මහාචාර්ය සුනිල් ආරියරත්න වසර විසිතුනකට පසු සුදු සෙවණැලි සිනමාපටය ගැන කතා කරයි

427

ප්‍රවීණ සාහිත්‍යවේදී පියදාස වැලිකන්නගේ සූරීන්ගේ වසර හැත්තෑ හතරක ලේඛක දිවියට උපහාර පිරිනැමීමේ ‘සාහිත්‍යවේදී පියදාස වැලිකන්නගේ සම්භාවනා’ උළෙල පසුගිය දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වීර පුරන්අප්පු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි දී කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිදුකළ මුඛ්‍ය දෙසුම ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

මා සාහිත්‍ය රසිකයකු වුව ද, නවකතා රසිකයකු නොවෙමි. මා නවකතාවක් කියවන්නේ ඉතාමත් කලාතුරකිනි. මාගේ වැඩි ඇල්ම බැල්ම ඇත්තේ කවිපොත් කියවීමට ය. එමෙන් ම, ගීත කලාව ගැන ද මගේ උනන්දුවක් තිබේ.

මහාචාර්ය සුනිල් ආරියරත්න වසර විසිතුනකට පසු සුදු සෙවණැලි සිනමාපටය ගැන කතා කරයි

එකදහස් නමසිය අනූනවයේ දී පමණ මා අම්මාවරුන්ගේ අසනීපයකින් එක්තැන්ව සිටිය දී අහම්බෙන් මෙන් ‘සුදු සෙවණැලි’ නවකතාව කියවීමි. ‘සුදු සෙවණැලි’ නවකතාව යනු පියදාස වැලිකන්නගේ මහත්මයාගේ මහා සාහිත්‍ය ධාරාවෙන් බිංදු මාත්‍රයකින් අසෙන් අසකි.

මෙම නවකතාව කියවීමෙන් පසුව මම මහත් කම්පාවකට පත්වීමි. මා පොත කියවා අවසන් කළේ දෑස් කඳුළින් පුරවාගෙන ය. අමුතු ම ආකාරයේ අත්දැකීමක් වූ එයින් චිත්‍රපටයක් කළ හැකි නොවේ ද යන්න ඒ සමඟ ම මා සිත තුළ ඇති වූ අදහසකි.

මහාචාර්ය සුනිල් ආරියරත්න වසර විසිතුනකට පසු සුදු සෙවණැලි සිනමාපටය ගැන කතා කරයි

ඒ වනවිට මා, වැලිකන්නගේ මහත්මයා දැන හඳුනාගෙන නොසිටි හෙයින්, ඔහුගේ දුරකථන අංකය ලබා ගත්තේ, ගොඩගේ මහත්මයාගෙනි. අනතුරුව වැලිකන්නගේ මහත්මයාට මගේ ඒ අදහස පැවසීමි. එහෙත්, ඔහුගේ පිළිතුර වූයේ, වසර හතරකට පහකට පෙර චිත්‍රපට නිෂ්පාදකයකු වන හර්ෂ කුමාර නවරත්න එය මිල දී ගෙන ඇති බව ය. හර්ෂ කුමාර නවරත්න යනු ඒ වනවිට ද තිරගතව තිබූ ‘සාගර ජලය මඳි හැඬුවා ඔබ සන්දා’ චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා ය. එහි අනෙක් නිෂ්පාදකවරයා ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.

අනතුරුව මම හර්ෂ කුමාර නවරත්නගෙන් මේ පිළිබඳව විමසුවෙමි. ඔහුගේ පිළිතුර වූයේ පරාක්‍රම නිරිඇල්ල එය අධ්‍යක්ෂණය කරන්නට යන බවත්, දින දෙකකින් ඒ සම්බන්ධ පිළිතුරක් ලබාදෙන බවත් ය. දෙදිනකට පසු ඔහු ‘සුදු සෙවණැලි’ චිත්‍රපටයට නැගීමේ අයිතිය මා වෙත ලබාදුන්නේ ඒ වනවිට ඔහු වැලිකන්නගේ මහත්මයාට ලබා දී තිබූ මුදල පවා ආපසු ලබාගැනීම ප්‍රතික්ෂේප කරමිනි. සැබැවින් ම එය සිනමා ක්ෂේත්‍රයේ අයකු වෙතින් ලැබේ යැයි සිතිය නොහැකි අන්දමේ උදාර කටයුත්තකි. ‘සුදු සෙවණැලි’ නවකතාව මා වැලිකන්නගේ මහත්මයාගෙන් ලබාගන්නේ ඒ ආකාරයට ය.

මේ වනවිට සිංහල සිනමාවට වසර හැත්තෑවක් පමණ ගත වී ඇති අතර, චිත්‍රපට දහසකට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වී තිබේ. එයින් චිත්‍රපට හැට හැත්තෑ ගණනක් ම නිර්මාණය වූයේ නවකතා ඇසුරිනි.

පියදාස වැලිකන්නගේත්, මාත් අතර දෙදාහ වසරේ ආරම්භ වූ ඒ මිත්‍රත්වයට මේ වනවිට වසර විසිතුනකි. එම බැඳීම අත්‍යන්තයෙන් ම වැඩිවූවා මිස කිසිවිටෙක එය දෙදරා නොගියේ ය. මා එසේ පවසන්නේ නවකතා චිත්‍රපටවලට නැගීමට ගිය බොහෝ අවස්ථාවල නවකතාකරුවා සහ චිත්‍රපටකරුවා අතර පැවැති සම්බන්ධතා දෙදරා යන නිසා ය.

මුලින් ම නවකතාවක් සිනමාවට පිවිසියේ නමසිය පනස්තුනේ දී ය. ඒ, ඩබ්ලිව්.ඒ. සිල්වාගේ ‘කැලෑ හඳ’ ය. එම චිත්‍රපටයේ සිට ම සිදුව තිබෙන්නේ නවකතාකරුවා සහ චිත්‍රපටකරුවා අතර පැවැති සම්බන්ධතාව දෙදරා යෑම ය. ඩබ්ලිව්.ඒ. සිල්වා, බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නට එරෙහිව පැනවූ නඩුවක් පවා මීගමුව උසාවියේ තිබේ. ඒ, නිර්මාණාත්මක ප්‍රශ්නයක් නිසා නොව, චිත්‍රපටය විශාල වශයෙන් ලාභ ලැබුව ද, ගිවිස ගෙන තිබූ ලාභයෙන් සියයට දෙකක මුදල ඩබ්ලිව්.ඒ. සිල්වාට ලබා නොදීම නිසා ය.

වැලිකන්නගේ මහත්මයාත්, මාත් අතර ද එවැනි දෙදරා යැවීම් කරන්නට අපේ සමහර ලේඛකයෝ ලිපි පවා ලියූ හ. අප දෙදෙනා සම්බන්ධ කර ‘සිළුමිණ’ පුවත්පතට ලියූ එවන් පිටු භාගයක ලිපියක් අදටත් මා වෙත තිබේ.

නවකතාකරුවාගේ නවකතාවක් චිත්‍රපටයක් වනතෙක් එය අයත්වෙන්නේ නවකතාකරුවාට පමණි. එහෙත්, එය චිත්‍රපටයක් වූ විට තවත් අයකුගේ නමක් ඊට ඈඳෙයි. එවිට ඔවුන් දෙදෙනා අවුස්සා තබා කිසියම් දෙදරීමක් ඇති කරන්නට කෙනකුට හැකියාව තිබේ. අප අතර ද එවැනි දෙදරීමක් ඇති කරන්නට සමහරුන් උත්සාහ ගත්ත ද, වැලිකන්නගේ මහත්මයා ඒ කිසිවක් ගණන් නොගෙන කටයුතු කිරීම නිසා එය වැළකිණි. එනිසා ම, ‘සුදු සෙවණැලි’ හරහා මට ඉතා විශිෂ්ට උදාර මිනිසෙක් හඳුනාගන්නට අවසථාව ලැබිණි.

‘සුදු සෙවණැලි’ යනු ඉතා විශිෂ්ට නවකතාවකි. එක්දහස් අටසිය හතලිස් අටේ කැරැල්ල පසුබිම් කර ලියැවුණු මෙම නවකතාවේ එන ඕවිල්ලේ සුමංගල නමින් පැවිදි වී සිටි සුදුබණ්ඩා නමැති පුද්ගලයා පුරන්අප්පුගේ කැරැල්ලට එකතු වන අතර, කැරැල්ල පරාජය වීමෙන් පසු ඔහු කොළඹට පලායයි. එය කියවද්දී මගේ මතකයට නැගුණේ 1971 සහ 1989 අපේ රටේ ඇති වූ කැරැලි ය. අවුරුදු දහයක් කොළඹට වී සිටි ඔහු කරත්ත විස්සකින් යුත් නඩයක් සමඟ නැවත ගමට එයි.

මා මෙය මැල්සිරිපුර ප්‍රදේශයේ රූපගත කරද්දී පුදුමයකට මෙන් වැලිකන්නගේ මහත්මයා නවකතාවේ ලියා තිබූ ආකාරයට ම එවැනි කරත්ත විස්සක් ම යොදාගන්නට අපට හැකි වී ය. ඒවා ද එසේ මෙසේ කරත්ත නොව, අඹරාව සහිත කරත්ත ය. එහෙත්, මෑතක දී කතරගම ප්‍රදේශයේ මා කළ රූපගත කිරීමකට එවැනි එක් කරත්තයක් හෝ සොයාගැනීමට නොහැකි වූ අතර, කරත්තයක් සොයා ගත්ත ද, කරත්තයේ බැඳීම සඳහා පුරුදු පුහුණු කළ ගොනකු සොයාගැනීමට නොහැකි වී ය.

සුදුබණ්ඩා ගමට එනවිට ඔහුගේ සොහොයුරා සිය බිරිඳ දූෂණය කළ කෝරාළ මරා දැමීම නිසා සිරගෙදර ය. බෝගම්බර සිරගෙදර රූගත කිරීම් කරන්නට අපට හැකි වූ අතර, ලින්ටන් සේමගේ හීන්බණ්ඩාගේ චරිතයටත්, රොෂාන් පිලපිටිය සුදුබණ්ඩාගේ චරිතයටත් පණ පෙවූ හ.

මෙම නවකතාව දිගු කාලයක් පුරා දිවයන්නකි. සුදුබණ්ඩා ගම පැමිණෙන විට හීන්බණ්ඩාට දාව සුදුමැණිකේට කොයින්මැණිකේ සහ ටිකිරිබණ්ඩා නමින් දරුවන් දෙදෙනෙකු සිටි අතර, හීන්බණ්ඩා සිරෙන් නිදහස් වී පැමිණෙන විට සුදුබණ්ඩාට දාව සුදුමැණිකේට සුන්දර බණ්ඩා නමින් තවත් ළමයකු සිටී. මෙම නවකතාව තුළ සුන්දර බණ්ඩා විවාහ වීම, ටිකිරි බණ්ඩා දිසාපතිවරයකු වී අනුරාධපුරයට යෑම, කෝපි වගාව පැමිණීම හා එය අභාවයට ගොස් තේවතු සංස්කෘතිය ආරම්භවීම, දෙමළ ජනතාව පැමිණ ලයිම් කාමර ඇතිවීම, දුම්රිය ලංකාවට පැමිණීම වැනි පැය දෙකේ චිත්‍රපට තුනක් පමණ කළ හැකි දීර්ඝ විස්තර සඳහන් වේ.

එමෙන් ම, සුදුබණ්ඩා සහ සුදුමැණිකේ අතර කායික සම්බන්ධතාවක් ඇති වූ ආකාරය ඔහු මෙහි ඉතාමත් විචිත්‍රවත් ලෙස විස්තර කර තිබේ. මේ සියල්ල එම නවකතාවේ එන සුවිශේෂ සිදුවීම් වුව ද, ‘සුදු සෙවණැලි’ චිත්‍රපටයට නැගීමේ දී මේ සියලු කොටස් කපා දමන්නට සිදුවී ය. එහි දී ඒ සියල්ල ඉවසා සිටින්නට මේ ප්‍රබුද්ධ නවකතාකරුවා කටයුතු කළේ ය. එසේ නොවී නම් ඔහුත්, මාත් අද ඡන්මාන්තර වෛරක්කාරයෝ ය.

මේ වනවිට නවකතා විශාල ප්‍රමාණයක් සිනමාවට නැගී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතා ය. ‘කැලෑහඳ’, ‘හිඟන කොල්ලා’, ‘විජයබාකොල්ලය’, ‘හඳපාන’, ‘දෛවයෝගය’ යනාදි වශයෙන් නවකතා රාශියකි.

මීට සුවිශේෂ හේතුවක් තිබේ. එනම්, ඒවා මුල, මැද, අග සහිත චිත්‍රපටකාරයින්ට ම කියාපු අපූරු නවකතා වීම ය. චිත්‍රපටයකට හොඳ ප්‍රබල කතාවක් තිබිය යුතු බව චිත්‍රපටකරුවකු ලෙස මම ද විශ්වාස කරන දෙයකි. එසේ නොවන නවකතා ද සිංහල සිනමාවට නැගී තිබේ. සිනමාවට නැගී ඇත්තේ ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතා අටක් වුව ද, ටී.බී. ඉලංගරත්නගේ නවකතා ඊටත් වැඩි ප්‍රමාණයක් සිනමාවට නැගී තිබේ.

එසේ වෙන්නේ කෙසේ ද?. ටී.බී. ඉලංගරත්න ‘අඹ යහළුවෝ’, ‘විලම්භීත’ වැනි හොඳ නවකතා මෙන් ම, කබල් නවකතා ද ලියා තිබේ. එම කබල් ම නවකතා ද චිත්‍රපට ගතකර තිබේ. ඒ ඇයි?. ඒ ඔහු කැබිනට් ඇමැතිවරයකු වීම නිසා එතුමාගෙන් යම්-යම් ප්‍රයෝජන ගැනීම සඳහාය.

එසේ නොවේ නම්, ප්‍රේමදාස මහත්මයාගේ නවකතා චිත්‍රපට ගත කරයි ද?. ඊට වඩා හොඳ නවකතාකරුවන් රටේ නොසිටියේ ද?. ඔහුගේ ‘රන් මිණි මුතු’, ‘හිතවතිය’ සහ ‘ජීවන කඳුළු’ යන නවකතා තුන ම සිනමාවට නැගිණි. ඒ අනුව බලන විට ප්‍රේමදාස මහතා ද චිත්‍රපටයට නගන්නට තරම් හොඳ නවකතා ලියූ නවකතාකරුවෙකි. මෙය ටී.බී. ඉලංරත්න මහතාගේවත්, ප්‍රේමදාස මහතාගේවත් වරදක් නොව, චිත්‍රපටකරුවන්ගේ වරදකි. මන්ද මෙම තේරීම් සිදුවන්නේ එක්-එක් අනියම් ලාභ අපේක්ෂාවන් ඇතිව නිසා ය.

මෙම ‘සුදු සෙවණැලි’ සැඟව තිබුණේ ඒවා අතර ය. හර්ෂ කුමාර නවරත්න එය මිල දී ගෙන නොතිබුණේ නම්, එය මට නොලැබෙන්නට ඉඩ තිබිණි. 1986 දී ‘සුදු සෙවණැලි’ වසරේ හොඳ ම නවකතාව බවට පත්වන අතර, ඒ ඇසුරින් මා කළ චිත්‍රපටය 2002 වසරේ නිෂ්පාදනය වූ හොඳ ම චිත්‍රපටය ලෙස ජනාධිපති සම්මානය හිමිකර ගත්තේ ය. එහි සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නේ පියදාස වැලිකන්නගේ මහතාට ය.

මන්ද? මෙම චිත්‍රපටය කිරීම සඳහා මා පාදක කරගන්නේ එතුමා ඒ නවකතාවෙන් ඉදිරිපත් කළ අමුද්‍රව්‍යයන් ය. එහි දී එතුමාට ස්තූතිවන්ත වෙන්නේ මා පමණක් නොවේ. තවත් දහතුන් දෙනකුගේ ස්තූතිය එතුමාට හිමි වේ.

ඉන් පළමුවැන්නා මම ය. ජනාධිපති සම්මානය මට හිමිවෙන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස නොවේ, චිත්‍රපට නිෂ්පාදක හැටියට ය. සල්ලිකාරයකු නොවන මා චිත්‍රපට නිෂ්පාදකයකු බවට පත්වෙන්නේ ආචාර්ය තිස්ස අබේසේකර චිත්‍රපට සංවර්ධන අරමුදලක් ඇතිකර චිත්‍රපට කිරීම සඳහා දහදෙනකුට ලක්ෂ පනහ බැගින් ප්‍රතිපාදන ලබාදීම නිසා ය.

‘සුදු සෙවණැලි’ නවකතාවෙන් මා චිත්‍රපටයක් කරන්නට යන වග දැන සිටි ඔහු එහි තිරපිටපත ඉදිරිපත් කරන ලෙසත්, ඊට ලක්ෂ පනහක මුදලක් ලබාදිය හැකි බවත් පැවසී ය. ඒ අනුව, චිත්‍රපට සංස්ථාව දුන් මුදලින් මා ඉබේ ම චිත්‍රපට නිෂ්පාදකයකු බවට පත්වූ අතර, එම වසරේ හොඳ ම චිත්‍රපට නිෂ්පාදකයා බවට ද පත්වීමි. එමෙන් ම මා එහි හොඳ ම තිර නාටක රචකයා බවට ද පත්වූ අතර, එහි ගෞරවය ද වැලිකන්නගේ මහතාට හිමිවේ.

මා ලියූ තිර රචනය රූගත කිරීම්වලට පෙර එතුමාට කියවන්නට ලබා දුන් අතර, මාතලේ, රත්තොට සහ තවත් ප්‍රදේශ කිහිපයක දින හතළිස් පහක් පමණ එහි රූගත කිරීම් සිදුකරද්දී එතුමා දිනකට දෙකකට වඩා එහි නොපැමිණියේ ය.

‘සුදු සෙවණැලි’ චිත්‍රපටයේ හොඳ ම සහාය නිළිය අයිරාංගනී සේරසිංහ, හොඳ ම ගායිකාව නන්දා මාලනී, හොඳ ම කලා අධ්‍යක්ෂ ධර්මසේන හේමපාල, හොඳ ම වේෂ නිරූපන ශිල්පී ඉමල් ශානක පීරිස්, හොඳ ම සහාය නළුවා ලින්ටන් සේමගේ, හොඳ ම නිළිය වසන්ති චතුරාණි, හොඳ ම නැගී එන නළුවා ප්‍රථමවරට සිනමාවට පිවිසි රොෂාන් පිලපිටිය යි.

මෙම සියලු සම්මානවල ගෞරවය මම අද මෙහි දී පියදාස වැලිකන්නගේ මහතා වෙත පුදකරමි. එතුමා එම නවකතාව මා වෙත ලබා නොදෙන්න පෙර සඳහන් කළ කිසිවෙක් සම්මානයට පාත්‍ර නොවෙති. එතුමාට මා චිරජීවනය පතමින් එතුමාගේ උණුසුම් තාරුණ්‍යය එතුමාගේ අභිනව නවකතාව තුළින් ද මතුවේවා යි පතමි.

සටහන – අනුර බී. සෙනෙවිරත්න
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment