය නෑ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීමට පොරොන්දු වෙනවා

අනාගත සමගි ජන බලවේග රජයක් තුළ දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යථාර්ථවාදීව උපරිම ලෙස අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩසටහනකට තමා මුල පුරන බවට පොරොන්දු වන බවත් මේ ප්‍රතිපත්තිය නිසා ඡන්ද අඩුවෙනවාට තමා බිය නොවන බවත් බොරු නොකියන ජනතාව රවටන දුර්දාන්ත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවැති 111 වැනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමිනි.

මේ වන විට පාසල් පද්ධතිය පවා මත්ද්‍රව්‍ය ජාවාරම විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ සෘජු තීන්දු ගත යුතු බවත් තවදුරටත් මේ විනාශය දිහා බලන් නිද්‍රාශීලීව සිටිය නොහැකි බවත් දරු පරපුර වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගත යුතු බවත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය. තවද දුම්වැටි මත්පැන් හා ගංජා ප්‍රවර්ධනය කරන්නේ රටේ මිනිසුන්ගේ සිහිය විකල් කිරීමට බවත් එසේ ගංජා වැනි දරුණු ප්‍රවර්ධනය කරන සමහර පුද්ගලයන් ගංජ පානය කළ අය මෙන් සිහි විකල්ව කටයුතු කළ ආකාරය දැක ගැනීමට හැකි බවත් ඔවුන් කිසිම අවස්ථාවක රටේ දරු පරපුර ගැන සිතන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකයි කිව්වත් එසේ නොවන බව මෙම සභාවේ සිටින මන්ත්‍රීවරුන් ප්‍රමාණයෙන් ඔප්පු වන බවත් මේ සභාවට පැමිණිය හැක්කේ අමද්‍යප පුද්ගලයන්ට බැවින් හෘද සාක්ෂියට අනුකූලව එය මෙහිදී ඔප්පු වන බවත් ඒමහතා අවධාරණය කළේය.

එමෙන්ම රටේ මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය අප රටේ සංස්කෘතියට කිඳා බැස ඇති ආකාරය බැලූ විට අතිශය ශෝචනීය බවත් ඒ සඳහා නීති පද්ධතිය පමණක් නොව අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාදාමය දැඩි ලෙස ශක්ති සම්පන්නව සක්‍රීයව රටේ ක්‍රියාත්මක විය යුතු බවත් මත්පැන් – මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිසා රජයට විශාල ආදායමක් ලැබෙනවා කියා කිව්වත් පාර්ලිමේන්තු කමිටුවලින් අනාවරණය වූ ආකාරයට මත්පැන් ව්‍යාපාර විසින් තමන් ගෙවිය යුතු බදු මුදලවත් හරියට ගෙවා නැති බවත් ආයතන දෙකක් ලක්ෂ 17000ක මුදලක් බදු ලෙස පැහැර හැර ඇති බවත් මුදල් අමාත්‍යාංශය මහාභාණ්ඩාගාරයේ සුළුතර කොට්ඨාසයක් දුම්කොළ සමාගම් සමඟ ඇති අනිසි සම්බන්ධතා නිසි අය කළ යුතු නියම බදු ප්‍රමාණය අය කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අමද්‍යප ව්‍යාපාරයේ 111 වැනි මහා සභා රැස්වීමේ දී සාමාජිකත්වය ලබාගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කටයුතු කළේය. මෙම සාමාජිකත්වය නොලැබුවත් තමා උපන්දා සිට දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර පුද්ගලයකු බවත් එය ඉදිරියටත් එසේම බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.සාමාජිකත්වය ලබාගැනීම සේම කටවචනයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික ක්‍රියාදාමක් බවට පත් කිරිම සිය අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment