The Human Comedy – බාල කාලේ මිතුරෝ

214

ප්‍රවීණ ලේඛක සේනාරත්න වීරසිංහයන්ගේ 75 වැනි ජන්ම දිනය ඔක්තෝබර් 05 වැනිදාට යෙදී තිබේ. ජගත් සාහිත්‍යයේ සම්භාවනාවට පාත්‍රවූ නවකතා, කෙටි කතා, සිනමා තිර නාටක, ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ ළමා සාහිත්‍ය ග්‍රන්ථ රැසක් සිංහල පාඨකයා වෙනුවෙන් පරිවර්තනය කළ ඔහුගේ 75 වැනි ග්‍රන්ථය ද මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව එළි දැක්විණි.

දායි සිජී නමැති ලේඛකයා ලියූ‘බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය’ නම් වූ එය පළමුව ප්‍රංශ බසින් ලියා ඉංග්‍රීසි බසට නැගූ කෘතියකි.

The Human Comedy - බාල කාලේ මිතුරෝ

පසුගියදා පැවැති 2023 – රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී විවිධ විෂය තේමාව යටතේ හොඳම පරිවර්තන කෘතියට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවේ සේනාරත්න වීරසිංහ ලේඛකයාය. ඒ හාවර්ඩ් හා එඩිම්බරෝ විශ්වවිiාලවල මහාචාර්යවරයකු වූ හර්බට් රීඩ් ගේ “ද මීනින් ඔෆ් ආර්ට්” කෘතිය “කලාවේ තේරුම කුමක්ද?” නමින් සිංහල බසට පරිවර්තනය කිරීම වෙනුවෙනි.

අප මෙම සටහනෙන් අවධානය යොමු කරන්නේ මෑතකදී වේයන්ගොඩ ප්‍රභා ප්‍රකාශනයක් ලෙස එළිදැක් වුණු ඔහුගේ තවත් කෘතියක් කෙරෙහිය.

විලියම් සරොයන් ලියූ (The Human Comedy) ‘ද හියුමන් කොමඩ්” කෘතිය සේනාරත්න විරසිංහයන් අතින් “බාල කාලේ මිතුරෝ” නමින් පරිවර්තනය විය.

විලියම් සරොයන් නමැති ඇමැරිකානු ලේඛකයා කලකට ඉහතදී ප්‍රකාශ කර ඇත්තේ ලොව ලේඛකයන් දෙපිරිසක් ජීවත්වන බවයි. ඒ මරණය සොයා යන ලේඛකයන් සහ යහපත් ජීවිතයක් උදෙසා මරණය සමග නිරන්තර අරගලයක යෙදෙන ලේඛකයන් ආදී වශයෙනි. මේ ලේඛකයා සිටින්නේ ඉන් කුමන පාර්ශ්වයයේද යන්න “බාල කාලේ මිතුරෝ” කියවන ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇතැයි සිතමි. මෙරට ලියැවුණු “වදුල’, ‘අපේ ගම’ ‘මා පයට තණ නිල්ල’ වැනි විශිෂ්ට කෘති වලින් ස්පර්ශ කෙරෙන ජන ජීවිතයට සාම්‍යවන අන්දමේ අත්දැකීම් ඔස්සේ, කතාකරුවා ජිවිතය පිළිබඳව පුළුල් අවකාශයක් අර්ථ ග්‍රහණය කරනා බව පාඨක ඔබට දැනෙනු ඇත.

ඒ පිළිබඳව සිය හඬ අවදිකරන සේනාරත්න වීරසිංහයන් මෙසේ පවසයි.

මෙම කෘතිය හා සමකාලීනව ලියැවුණු මෙහි අන්තර්ගතය හා බෙහෙවින් සාම්‍යවූ වැදගත් සිංහල කෘති තුනක් ගැන සඳහන් කිරීම උචිත යැයි සිතමි. ඉන් පළමුවැන්න පියසේන නිශ්ශංක නමැති ප්‍රවීණ ලේඛකයා විසින් ලියන ලද ‘වදුල’ නවකතාවයි. ඔහුටම ආවේණික වූ සරල ගැමි බස් වහරකින් ලියැයුණු මේ සුවිශේෂී නවකතාව ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පැරැණි ගම්මානයක ජනයාගේ අව්‍යාජ සිතුම් පැතුම් හා චර්යාවන් හෙළි කරයි.

ඊළඟට මා අවධානය යොමු කළේ 40 දශකයේ මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ ‘අපේ ගම’ කෘතියටය. අපේ ගම සහ වදුල මෙරට පාඨශාලා පොතක් වශයෙන් නිර්දේශවීම නිසා එය ද සිංහල පාඨකයන් බොහෝ දෙනා කියවූ පොත් වශයෙන් මම දකිමි. එහෙත් මා තෝරාගත් තෙවැනි කෘතියේ අන්තර්ගතය හා සංදර්ශන රටාව මා ඉහත දැක්වූ කෘති හා බැඳුණ ද එය මෙරට පාඨකයන් අතරට සමිපවූයේ ස්වල්ප වශයෙන් යැයි සිතමි. ඊට ප්‍රධානම හේතුව එය ඉංග්‍රීසි බසින් එංගලන්තයේ පළවූ කෘතියක් වීමය.

ජේ. විජේතුංග නමැති කෘතහස්ත ලේඛකයා පිසින් (Grass For My Feet) නමින් ඉංග්‍රීසි බසින් ලියන ලද එම කෘතිය 1935 වසරේදී ලන්ඩනයේදී ප්‍රකාශයට පත් විය. එය ‘මා තණ නිල්ල’ නමින් මුල්වරට සිංහලයට නැඟෙන්නේ 1970 දී නිව්ටන් ජයසේන මහතා අතිනි. ඉහත කෘති තුනම විවරණය කරන්නේ දැනට සියවසකට පෙර මෙරට ගැමි සමාජය හා ජිවන තොරතුරුය. මා ඔබට හඳුන්වාදෙන විලියම් සරොයන්ගේ The Human Comedy (බාල කාලේ මිතුරෝ) නම් ඉංග්‍රීසි නවකතාව, ඉහත දැක්වූ කෘති තුනෙන්ම විවරණය වූ සමාජ පර්යාය වඩාත් පුළුල්ව ඉස්මතු කරමින් මනුෂ්‍යත්වය, මානව සහෝදරත්වය, නිදහස සහ සාරධර්මයන්හි ඇති වැදගත්කම අවධාරණය කරන බව කිව හැකිය.

‘ද හියුමන් කොමඩ්’ එරටදී ලියැවෙන්නට වසර අගණනකට පෙර මෙරට ලේඛකයන් අතින් ලියවුණු මා පයට තණනිල්ල ද, අපේ ගම ද, වදුල, පූර්ණ වශයෙන්ම මෙරට පසුබිම් කොට වැඩුණු ස්වීය වූ උසස් සාහිත්‍ය නිර්මාණයන්ය. ඒවා කෙරෙහි වූ වෙනත් සාහිත්‍යයක බලපෑමක් අපට දැකිය නොහැකිය. එහෙත් ඇමරිකානු සාහිත්‍යයේ විකාශනය හා ප්‍රවණතාවයන් විශ්ලේෂණය කර බලන විට , ජේ. විජේතුංගයන්ගේ ‘ග්‍රාස් ෆෝ මයි ෆීට්’ කෘතිය යම් තරමකට හෝ විලියම් සරොයන්ගේ ‘ද හියුමන් කොමඩ්’ කෙරෙහි බලපෑමක් කර ඇතැයි සිතිය හැක. 1935 විජේතුන්ගයන් සිය කෘතිය පළ කරන විට විලියම් සරොයන්ද සිය ලේඛන හා සිනමා කටයුතු වලින් එංගලන්තය සමග කටයුතු කර තිබීම එයට හේතුවයි.

මාර්ක් ට්වේන් වැනි මුල් කාලීන ඇමරිකානු පුරෝගාමී ලේඛකයකුගේ කෘති (ටොම් සෝයර්,) හක්ල්බරීගේ හපන්කම්) වල බලපෑම සරොයන් කෙරෙහි අනිවාර්ය වූවා සේම මෙම කෘතියේ වැඩිහිටි චරිතවල චින්තන රටාව විමසා බලනවිට විජේතුංගන්ගේ කෘතියේ බලපෑම ඔහුට ඊට වැඩියෙන් දැනී ඇත්දැයි පැහැදිලි වෙයි.

‘බාල කාලේ මිතුරෝ’ නව කතාවේ වැඩිහිටි චරිත කිහිපයක් ළමා හා ගැටවර චරිත කිහිපයක් මානවවාදී ගුණාංගයෙන් යුතුව විවරණය වෙයි.

යුලීසීස් හෝ ඔහුගේ සොයුරු හෝමර් යන චරිත ප්‍රබල ධාරණාවක් ඉදිරිපත් කරයි. යුද්ධය පැවැති සමයේ විදුලි පණිවුඩ ගෙන යෑමේ රැකියාවේ යෙදෙන හෝමර් නමැති සංවේදී කොලු ගැටයා මෙහිදී ප්‍රබල අත්දැකීම් රැසකට මුහුණ දෙයි. සැන්ඩොවල් මහත්මියට ඇගේ පුතා මියගිය බව දන්වා යුද දෙපාර්තමේන්තුවෙන් එවන ලද විදුලි පණිවුඩය භාරදීම එවැනි අතිශය සංවේදී අවස්ථාවකි.

විලියම් සරොයන් පුලිස්ටර් සම්මානයෙන්ද, මෙම නවකතාව ඇසුරින් තැනූ සිනමා කෘතිය වෙනුවෙන් 1943 දී ඇකඩම් සම්මානයෙන්ද පිදුම් ලැබූ විශිෂ්ට ලේඛයෙකි, කවියෙකි. නාට්‍ය රචකයෙකි. 1980 දී කැලිෆෝනියාවේදී උපත ලබා සාහිත්‍ය නිර්මාණ රැසක් ලොවට දායාද කර 1981 දී සඳහටම සමුගත්තේය.

සචිත්‍ර නේරංජන ඇල්වලගේ
සේනාරත්න වීරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment